09 June 2017 Written by 

අනෙකාගේ ප්‍ර මෝදය හමුවේ අප 

 

අනෙකාගේ ප්‍රමෝදය (other Jouissance) ඉවසා දරාගැනීම අතින් සමාජයක් වශයෙන්, අප සිටින ස්තරය අතීතය හාරා ඇවිස්සීමෙන් ඕනා තරම් උදාහරණ සහිතව අපට හමුවනු ඇත. අප මේ වනවිටත් අපට අහිමි වී ගිය ප්‍රමෝදයක් වෙනුවෙන් කැප වෙමින් සිටිනවා විය හැක. එනම්, පූර්ණ වූ ප්‍රමෝදය ලබාගැනීම අතරතුර අප ආදේශක ප්‍රමෝදයන් ලබාගනිමින් මවගේ ලෝකයෙන් පියාගේ ලෝකයට පිවිසීමට උත්සහ දරමින් සිටින බවයි. එවැනි විටක, අනෙකාගේ ප්‍රමෝදය දරාගැනීම පුද්ගලයෙක් හෝ සමාජයක් වශයෙන් අප, තවදුරටත් ප්‍රගුණ කරමින් සිටින්නේ ය.

 

Haraamkhor සිනමාපටය තුල අපට හමුවන්නෙ, අපට සමීප එකී ලාංකීය සමාජ යථාර්තයයි. ශ්‍යාම් ග්‍රාමීය පාසලක ඉගැන්වීම් සිදුකරන, විවාහක මැදිවිය ඉක්ම වූ ගුරුවරයෙකි. සන්ධ්‍යා එම පාසලේ ම ශිෂ්‍යාවකි. බිඳ වැටුන පවුල් පසුබිමත්, අවිවේකි පියාත් සමඟ තනිවන ඇය මානසික ව පීඩා විඳිමින් සිටියි. ඇයට තමන්ගෙ හැඟීම් බෙදාගැනීමට විශ්වාසවන්ත කිසිවෙකු අවශ්‍යව ඇත. ඇයගේ ජීවිතයේ එකී අඩුව පුරාලීම සඳහා ඇය තෝරාගන්නෙ ශ්‍යාම් ය. ශ්‍යාම් ඇයගේ සමීප ඇසුර, තමන් ගේ ශරීරය පිනවීම දක්වා උපක්‍රමශීලිව හසුරවා ගනියි. ඔහුගේ ලිංගික සන්තර්පනය හා අධ්‍යාත්මික ගනුදෙනුව ඇයගේ විශාදයට ලක්ව තිබු මනස යථාතත්ත්වයට ඇද දැමීමට සමත් කම් පායි.

අපගේ කතානායකයා පැමිණෙන්නෙ ඒ අතර ය. කමල්, සන්ධ්‍යාගේ ශ්‍රේණියේ ම ඉගෙනුම් කටයුතු කරන, ඇය වෙනුවෙන් ආදරයක් ඇති, නමුත් එය පැවසීමට අවස්ථාවක් නැත්නම් ශක්තියක් නැතිව ලතැවෙන කොලු ගැටයෙකි. ඔහුගෙ සමීප මිතුරා මින්ටු, නිරන්තරයෙන් ඔහුව ඒ සඳහා උනන්දු කලත්, සියලු උත්සාහයන් ව්‍යාර්ථ වේ. ඒ අතර කමල්, ගුරු-ගෝල ආදර අන්දරය පිළිබඳව දැන ගනී.

තමන්ට අයිති ප්‍රමෝදයක් තවකෙකු ලබාගන්නා විට, නිතැතින් ම තමන්ට බාධා කරන එකි අනෙකාගේ ප්‍රමෝදය කෙරෙහි ප්‍රතිචාර දක්වන ආකාර කිහිපයක් ඇත. පලමු ව අනෙකාගේ ප්‍රමෝදයට බාධා නොකර ඒ තුලින් ඉවත්වීම/විතැන්වීම ගත හැක. ඊට සුදුසු ම ආදේශකය අනේකත්වයයි. අනෙත් කරුණ අහිමි වී ගිය ප්‍රමෝදය ලබාගැනීමට වෑයම් කිරීමයි. මේ අනෙකාගේ ප්‍රමෝදය සඳහා අප සමාජයේ ජනප්‍රියත ම උදාහරණය ප්‍රභාකරන් ය. සිංහල-බෞද්ධ මහා සමාජයේ පැවැත්මට බලපෑම් කරන අනෙකා ප්‍රභාකරන් ය. එබැවින් දකුණේ සිංහල-බෞද්ධ සුපිරි බවට තර්ජනයක් වන උතුරේ ප්‍රභාකරන් විනාශ කිරීම නැත්නම් තමන්ට අහිමි වූ සුපිරි බව ලබාගැනීම දකුණ ප්‍රමෝදයට පත් කරයි. කිරිබත් උයමින් පාරේ නටන්නෙ එකී අහිමි වූ ප්‍රමෝදය තමන් සතු වූ විටයි. මින්ටු සමඟින් කමල් නොයෙක් උපක්‍රම භාවිත කරමින් උත්සාහ කරන්නෙ එකී අහිමිව ගිය ප්‍රමෝදය තමන්(කමල්) සතු කරගැනීම සඳහා ය.

වරෙක ශ්‍යාමි හා බිරිඳ නැති අතර, නිවසට පැන බඩු භාණ්ඩ විසුරුවා අනාගත් පිටිගුලි මඟින් බිත්තියේ එල්ලා ඇති මඟුල් ෆොටෝ වලට තරඟයට ඉලක්ක කර ගැසීම, ශ්‍යාම්ගේ ප්‍රියතම නිල් පාට කමිසය රැගෙන ගොස් ඇඳගෙන එහි නූලක් බැඳ අනෙකා එය ඇදගෙන යනවිට තම ඇගෙන් ඉරි ගැලවෙන ශ්‍යාම්ගේ කමිසය දෙස බලා ප්‍රීති වීම අනෙකාගේ ප්‍රමෝදයට එරෙහිව ප්‍රතිචාර දැක්වීමයි. තමන්ට අහිමිව ගිය ප්‍රමෝදය සතුකරගත් අනෙකාගේ ප්‍රතිරූපය බිඳදැමීමට තමන්ට ඇති ආසාව සේම සවිඥානිකව තමන් ඒ කාර්යය සිදුකරන බවට තමන්ට ඒත්තු ගන්වා ගැනීම සඳහා සංකේතාත්මක මෙවැනි ක්‍රියාවන් පෙර අප විසින් උදාහරණයට ගත් සිංහල-බෞද්ධ හා ප්‍රභාකරන් ගැටුමෙදීත් දකුණේ සමාජය තුලි ඇති තරම් දැකගන්නට ලැබුනි.

සමාජ ජාල තුල ද පසුගිය කාලයේ සිදුවූයේ මෙවැනි ප්‍රතිචාරයන් ය. බාර් එකෙ නටන නීති ශිෂ්‍යාව, පියවුරු විවර කල නිරූපිකාව, කෝච්චියට බිලි වූ රූමත් විශ්ව විද්‍යාල ශිෂ්‍යාව ඒ සඳහා මෑත කාලීන උදාහරණ ය.

අනෙත් කරුණ, තමන්ට අහිමි වූ ප්‍රමෝදය ලබාගැනීමට වෑයම් කරත් ලබාගත නොහැකි බවත් දැනුන පසු අනෙකාගේ ප්‍රමෝදයට බාධා කිරීමට උත්සාහ දැරීමයි. කමල් විසින් මින්ටු සමඟ ගෙන යන ශ්‍යාම්ගේ ප්‍රමෝදයට බාධා කිරීම් කෙලවර වන්නේ, ශ්‍යාම්ගේ, මින්ටුගේ ජීවිත ද අහිමිකරමින් මහා ඛේදාන්තයකිනි.

-රෝ-

 

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.