29 June 2017 Written by 

සුද්දිට හූ කියන්න කලින් උඹේ අම්මට හූ කියලා වරෙන්”- තරුෂි නවංජනා ලියනාච්චි

28 සිනමා පටයට මා මහත් සේ ආශක්ත වී ඇත. ඒ ඇයි යන්න මාගේ මේ සටහන අවසන ඔබට වැටහෙනු ඇත. එනිසාම මෙය හුදෙක් විචාරයක් ලෙස නොව ප්‍රේක්ෂිකාවකගේ කියවීමක් ලෙස පමණක් සිතන ලෙස මම ඔබට ආරාධනය කරමි.

 

එය සුද්දිගේ කතාව නොව සුද්දිලාගේ කතාවයි. ප්‍රතිභා පූර්ණ සිනමා කරුවෙකු වන  ප්‍රසන්න ජයකොඩිගේ උත්කෘෂ්ට සිනමාත්මක අත්හදාබැලීමක් ලෙසයි මා එය හඳුන්වන්නේ. ලිංගිකත්වය කෙරෙහි පවතින සැකය බිය නොදැනුවත්භාවය හා කාන්තා හිංසනය පිළිබඳව පුළුල් ලෙස විදහා දක්වන සමාජ අතුල් පහරක් ලෙසයි මට මෙය හැඟෙන්නේ. වෙනස් ආකෘතියක් ඔස්සේ දිගහැරෙන මෙම සිනමා පටයේ කතාව දිගහැරෙන්නේ ගමනක් යන අතරතුර වීම තවත් විශේෂත්වයකි.

 

“අපේ රටේ තමන් ගැන ඇත්ත කියන්න පණ තියෙන මනුස්සයෙකුට නම් බෑ.“

 

එසේ නම් ඒ ඇත්ත අපට දැනගත හැක්කේ කෙසේද? මරණයෙන් පසු ඇගේ ආත්මය හඬ අවධි කරන්නේ ඒ ඇත්ත පහදා දීමටයි. සමාජයේ වෙසෙන සුද්දිලාට ඔවුන් වෙනුවෙන් හඬ නැගිය නොහැකිය. ඔවුන් මැරි මරී වුව ද ජීවත් විය යුතු බැවිනි. නමුත් මේ සිනමා පටයේ ප්‍රධාන චරිතය වන  සුද්දිගේ ආත්මයට ඒ සැඟවුණු කතාව හෙළි කිරීමට බාධාවක් නොමැත. ඒ මල සිරුරකට ගර්හා නොකිරීම පිළිබඳ ලාංකේය සමාජය වෙත තැබිය හැකි විශ්වාසය නිසා නොව ‘හූ’ ව සුද්දිට අමුතු දෙයක් නොවන බැවිනි.

 

සුද්දිගේ මෘත දේහය අයිස්ක්‍රීම් වාහනයේ ඉහළ බැඳ ගෙන යන විට එක් වරෙක ගමක කොලු කුරුට්ටන් හූ කියන අවස්ථාවේ දර්ශනයක් මෙහිදී සිහිපත් වේ.  කෝපයෙන් ඔවුන් වෙත ගල් ප්‍රහාර එල්ලකිරීමට තැත් කළ මනීව ඉන් වළක්වන අබසිරි ඔවුන් වෙත මෙසේ පවසයි.

 

“මේ ගෑණිට හූ කියන්න කලින් උඹේ අම්මට හූ කියලා වරෙන්“

 

ඔවුන් අම්මාට ‘හූ නොකියා සිටින්නේ නැත. ඒ හිස් මුදුනින් මෑණියන්ට නමස්කාර කරන අතරම යමෙකුට පරිභව කරන අවස්ථාවේදීත් අම්මාට..මුව විවර කරන පුරුෂභාවයේ මුල් අවධියයි.

 

“මගේ මනුස්සයට මාව හම්බවෙන්නෙ හම්බවෙන්න ඕනම නැති තැනකදි.  අවසානේ එයා මාව කසාද බඳින්නම් කිව්වා. “

 

සුද්දිට තම සැමියා හමුවන්නේ හමුනොවී තිබිය යුතු තැනක දී බවයි ඇගේ අදහස. ඇය ඔහු හා විවාහ වීමට තීරණය කරනුයේ ඔහු ඇයට වඩා වසර15ක් වැඩිමහල් වීම, ඔහුගේ රූපයට ආලයකිරීම ආදී කිසිම කරුණක් නිසා නොව ඇයට විවාහ යෝජනාවක් ගෙන ආ ඔහුගේ වචනයට ඇගේ හිතේ ඇතිවන ගෞරවය නිසාය. මන්ද ලැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ඇගේ ළය ඔහුවත් හඳුනාගන්නට ඇතැයි ඇය සිතන්නට ඇති.

 

සුද්දි මල එකියක් බව ප්‍රේක්ෂකයා දැන ගන්නේ පසුවය. පළමුව ඇය මෝචරියේ සිට අනෙක් මල සිරුරු පිළිබඳව හඳුන්වා දෙයි. පිරිමින් විසින් දූෂණය කොට මරා දමන ලද සිරුරුය ඒ අතර බොහෝ වූයේ. මල සිරුර ගමට ගෙන යෑමට උත්සුක වන අබසිරි නැමැත්තා හා ඔහුගේ ඥාති පුත්‍රයා වන මනී නැමැත්තා හා සුද්දි අතර පවතින සබැඳියාව කුමක්දැයි කතාවේ අවසාන භාගය තෙක් ප්‍රේක්ෂකයා හඳුනා නොගනියි.  එමෙන්ම සුද්දි පිළිබඳව සත්‍ය දැන ගැනිමට කතාව පුරා ප්‍රේක්ෂක කුතුහලය දිව යයි.

 

කතාවේ එකිනෙක සිදුවීම අතර සම්බන්ධතාවය ඉතා සංකීර්ණ එකකි. සිනමා පටය නිම වූව ද ප්‍රේක්ෂක සිතේ නැවත නැවත මතු වී පෙනෙන දර්ශන එකිනෙකට යා කොට අපූරු කතාවක් තනා දෙයි. එය එකිනෙකාගේ රස වින්දන පරාසය අනුව විවිධ විය හැකිය. එනිසා මෙම සිනමාපටය පිළිබඳව ද ඒකාමතික අදහසක් ලබා ගැනීම බලාපොරොත්තු විය යුතු නෙවේ. එය සිනමා පටය ඉතා සාර්ථක එකක් බවට තවත් සාක්ෂ්‍ය සපයයි. සෑම සිද්දියක්ම තවත් සිද්ධියක් හා මනාව ගලපා ගත යුතුය. හේතු ප්‍රත්‍ය අතර සම්බන්ධතාව අවබෝධ නොවුන අයෙකුට වුවද මෙය අපභ්‍රංසයක් නොවන්නේ සරල වින්දනයක් ලබන්නෙකුට ද මේ තුළ ඉඩ ප්‍රස්ථාව සකසා ඇති බැවිනි. සිනමාපටය පුරා ඉතාම ප්‍රබල භාෂාවක් භාවිත කරයි. සෑම දෙබසක්ම ඉතාම ගැඹුරු සංවේදනයන් ජනිත කරවයි.

 

 “ලාම්පුව නිවලා මෙට්ටෙ බිමට අරන් අපි දෙන්න රඟපාන්න ගන්නකොට එළිවෙලා”යැයි උණුසුම් හැඟුමකින් කියනා සුද්දී  “අබසිරියි මායි බැඳලා අවුරුදු පහළොවක් වෙනවා හැබැයි ඊයේ රෑ තමයි අබසිරි පළවෙනි වතාවට මගේ හෙළුව දැක්කේ. ඒ මල් ශාලාවේ එම්බාම් ලෑල්ල උඩ”යැයි පවසන්නීය. ලාංකේය සමාජයේ ලිංගික අධ්‍යාපනයේ හිඩස මල බිරිඳගේ හෙළුව එම්බාම් කාමරයෙන් දැකීම දක්වා විහිද ගිය හැටි. මෙය නිර්මාණකරු ව්‍යංගයෙන් සිදුකරන ඉතා කර්කෂ සමාජ විවේචනයකි.  Sex යනුවෙන් google සෙවීම් කර වාර්තා පිට වාර්තා තබන රටක පිරිමින් තම බිරිඳ සමඟ සම්භෝග සුව විඳින්නේ අන්ධකාරයේය.  ගැහැණියගේ හැඟීම් වලට අවදිවීමට ඉඩ නොතබාම තම ආත්මාර්ථකාමී කාර්ය ඉටු කොට ගෙන පැත්තකට හැරී නිදියන සැමියන් නිසා සුද්දි තම පීඩාව ඉකියකින් පිට කරයි.

 

 

 

 සුද්දිගේ මාමණ්ඩියට බාත් රූම් එකට උඩින් එබී සුද්දිගේ හෙළුව බලන්න ඕන වුණේ ඇයි? ගමේ කොළු කුරුට්ටන් සුද්දි දිය නාන වෙලාවටම ගඟට පැමිණියේ ඇයි?

 

සංස්කෘතික කඩ තුරාවෙන් වැසුනද ප්‍රකෘතිය වැට කඩුළු බිඳ තවෙකෙකුට හිංසනයක් වීම දක්වා වර්ධනය වී ඇත.  ගමේ කොලු කුරුට්ටන්ට සුද්දිගේ සිරුර මැජික් එකකි. මාමණ්ඩි ද රාත්‍රි‍යේ පහන නිවා සංසර්ගයේ යෙදුණු අයෙක් විය හැකිය. එනයින් ඔහු සුද්දිගේ සිරුරේ නිරුවත බැලීමට බාත් රූම් එක තුළට එබෙයි. ගමේ අයට ද ප්‍රශ්නය වූයේ මාමණ්ඩිගේ හැසිරීම නොව සුද්දි නාන කාමරයේ හෙලුවෙන් නෑමයි. සුද්දිට ගමෙන් පිට වීමට සිදුවූ විට ඇය නවතා ගැනීමට ස්ත්‍රීන්ගේ හැට හතර මායම් හොයන අබසිරිට හයියක් තිබුණේ නැත. ඒ අනුව අපහාස ඉවසා හුස්ම ගන්නා සුද්දි ඔහුට වඩා ශක්තිමත් කාන්තාවකි. ඒ බව අබසිරිගේ හෘද සාක්ෂිය පිළිගනියි.

 

සුද්දිගේ මෘත ශරීරය දෙස බලා, “ සුද්දිට අගෞරව කරන්න එපා“ යනුවෙන් පැවසූ අබසිරිට වත් සුද්දි ජීවත්ව සිටින කාලයේ සිදුවන අගෞරව වලින් ඇයව මුදා ගැනීමට නොහැකි විය.

 

මිනි පෙට්ටිය ගම වෙත ගෙන යෑමට ඔවුන් තෝරාගත් අයිස්ක්‍රීම් වාහනයේ රියදුරු මහතා වනුයේ ලෙනින්ය.  මිනියක් රහිත හිස් පෙට්ටියක් බව පැවසුව ද  මුල් අවස්ථාවේ ලෙනින් එයට අකමැති වන නමුත් පසුව ඔහුව කැමති කර ගැනීමට අබසිරිට හැකිවෙයි. පෙට්ටිය වාහනය උඩ රාක්කයේ බැඳ ගෙනයෑම සිදුවෙයි. මෙය සාමාන්‍ය සමාජයේ සිදු වන දෙයක් නෙවෙයි. කුමක් වන්නට යන්නේ දැයි කුතුහලය තව තවත් තීව්‍ර වෙයි.

 

සමාජය තම වර්ගයේම මිනිසුන් මල පසු එම සිරුරු වලට අනියත බියක් ඇති කර ගනියි. මිනී පෙට්ටියක් ඉඩ කඩ සහිත ඕනෑම වාහනයකින් ගෙන යෑමට හැකි වුව ද සමාජ සම්මතය එය නොවේ. අබසිරි හා ලෙනින් අතර සංවාදයේදී උපහාසය හා සමාජයෙන් ප්‍රශ්න කිරීමක් ද ඇතුලත්ය. ලෙනින් විකට චරිතයක් නොවුවද ඔහුගේ කතා ප්‍රේක්ෂක මුවට සිනහවක් නංවයි. නමුත් ඒ තුළත් ගැඹුරු දෙවන පෙළ අරුත් කැටි කොට ඇත.

 

“මං ඉපදිලා තියෙන්නෙ ලෙනින්ගෙ උපන්දිනේට දවස් හතරකට පස්සෙ..“

 

ආ ෂෝක් නේ…

 

ප්‍රේක්ෂක මුවට සිනා නංවන උපහාසාත්මක දෙබස් දිගින් දිගටම මෙහි ඇතුලත් කොට ඇත. ඇතැම් විට ප්‍රේක්ෂකයින් සිනාසෙන්නේ තමන්ටමය. ලෙනින් හා මානි එක්වී ගයන ගීතය අබසිරිගේ ශෝකය වඩවයි. ඔහු එය නවතන ලෙස කෑ ගසන්නේ එබැවිනි. නමුත් මේ වන තුරු තම වාහනයේ උඩ ඇති පෙට්ටියේ මල සිරුරක් ඇති බවක් ලෙනින් නොදනියි. එම මලසිරුර ලෙනිනුත් දන්නා හඳුනන අයෙකුගේ බව මේ කිසිවෙක් නොදනයි. කෙරතරම් සංකීර්ණ සිදුවීම් ජාලාවක් වුවද සියල්ල භව්‍ය ගුණය රැගත් හේතු ප්‍රත්‍යන්ගෙන් සාධාරණීකරණය වන සිදුවීම් ජාලයකි. අවසන ලෙනින්ද සුද්දි ළඟට පැමිණි එකෙක් බවට ප්‍රේක්ෂකයින්ට හඳුනාගැනීමට හැකිවෙයි. ලෙනින්ගේ එම අහඹු හඳුනාගැනීම කොයි අවස්ථාවේ අනෙක් දෙදෙනා සමඟ බෙදා ගනිවි දැයි ඔබත් බලා සිටියා විය හැකිය. නැත. ලෙලින් කිසිවිටෙක එම සත්‍ය නොපවසයි. රාත්‍රියේ සම්භෝග සුව ලබා දිවා කළ අපහාසයට බඳුන් වන ගැහැණියක් වටා සිටි තවත් එක් පිරිමියෙකි ලෙනින්.

 

“9 පන්තියට යන්න කලින් මං ලොකු ළමයෙක් වුණා..අලුත් අච්චු පොත් හම්බුණු ගමන්ම අපි පෙරළුවෙ විද්‍යාව පොතේ අගටම තිබුණු ප්‍රජනන පාඩම..මට දැන් අවුරුදු 38 ක්..තාමත් ඒ පාඩම මට උගන්නලා නෑ..,”

 

ලංකාවේ ඊනියා සංස්කෘතිකවාදී ගෝත්‍රික ලක්ෂණ නිසා ළමුන්ට නිසි ලිංගික අධ්‍යාපනයක් ලබා නොදීම මහා ඛේදවාචකයක් බව නොවේද මින් කියාපාන්නෙ? ඇයට වයස අවුරුදු 35ක් මතු නොව ඇය මිය යන තුරා කිසිවෙකු ඇයට ප්‍රජනන පාඩම උගන්වා නැත. ඇය වැනි ප්‍රජනන පාඩම ඉගෙනනොගෙනීමේ පාපයට ජීවිතයෙන් වන්දිගෙවන තරුණියන් කෙතරම් සිටියිද?

 

මිනිය ගෙන යන රියේ රියදුරු මහතා වන ලෙනින් මිනී පෙට්ටිය රැහැන් බුරුල් වී බිමට වැටී නැවත ගොස් එය සොයාගන්නා තුරු එහි මල සිරුරක් ඇති බවක් නොදනියි. මනී සහ අබසිරි එය ඇඟවීමට කිහිප අවස්ථාවක් උත්සාහ කරයි. එය ප්‍රේක්ෂකයාට ද හාස්‍ය රසය ජනිත කරන්නකි.

 

, ඇත්තටම බලාගෙන යනකොට මේ පෙට්ටියේ මිනියක් වුනත් අරන් යන්න පුළුවන්නෙ.

 

පිස්සු නම් කතා කරන්න එපා. පොලිසියෙන් අල්ලයි.

 

හහ් හහ් හහ්..

 

එකිනෙකට වෙනස් හැඟීම් සමුදායක් කැටිකර ගත් මෙම නිර්මාණය විටෙක ප්‍රේක්ෂකයා සිනා ගස්වයි. ඒ සැනින් ඔවුන් හඬවයි. තවත් වරෙක නිරුත්තර කරයි. විටෙක උපහාසයට බඳුන් කරයි.  කුසුමේ, බියට්‍රිස්, කමලනී ලෙසින් මෙවැනි සුද්දිලා බොහෝ දෙනෙක් සමාජයේ ජීවත් වෙයි. මැරි මැරී ජීවත්වෙයි.

 

සුද්දිගේ යොහෙළියක් වන කුසුමේ තම සැමියාගේ ගුටි බැට ඉවසා ගත නොහී අවසන පිරිමින් ඉදිරියේ දෙපා පළල් කිරීමට සිදු වූ ගැහැණියකි. ඇය තම නිවසේ සිටිනවාට වඩා විඳිනා එකම දෙය නිවාස අඩස්සියේ සිට නොලැබූ නිදහස පමණි.  කුසුමේ පැවසූ දෙයක් සුද්දි සිහිපත් කරන්නේ මෙසේය.

 

“ මිනිහා කියන කියන විදිහට ඉන්නයි.හොඳම ගෑණී වෙන්නයි දෙකක් බෑනේ..,“ඇගේ ස්වාමිපුරුෂාට අවශ්‍ය වූයේ එයයි. පසුව ඈ වෙත පැමිණි පිරිමින්ට අවශ්‍ය වූයේ “ ඇය තමන් කියන කියන විදිහට සිටීම,“ පමණකි. ඔවුන්ට ඇය හොඳ ගෑණි වීම අවශ්‍ය නැත. පිට ගැහැණිය සමාජයේ නරක ගෑණි වීම ඔවුන් වඩාත් තෘප්තිමත් කරවයි. තම බිරිඳගේ දෙපා දක්වා සළු අන්දවා හිස කේ පවා දිගට වැවීමට උපදෙස් දී අනෙක් තරුණියන්ගේ කෙටි හිසකේ හා කෙටි සාය පතන පිරිමින් ය බොහෝමයක් සිටින්නේ.  කුසුමේ, සුද්දි වැනි ගැහැණුන් තම පුරුෂයා සමඟ වෙසෙන කාලයේ ද අනෙක් පුරුෂයන්ට කකුල් පළල් කිරීමට සිදු වූ කාලයේ ද නොවෙනස්ව තිබූ එක් පොදු ධර්මතාවයක් හඳුනාගත හැකිය. ,“ කියන කියන විදිහට හැරීම“ – ස්ත්‍රී ලිංගියක් ඇතිව ඉපදීම යනු පිරිමින්ගේ අවශ්‍යතාවයන් ඉටුකරගැනීමට භාණ්ඩයක් වීම යන අර්ථයද? ගැහැනුන් පිරිමින්ට අහේතුකව කීකරු විය යුතුද? ලිංගික කාර්යයේදී එය අනෙක් අවස්ථාවන්ටත් වඩා ප්‍රබලව සිදුවන්නක් බව නොවේද කුසුමේගේ ඒ කතාවෙන් ඉස්මතු වන්නේ,..

 

 “කසාද බඳින්න උඹට තියෙන්නේ දෙපරැන්ද අස්සේ තියෙන එක විතරයි”යැයි අබසිරි වරෙක සිය ඥාති පුත් මනිට පවසද්දී ඔහුගේ පිළිතුර වන්නේ “ඒක තිබුණාම මදෑ” යන්නය. පුරුෂයින් බොහෝ දෙනෙක් සිතා සිටින්නෙ ඒ අයුරිනි. ගැහැණියකගේ ජීවිතය, බලාපොරාත්තු, හැඟීම් තුට්ටුවකට මායිම් නොකරන ඇතැම් ආසියාතික පිරිමින් පිරිමිකම නමැති සුකුරුත්තම් කෑල්ල  සියල්ලටම ලොකුම  සුදුසුකම කර ගනියි.

 

සමාජය සියුම් ලෙස උපහාසයට ලක්කරන මේ චිත්‍රපටය පුරා නිර්මාණාත්මකව ප්‍රතිනිර්මාණය කළ තිත්ත ඇත්තක් අභිමුව ප්‍රේක්ෂකයා ඇද බැඳ තබා ගැනීමට සාර්ථක උපක්‍රම භාවිත කොට ඇත. අවසානයේ සුද්දි පවසන්නේ,

 

 “අබසිරි, එළියේ ඉන්න මිනිස්සුන්ට කියන්න මැරිච්ච ගෑනු විතරක් නෙවෙයි උන්ව මරපු මිනිස්සුත් පව් කියලා” මොන තරම් මානව දයාවෙන් යුතු ප්‍රකාශයක් ද ඒ?

 

ප්‍රේක්ෂක හදවත හඬාවැටෙයි. අවසන ඈ මේ තත්වයන්ට ඇද දැමූ සමාජ ප්‍රපංචයන්ටද වෛර නොකරන බව නොවේද ඒ පවසනුයේ? 9 ශ්‍රේණියේ ප්‍රජනන පාඩම ඇයට සේම ඔහුට ද අහිමි වූ බව ප්‍රත්‍යක්ෂයෙන් දැන සිටි නිසා ඇයට පිරිමින් පිළිබඳව ද හැඟීම් සානුකම්පාවකින් අවසන් වෙයි.

 

සිනමා පටයේ කිසිඳු දර්ශනයක කිසිම ගැහැණියෙකුගේ හෝ පිරිමියෙකුගේ මුවින් ගණිකාව යන වචනය පිට නොවෙයි. මා එය දකින්නේ හුදෙක්ම කතාවේ ගලායෑම හා කුතුහලය රඳවා ගැනීමට ගත් උත්සාහයක් ලෙසින් නොව සාධාරණත්වයේ මානව හිතවාදී සත්‍රීවාදී ස්වරූපයේ ගලා යාමකි. දින 28ක චක්‍රය අතරතුර ගැහැණුන් ජීවත් වෙයි. ඊට වඩා මියයයි. ඊට වඩා මැරි මැරී උපදියි.

 

අබසිරි  මිනියට තනි වීමට අවශ්‍ය බව දැන වැසීමට යන තිරය නොවසාම කතාව නිමා වෙයි. අබසිරිට ප්‍රෙක්ෂකාගාරයේ සිට පිටවී යන තවත් සුද්දිලා දැක එය වැසීමට පවා අමතක වූවා විය හැකිය.

 

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.