සදාතනික පුනරාගමනය නමැති මිත්‍යාව තුළ ලෝකය උගුලක් බවට පත්ව ඇත. සංකීර්ණ සංයෝජනයකින් යුත් 'පියාපතක් වන් ජීවිතය' තුළ ජීවිතයේ සැහැල්ලුව හා බර කතා කරයි. සැහැල්ලුව නිශේධනාත්මකද? ප්‍රතිජානාත්මකද? මිනිස් සන්තානගත අඳුරු අහුමුළු සොයා යන මෙම නව කතාව තුළින් පිළිතුරු සොයාගත හැකිය. 

සියලු සංකීර්ණ මානව හැඟීම් අකුරු බවට පෙරළිය හැකි නම් යමක් ලිවීම තව දුරටත් දුෂ්කර නොවනු ඇත.එහෙත් මම ලියමි.අඩුම තරමින් එක්තරා ජීවිතයක් පිළිබඳ ඔබට යම් දළ අදහසකට එළඹිය හැක.ලිවීමට අදාළ නීති රීති හෝ උපක්‍රම ගැන අල්පමාත්‍රයකදු නොවෙහෙසෙමි.ලිවීමෙන් අනතුරුව අකුරකුදු වෙනස් නොකරමි.සංශෝධනය නොකරමි.සිනාවක පැණි රස හෝ කඳුළක තිත්ත රස බලහත්කාරයෙන් තැවරීමෙන් ආත්ම වංචාවක් කිරීමට අකමැත්තෙමි.මගේ ලිවීමේ ප්‍රතිභාව ප්‍රදර්ශනය කිරීම මෙහි අරමුණ නොවේ.හිතට එකඟව පවසන්නේ නම් එවන් හැකියාවක් මට  නැත.එහෙත් ජීවිතය දෙස ආපසු හැරී බැලීමට එය බාධාවක් නොවන බව මගේ විශ්වාසය යි.ඔබෙන් ඉල්ලා සිටිමි "සාහිත්‍ය" මොහොතකට අමතක කොට ජීවිතය කියවන්න එන්න........

තාත්තා....,ඔහු ඉතා කඩවසම් ප්‍රියමනාප අයෙකි.ගෙයින් පිටතදී නිතරම ප්‍රිය මනාප සිනා මුසු මුහුණෙන් සිටියේය.කතාවට දක්ෂ සමාජශීලි අයෙකි.කතාවට කියන්නා සේ ඔහු එස්කිමෝවරයෙකුට ශීතකරණයක් විකුණනු ඇත.තට්ට හිසැති අයෙකුට පනාවක් හිමි කර දෙනු ඇත.රූපයෙන් මම ඔහුගේ කපාපු පලුවයි.තාත්තා නිතර ඒ ගැන මිනිස්සුන් ඉදිරියේ උදම් විය.ඔහුගේ නිකට යට කැපුම් පහරක් සේ ඇඳී ගිය ඉර එලෙසින්ම මා නිකට යටද විය.අප දෙදෙනා එක වාගේ යැයි කියූ හැමටම ඔහු මගේත් ඔහුගේත් එම උපන් සළකුණු පෙන්වයි." මගෙ බුට්ටා" පිරිසක් මැද ආදරණීය පියෙකු සේ ඔහු මා අමතන්නේ එසේය.

ඉදින් එතැන් පටන් ඇරඹි ඒ සුවඳ පොද එකින් එක ගෙන ජීවිතයේ අරුත් පහදන්නට එළඹියේ කෙසේද කියන්නට මා උත්සුක වෙමි. එවැනි එක් දිනයක් නොව දින ගණනාවක් සිහිපත් වුවත් එකින් එක පෙළගස්වනුයේ කෙසේද යන්න මට  ගැටළුවකි. ඒත් නිමේෂකයකදී වුව අමතක නොවන මතකයන් ජීවිතයෙන් ඈත් කරනුයේ කෙසේද ?