10 January 2021 Written by 

දෙමළ ප්‍රගතිශීලී සාහිත්‍ය ව්‍යාපාරය

දෙමළ ප්‍රගතිශීලී සාහිත්‍ය ව්‍යාපාරය ඇරඹෙන්නේ 1940න් පසුව ය. 
ප්‍රගතිශීලී සාහිත්‍ය ව්‍යාපාරය ඇරඹීම කෙරෙහි දැඩිව බලපාන්නේ කම්කරු පන්තියට විඳින්නට සිදු වූ දුක්‌ ගැහැට ආදියයි. ඔවුන් එහි දී විඳි පීඩාව හා සමාජ අසාධාරණය පිළිබඳව ලාංකීය සමාජය දැනුම්වත් කිරීම උදෙසා සාහිත්‍ය නිර්මාණයන්හි යෙදුණු පිරිස මෙහි ආරම්භකයෝ වූහ. තත්කාලීන සමාජ විපර්යාස පිළිබඳ මෙන්ම වැඩකරන ජනතාවට පාලක පන්තිය මඟින් සිදුවන අසාධාරණ පිළිබඳ සාහිත්‍යාත්මක නිර්මාණ ඇසුරින් සමාජය දැනුම්වත් කළහ. ප්‍රගතිශීලී සාහිත්‍යය යනුවෙන් අප හඳුන්වන්නේ එම සාහිත්‍ය ශානරයයි. මෙහි දී ඒ පිළිබඳ විමසා බැලීමක්‌ සිදු කෙරේ.
 
 
සමාජාරම්භයේ සිට කම්කරු නමින් හැඳින්වෙන යම් පිරිසක්‌ සිටියෝ ද ඔවුන් කෙරෙහි පාලක පන්තිය දැක්‌වූ සංකල්පයේ වෙනසක්‌ එකල මෙන් ම මෙකල ද වෙනස්‌ව නැත. කම්කරු ශ්‍රමය සූරාකමින්, කම්කරුවන් තාඩන පීඩනවලට ලක්‌කරමින් ඔවුන්ගේ වෙහෙස මහන්සියට නිසි වටිනාකමක්‌ නොදෙමින් ඔවුන් පීඩාවට පත්කිරීමක්‌ සැම කලෙකම දක්‌නට ලැබේ. මෙකී කම්කරු අසාධාරණ පිළිබඳ ඉවසා දරා, අවසානයේ ඔවුන් විඳින පීඩාව සමාජයට සැළ කරනු වස්‌ ප්‍රගතිශීලී සාහිත්‍ය ව්‍යාපාරය හිස එසවිණි. පශ්චාත් යටත් විජිතවාදී සමයේ පටන් මෙරටෙහි දෙමළ කම්කරුවන්ට අත්වූයේ මහත් දුක්‌�ත ඉරණමකි. එකී ඉරණමේ ස්‌වභාවය සමාජගත කරනු වස්‌ හා ඔවුන් ඒ තත්ත්වයෙන් කෙසේ හෝ බැහැර කරනු වස්‌ දෙමළ නිර්මාණකරුවෝ උත්සුක වූහ. එහි දී ඔවුන්ගේ නිර්මාණ ඇසුරින්,
 
 
1. මුඩුක්‌කු නිවාසයන්හි දුක්‌බර ජීවිතය
 
2. සමාජයේ ඔවුන්ට ලැබෙන අවතත්ත්වය
 
3. වැඩපළේදී ශ්‍රමය සූරාකෑමට ලක්‌වීම
 
4. ආර්ථික අපහසුතා
 
ආදි අංශ කිහිපයක්‌ මුල් කරගෙන නිර්මාණකරණයේ යෙදුණහ. මෙයට සමගාමීව තත්කාලීන යුගයේ දීම කම්කරු අරගල ඇරඹුණු අතර ඔවුනොවුන්ගේ ක්‍රියාකාරකම් සඳහා මෙය මහත් පිටුබලයක්‌ විය. දෙමළ කම්කරුවාගේ සැබෑ ජීවිතය හා ප්‍රබන්ධ කථා ආශ්‍රයෙන් ඉදිරිපත් කෙරෙන චරිත අතර ඇත්තේ නූලක පරතරයක්‌ පමණි යෑයි පැවසීම සාවද්‍ය නොවේ. ප්‍රගතිශීලී සාහිත්‍යයේ නියෑළුණු දෙමළ නිර්මාණකරුවන් ලෙස වැදගත් චරිත කිහිපයක්‌ ඇත.
 
1. නීර්වෙව පොන්නෙයියන්
 
2. එස්‌. ගනේෂලිංගම්
 
3. කේ. ගනේෂ්
 
4. එස්‌. තිල්ලෛනඩරාජා
 
ආදීන් ඒ අතර ප්‍රමුඛයෝ වෙති. ඔවුන්ගේ සාහිත්‍ය කෘති පාදක කරගෙන දෙමළ ප්‍රගතිශීලී සාහිත්‍ය පෝෂණය වූ බව සඳහන් කිරීම වටී. ඉහතින් සඳහන් කළ පරිදි මෙකී කෙටිකතා නවකතා ආදී සාහිත්‍ය ප්‍රබන්ධවලින් දිගහැරෙන්නේ දෙමළ කම්කරු පන්තියේ ශෝකාලාපයයි. ඔවුන්ට විඳින්නට සිදු වූ පාලක අසාධාරණයයි.
 
 
එස්‌. ගනේෂලිංගම්
 
ලංකාවේ ජ්‍යෙෂ්ඨ දෙමළ ලේඛකයන් අතර ගනේෂලිංගම් මූලිකයෙකි. ඔහු 1928දී යාපනයේ උපත ලැබුවේය. කුඩා කාලයේ දී ම පුවත්පත් සඳහා ලිපි/කෙටිකතා ආදිය රචනා කළ ඔහු 'නල්ලවන්' නමින් තම කුළුඳුල් කෙටිකතා සංග්‍රහය 1958දී එළිදැක්‌වීය. එතැන් සිට ඔහු කෙටිකතා නවකතා පද්‍ය විචාර ළමා ආදි වශයෙන් විවිධ ක්‌ෂේත්‍ර ඔස්‌සේ නිර්මාණ ඉදිරිපත් කළේය. ඔහුගේ සියලු කෘතීන්හි එකතුව 80ක්‌ පමණ වෙතැයි පැවසේ. ඔහුගේ නිර්මාණයන්හි සුවිශේෂත්වය අවබෝධ කරගත් පිරිස්‌ තත් කෘතීන්හි පරිවර්තන ඉංග්‍රීසි, රුසියන්, මලයාලම් ආදි භාෂාවන්ගෙන් රචනා කර ඇත. 1967දී රචනා කළ 'සඩංගු' නම් නවකතාව 2010දී ජී. ජී. සරත් ආනන්ද 'කුලගෙයි සිරකාරී නමින් සිංහලයට පරිවර්තනය කළේය.
 
රත්පැහැය
 
ඔහු විසින් රචනා කළ එක්‌ කෙටිකතාවක්‌ ජී. ජී සරත් ආනන්ද සිංහලයට පරිවර්තනය කරන්නේ 'රත්පැහැය' නමිනි. මෙහි එන ප්‍රධාන චරිතය වන්නේ තංගප්පන්ය. තේ වත්තක ශ්‍රමය වපුරන ඔහු ඇතුළු පිරිස එහි තේවතු පාලක, ටී මේකර්, ප්‍රධාන කළමනාකරු ආදීන්ගේ සැහැසිකම්වලට බඳුන් වේ. කම්කරු නායකයෙකුව සිටි තංගප්පන් පවා දිනක්‌ මේ ඉරණමට මුහුණ දෙයි. ඔහු රෝගාතුර වූ එක්‌ අවස්‌ථාවක සිදුවීමක්‌ මුල් කරගෙන කතාව ගලාගෙන යයි. එහි ආරම්භයේ ඇති දෙබසකි පහත දැක්‌වෙන්නේ.
 
''තංගප්පා මොකද බොල අදත් පොරෝගෙන? උඹ අද කන්දේ පඳුරු ගැට කඩන්න යන්න ඕනෑ'' මෙසේ අණ කරන්නේ වතු පාලක ය. තංගප්පන් තම අසනීපය පිළිබඳ සැළකර සිටි විට ඔහු කිසිම අනුකම්පාවක්‌ නොදක්‌වා ''බෑ පුරන් කන්දේ අක්‌කර සීයල්ම මේ සතියේ පෝර දාල අවසන් කරන්න ඕන කියලා දොරේ දැනුම් දීල තියෙනවා'' යනුවෙන් පවසා ඔහුට රාජකාරි අණ කරයි.
 
තංගප්පා තමාට නියම කළ රාජකාරිය සඳහා පිටත්ව යන අතර එහි දී ඔහුට ක්‌ලාන්ත ගතියක්‌ දැනේ. පහළින් ගලා යන ගඟට ගොස්‌ ඇඟපත සෝදාගෙන එන අතරවාරයේ වතුපාලක තැන එහි පැමිණ සිටි අතර ඔහුගේ අසනීපය ගැනවත් නොසිතා ඔහුට නිවාඩු ලබාදෙයි. වරුවක්‌ පුරා සිදුකළ වැඩයට කිසිම වටිනාකමක්‌ දෙන්නේ නැත.
 
''තංගප්පන් උඹට ගෙදර යන්න පුළුවන්''
 
''බඩේ කැක්‌කුම වැඩිවුණා. මම කංකානම් මහත්තයට කියල තමයි....''
 
''මට හේතු ඕනෙ නෑ. පලයං කිව්වම පලයං..''
 
තංගප්පන් මහන්සි වී නිවෙසට ගිය අතරවාරයේ ඔහුගේ නිවෙසට දොරේ පැමිණ ගොස්‌ සිටි අතර ඔහුගේ බිරිඳට දොස්‌ නඟා ඇත.
 
''ඔයා දන්නෙ නෑ දොරේ ඇවිල්ලා මෙතන ගෙම්බර් දාල ගිය හැටි. දලු වැවිලා තියෙද්දී මට ලීව් දුන්නේ මොන මෝඩය ද කියලා ඇහුවා. මම උඹේ ඇඟට අත තියන්නේ නෑ බය නැතිව වරෙන් කියලා කෑ ගැහුවා. මට ලැඡ්ජාවේ බැරිව ගියා.''
 
මේ සිදුවීම් සියල්ල සැළවීමෙන් පසු ඔහු තම සංගමයේ ලේකම්ට වහාම රැස්‌වීමක්‌ කැඳවන ලෙස දැනුම් දෙයි. එනමුදු ඔවුනට රැස්‌වීමට අවස්‌ථාවක්‌ නොදීම එය වළක්‌aවාලන්නට වතුපාලක ප්‍රයත්නය දැරුවත් ඉන් ඵලක්‌ නොවිණි. ඔවුන් මෙහිදී එක්‌ වී කතිකා කළේ ඔවුන් මෙතෙක්‌ විඳි දුක්‌ ගැහැට නිමා කිරීම සඳහා යම් පහසුකම් කිහිපයකි.
 
''පහසුකම් සහිත නිවාස, ජලය, දරුවන්ට ක්‍රීඩා කිරීමට ස්‌ථානයක්‌, විනෝද වීමට අවස්‌ථා ආදිය පිළිබඳ සියලු ඉල්ලීම් සංගමය විසින් ඉදිරිපත් කර තිබිණි. මෙය වතුපාලකයාගේ කෝපය ඇවිස්‌සීමට හේතු විය. ඔහු කම්කරුවන්ගේ සංගමය කඩාකප්පල් කිරීම සඳහා සෙමින් ක්‍රියාමාර්ග සොයමින් සිටියේ ය.
 
කෙසේ නමුත් අවසානයේ ඔවුනට කම්කරුවන්ගේ ඉල්ලීම් ලබා දීමට සිදු විය. එහි දී තංගප්පන් නඟන හ`ඩ සැබැවින්ම කම්කරු පන්තියේම හ`ඩ යෑයි පැවසීම සාවද්‍ය නොවේ.
 
''තේ කුඩුවල පාට කම්කරුවන්නේ හමේ පාට. හම ඇතුළේ දුවන්නේ ලේ. තේකුඩු උණුකරලා එන්නේ ලේ පාට. පිටරටවලට තේ විකුණලා සල්ලි ගන්නව කියන්නේ අපේ ලේ විකුණලා සල්ලි උපයනවා කියල හිතාගන්න.''
 
කේ. ගනේෂ්
 
ලංකාවේ ප්‍රගතිශීලී ලේඛක සංගමයේ ප්‍රකට චරිතයක්‌ ලෙස මොහු හඳුන්වා දිය හැකිය. ඔහුගේ උපත සිදු වූයේ මහනුවරදී 1920 වර්ෂයේ දී ය. ප්‍රගතිශීලී ලේඛක සංගමය මගින් ප්‍රකාශයට පත් කළ 'භාරතී' සඟරාවේ ආරම්භක කතුවරයා වන්නේ මොහු ය. ඔහු දෙමළ සාහිත්‍ය නිර්මාණ රැසක්‌ රචනා කළේය. ඉන් එක්‌ කෙටිකතාවක්‌ ලෙස 'දිවුරුම් බෝගස්‌ හඳුන්වා දීමට හැකිය.
 
දිවුරුම් බෝගස
 
දිවුරුම් බෝගස යනුවෙන් ප්‍රසිද්ධව ඇත්තේ එක්‌තරා බෝගසකි. මේ නමින් මෙය හැඳින්වීමට යෙදුණේ පුද්ගලයන් යම් වරදක්‌ සිදුකළ බව අනුන් දෝෂාරෝපණය කළ කල්හි එහි පැමිණ තමන් එම වරද නොකළ බව දිවුරා පොරොන්දු වීමයි. මෙහිදී යමෙක්‌ බොරුවට දිවුරුවහොත් ඔහුට දරුණු විපාක ලබා දෙන බව එක්‌ කතාවක්‌ මුල් කරගෙන දිගහැර ඇත. බසයේ යන අතරවාරයේ දී මෙකී සිදුවීම එක්‌ පුද්ගලයකු විසින් අනෙක්‌ පිරිසට ප්‍රකාශ කරයි. මෙහි දී එන කතාපුවතින් ද එවන් සිදුවීමක්‌ මුල් වන අතර එහි දී තම සේවකයාට කළ වංචාවක්‌ නිසා එම පරපුරම විනාශ වී ගිය අයුරු පෙන්වා දෙයි.
 
පහත නිදසුන්වලින් එය මනාව සනාථ වේ.
 
''වත්තක වැඩ කරන කම්කරුවෙක්‌ මුදලාලි කෙනෙකුට රුපියල් දෙකක්‌ දීලා තියෙනවා නුවරට ගිහිල්ලා රේස්‌ ටිකට්‌ එකක්‌ ලියල ගෙන එන්න කියලා. මුදලාලි ඒක ලියලා තියෙන්නේ තමන්ගේ නමට. ඒකට දිනුම ඇදිලා. තෑග්ගත් මුදලාලිම අරන්. කම්කරුවා ඒක දැනගන්න ගමන් සල්ලි ඉල්ලූව. මුදලාලි කිව්වලූ ඕනනම් රුපියල් දෙක ආයෙත් දෙන්නම් කියලා.''
 
මෙහි දී සමාජයේ පවතින ස්‌වභාවය පිළිබඳ මෙකී සිදුවීම විස්‌තර කරන අවස්‌ථාවේ බසයේ ගමන් කරන මඟියෙක්‌ගෙන් ප්‍රකාශ වන්නේ මෙවන් අදහසකි.
 
ඒ වුණාට මගේ අත්දැකීම් අනුව හොඳ කරපු අයට හොඳක්‌වත් නරක කරපු අයට නරකවත් වෙලා තියෙනවා දැක්‌කෙ නෑ. ඊට විරුද්ධ විදිහට තමයි සිද්ධ වෙලා තියෙනවා දැක්‌කේ.''
 
මෙහි ද වැරැද්දක්‌ නැත. ඔහු මෙතුවක්‌ කල් හොඳකරපු අයට හොඳක්‌වත් නරක කරපු අයට නරකක්‌ වත් විපාක වශයෙන් සිදු නොවුණ වග පැවසීමෙන් තත්කාලීන සමාජයේ පැවති අසාධාරණය රජ කළ බවට දෙස්‌ දෙයි. එහි දී මුල්කතාව පවසන පුද්ගලයා එහි උච්චතම අවස්‌ථාව මෙසේ සඳහන් කරයි.
 
''ටික වේලාවකට කලින් කිසිම හානියක්‌ නැතිව තිබුණු ඒ බෝගහේ අත්තක්‌ හදිස්‌සියේම වෙන්වෙලා එයාලාගේ කාර්එක උඩට වැටිලා සිංගප්පිල්ලෛගේ මුළු පවුලම මාරයාට ගොදුරු වුණා. උසාවියටත් සමාජයටත් බැරි වුණු ඒ පවුකාර මිනිහට දිවුරුම් බෝ ගහම ද`ඩුවම් දුන්නා.''
 
තමා ඉහතින් සඳහන් කළ සේවකයාගෙන් රුපියල් දෙකක්‌ නොගත් බවත් එය තමාගේ මුදලින් ගත් බවත් මීට කිහිප දිනකට පෙර ඔහු උසාවියේ දී පවසා දිව්රුම් බෝගහ අසලදීත් දිවුරා පොරොන්දු වී ඇත. එනමුදු ඔහුගේ වංචාව නිසා දිවුරුම් බෝගහ ඔහුට නිසි ද`ඩුවම ලබාදුන් බව මෙහි දී ප්‍රකට කෙරේ.
 
තමන්ගේ සේවකයන්ට තාඩන පීඩන කළ ද වංචා ආදිය කළ ද එයින් අත්වන අයහපත් ඉරණම කිසිදා වෙනස්‌ කළ නොහැකි බව මෙයින් ව්‍යංගව ප්‍රකාශ කිරීමක්‌ සිදු කර ඇති අයුරු පෙනේ.
 
නීර්වෛ පොන්නෛයියන්
 
දමිළ සාහිත්‍යය පෝෂණයට සුවිශේෂ දායකත්වයක්‌ ලබා දුන් ලේඛකයෙකු ලෙස නීර්වෛ පොන්නෛයන් හඳුන්වා දීමට හැකිය. 1930දී උපත ලැබූ ඔහු 1960දී ග්‍රන්ථ රචනයට යොමු වී ඇත. ඔහු වෘත්තියෙන් ගුරුවරයෙකි. පසුව පුවත්පත් කතුවරයෙක්‌ ද ලෙසින් කටයුතු කළේය. ගොවි කම්කරු ජනතාවගේ විමුක්‌තිය උදෙසා තෙලිතු`ඩ මෙහෙය වූ ඔහු නිරන්තර කැපවූයේ ඔවුනට සිදුවන අසාධාරණකම් පිළිබඳ සමාජය දැනුම්වත් කිරීමටයි. ඔහු කෙටිකතා රැසක්‌ම එළිදක්‌වා ඇති අතර පාසම් (සෙනෙහස), මේඩුම් පල්ලමූම් (කඳු සහ පල්ලම්), උයදම් (උදාව), මුවර් කදෛගල් (තිදෙනෙකුගේ කතා), පාදෛ (මාවත) වේට්‌කෛ (ආශාව) උලගත්තු නාට්‌ටාල් කදෛගල් (ලෝක ජනකතා) ආදි කෙටිකතා සංග්‍රහ රැසක්‌ එළිදැක්‌වීය. ඒවායින් තෝරාගත් කෙටිකතා කිහිපයක්‌ ජී.ජී. සරත් ආනන්ද 'ළෙංගතුකම' නමින් සිංහලයට පරිවර්තනය කර ඇත. ඉන් එක්‌ කෙටිකතාවකි පහතින් දැක්‌වෙන්නේ.
 
අවමඟුල් පෙරහැර
 
අවමඟුල් පෙරහැර නමින් හඳුන්වන කෙටිකතාවේ මුල් චරිතය වන්නේ 'සුප්පෙයියා' ය. ඔහු තම ප්‍රධානියාගේ පිටි මෝල විවෘත කිරීමේ පටන් වසර ගණනාවක්‌ එකදිගට නොකඩවා සේවය කළ මුල්ම සේවකයා ය. තමා සමග මුල සිට වැඩ කළ අනෙක්‌ පිරිස්‌ තමන්ට ලැබෙන වැටුප මදි බව පවසා ඉන් ඉවත්ව වෙනත් රස්‌සාවලට ගිය අතර සුප්පෙයියාගේ හිතේ එවැනි හැඟීමක්‌ ඇති නොවුණේ තම ප්‍රධානියාට තමන් අවශ්‍යයම යෑයි හැඟුණු හෙයිනි. කල්යාමේ දී ඔහුට ක්‌ෂය රෝගය වැළඳුණු අතර ඔහුගේ රෝගය ගැන ප්‍රධානියා සොයා බැලුවේ නැත. කෙටිකතාව ආරම්භ කරන්නේ පහත පරිද්දෙනි.
 
''මෝලේ සංගුව හැඬවිණි. බැටළු රංචුවක්‌ සේ කම්කරුවෝ මෝලෙන් පිටතට ඇදෙන්නට පටන් ගත්හ. සුප්පෙයියා ද ඔවුන් අතර සිටියේ ය.''
 
''සුප්පෙයියා ගොන් නාම්බෙකු සේ වැඩ කළේය. ඔහුගේ වැටුපේ කිසිදු වෙනසක්‌ නොවිණි. කළ වැඩවල ද අඩුවක්‌ නොවිණි.''
 
''සුප්පෙයියා සමග වැඩකළ ඇතැම්හු එම මෝල අතහැර ගියහ. ඒ නිසා ඔවුන්ට අතමිට සරු විය. ඒ පැරණි කම්කරු මිතුරන් දකින සැමවිට සුප්පෙයියාගේ මුවින් දිග සුසුමක්‌ ගිලිහුණි. දිගුකලක්‌ තිස්‌සේ දුක වේදනාව උසුලා දරාගෙන සිටින ඔහුගේ එම සුසුම හමනා සුළඟට මුසු විය.''
 
ඉහතින් පෙන්වා දී ඇත්තේ පාලකයින් කම්කරුවන්ගෙන් මුළු දවස පුරා වැඩ ගත්තත් නිසි වැටුපක්‌ ගෙවීමට තරම් කාරුණික නොවන බවයි. මෙහි එන පාලකයා සිතක්‌ පපුවක්‌ නැති තිරිසන් ගති ඇත්තෙකුටත් වඩා හීන වූ පුද්ගලයෙක්‌ බව පෙන්වා දී ඇත. කෙසේ හෝ අවසානයේ දී සිදු වන්නේ සුප්පෛයා ක්‌ෂය රෝගය උත්සන්න වී මියයාම පමණකි. ඒ මළ පෙරහැරට පවා ඔහුගේ සගයන්ට යැමට වරම් අහිමි කරමින් අණක්‌ මෝලේ පාලකයා විසින් පනවා තිබිණි.
 
''මෝඩ රැල. සුප්පෛයා මැරුණට මොකද? එයා ගවනර් ජෙනරාල් ද? ලීව් නෑ. යනවල. ගිහින් මෝලේ වැඩ තම තමන්ගේ වැඩ ටික කරනවල.''
 
කෙසේ නමුදු ඔවුන් අවසානයේ දී ප්‍රධානියාගේ වදන්වලට කීකරු නොවී සුප්පෛයාගේ මළපෙරහරට සම්බන්ධ වෙයි. මේ ආදි වශයෙන් කම්කරුවන්ගේ නැගිටීම ඉතා හොඳින් ප්‍රකට කෙරෙන අවස්‌ථා ඕනෑ තරම් සාහිත්‍ය ප්‍රබන්ධ මගින් හමුවේ.
 
සමාලෝචනය
 
1940 වර්ෂයේ ආරම්භ වූ දෙමළ ප්‍රගතිශීලී සාහිත්‍ය ව්‍යාපාරය හුදෙක්‌ සාහිත්‍යයට පමණක්‌ සීමා වූවක්‌ නොවිණි. මෙතෙක්‌ කල් කම්කරු පැළැන්තියේ, වැඩකරන ජනතාවගේ හදවතේ සිරවී තිබූ අසාධාරණයට එරෙහි හඬයි ඔවුන්ගේ නිර්මාණ ඔස්‌සේ සමාජගත වූයේ. කම්කරුවන් එකාවන්ව නැගී සිටීම මත කම්කරු අයිතීන් දිනා ගත හැකි බව මෙහි එන කතා ඔස්‌සේ ප්‍රකට කෙරෙන්නෙකි. ඔවුන් සාමුහිකව නැගී සිට ඉල්ලීම් දිනා ගත් අන්දම ඉතා හොඳින් විවරණය වී ඇත. කෙසේ නමුදු ඔවුන්ට හිමි වූ අඩු සැලකිල්ල හා ශ්‍රමයට සරිලන වැටුපක්‌ හා වෙනත් පහසුකම් නොලැබීම අදි බොහෝ කරුණු පාදක කරගෙන ඒවා දිනා ගැනීමේ අභිලාෂයෙන් මෙකී සාහිත්‍ය ශානරය ජනගත වී ඇති බව අවසාන වශයෙන් කිව හැකිය.
 

-පදියතලාවේ ඤාණවිමල හිමි
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.