03 June 2017 Written by 

නිම්නයක හුදෙකලා නොවන්නට : සිනමාවේ දේවධර්මය දැන සිටීම

දසක දෙකකට පමණ ඉහත දී පෙරාත්මය පවසනවා යැයි මාධ්‍ය මගින් ප්‍රචලිත වූ දරුවෙක් මෝහනය කරනු ලදි. එහිදී ඔහු පැවසුවේ තමා ඉහත ආත්මයේ මරණාසන්නව සිටියදී ලංගම බස්‍ රියකින් රෝහලට රැගෙන ගිය බවක් ය.

එම දරුවා පැවසූ අතීත සිදුවීමට අදාල වර්ෂය සහ කාලවකවානුව වන විට ලංකාව තුළ "ලංගම" ස්ථාපනය කර නොතිබිණ. දරුවාගේ පෙර අත්මයේ කතාව ගොඩනැගෙන්නේ ද , එය මැවෙන්නේද ඔහු අද දකින රූප සහ සංඥා එයට ආදේශ කිරීමෙනි. 

මේ කතාව සිහියට නැගුණේ බූඩි කීර්තිසේනගේ " නිම්නයක හුදෙකලාව" නැරඹීමෙන් පසුවය. එහි සමීප රූප , අති සමීප රූප සහ මා විසින් කිසිලෙසකින් හෝ හඳුනා නොගත් විවිධාකාර කැමරා කෝණ රැසක් සමග ක්‍රමවත් රංග හැසිරීමක් දක්නට ලැබිණ. ජයශ්‍රී ගේ වෙනස් ආකාරයේ සංගීතය ද පසෙකින් ගලා යයි. සියල්ල අභිබවා චිත්‍රපටය පුරාම දක්නට ලැබෙන්නේ තරමක් වෙනසකින් යුතු තරමක් දැවැන්ත සෙවණැල්ලකි. එහි හිමිකරු බූඩි ය. 

චිත්‍රපටය ආරම්භයේ සිටම නොරිස්සුම ඉපදෙන්නේ සෞම්‍ය ලියනගේ කෙරෙහිය. ඒ ඔහුගේ රංග ප්‍රතිභාව නිසාමය. කුමක් වන්නේද , කුමක් කරන්නේද යන්න නොතේරෙන අපි නොඉවසිලිමත්ව බලා සිටිනෙමු. පසෙක බරි තොල් සඟලකින් යුතු සමනළී ෆොන්සේකා සහ මීන නුවන් හිමි සචිනි අයේන්ද්‍රාය. මතුවී එක හුස්මට දොඩන කිංස්ලි රත්නායකය. දහදියෙන් බොඳවන රවීන්ද්‍ර රන්දෙණියය. පෙනී නොපෙනෙන නාරද බක්මීවැවය. හිත හිතා කතාකරන විමුක්ති ජයසුන්දරය. සියල්ල අතරේ "නිම්නයක හුදෙකලාව" ගර්භණී වාට්ටුවක් බවට පත් වෙයි . මළ සමයං !! මේ චිත්‍රපටයේ සංගීතා වීරරත්න බඩදරු ය. ඉදින්, "ලව් 2002 " චිත්‍රපටයේ ජයන්ත බෝපේආරච්චි සමග නැටුවාක් මෙන් උඩ පැන පැන නටතැයි සිතනු බැරිය. මෙහෙන් කුස ඔසවාගෙන කඳුළු සලන සුරංගා රණවකය. ඇයගේ දමිළ ගීතයට හඬ පොවන රොසිටා ජේසුදාසන්ගේ  හඬ නම් වදනින් පැවසිය නොහී මිහිරිය.

 මායාව සහ යථාව එක්ව තබන බූඩි අපව පටලවන්නේ වර්ණවත් නූල් ගොඩක ය. පැටළුණු නූල් රොද ඉතා සියුම් බවත්, ඒවා කාශ්මීරයෙන් ගෙන එන්නට ඇති බවත් එළියට පැමිණ මුණු මුණු ගාන මොහොත වන විට ද සමහරුන්ගේ අත පයේ පැටළුණු නූල් කැබලිය. "කමක් නෑ ! වෙනසකටත් එක්ක මෙහෙම තිබිද්දෙන්" ඒවායේ පැටලුම් ලෙහා දෙන්නට ඉදිරිපත් වූ විට එය ප්‍රතික්ෂේප කළ ඔවුන් නූල් වල හැඩවැඩ බලන්නට විය. බූඩි ගේ පැටලිලි වලට අමතරව කෙමෙන , උගුල් , මී කතුරු සහ මංමුලා වැල් ද එනවිට ගෙදරින්ම රැගෙන ආ කිහිප දෙනෙක් ද හමුවිය. ඔවුන් මහත් කළකිරීමෙන් ඒවා සිනමා ශාලා දොරකඩ අසල දමා ගසා රවා බලා සිටියහ. " කොහෙද ? මේවයින් වැඩක් ගන්න වුණායැ ? අර මිනිහා අපිව පටලවපු හැටියට" මේ කිසිත්වා ගණන් නොගෙන හෝ ගණන් නොගත්තා සේ පෙන්වන බූඩි ද තනි ඇහැක් ගලවා අප දෙස බැලූ තිස්ස අබේසේකර ද සිනමාවේ නවමු මංපෙත් ගැන බරසාර සාකච්ඡාවකය.

මහිංසාස කතා වස්තුවේ විල් ඉවුරේ ගියවුන්ගේ පා ලකුණු මිස නැවත පැමිණිවුන්ගේ පා ලකුණු නොමැති වීම මහත් ගැටළුවකට මුල පිරීමක් විය. නිම්නයක හුදෙකලාව ද එසේමය. නිම්නය දෙසට ගියවුන්ගේ පා ලකුණු බොහෝමය. නැවත එන්නට නම් රකුසාට පවසන්නට දේවධර්මය දත යුතුමය.

ඔලිම්පික් පවා වසර හතරකට වරක් පවත්වන යුගයක වසර අටකට වතාවක් පමණ චිත්‍රපටයක එතූ බැලස්ටික් මිසයිලයක් අත හරින ලාංකේය සිනමාවේ කිම් ජොන්ග් ඌන් ඔහු ය. නිම්නයක හුදෙකලාව නරඹන්නට යන ලෙස මා පවසන්නේ බූඩිගේ සිනමාව අගයනු පිණිසම නොව , 1978 දී රාජ් කපූර්ගේ සත්‍යම් ශිවම් සුන්දරම් වැනි චිත්‍රපට නැරඹූ බොලිවුඩයට 1980 දී ෆෙරෝස් ඛාන් විසින් කුර්බානි අත හැරිය විට දැණුනු තක්කඩි හැඟීම විඳගන්නටය

 

Last modified on Saturday, 03 June 2017 01:48

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.