30 April 2020 Written by 

අපෙන් සමුගත් "සරදියෙල්ගෙ පුතා"

මට හරියටම දිනය මතක නැතත් ඒ හැත්තෑවේ දශකයේ මැඳභාගයෙ දිනෙක සැන්ඳෑයාමය විය. බොහෝදුරට 1976 වසර වන්නට ඇත.එදා අපගේ ඥාති සොයුරකු වූ ' උක්කුං අයියා' චිත්‍රපටයක් බලන්න යමුදැයි මගෙන් විමසුවේ මා නොසිතූ නිමේෂයකය. එකල මා වයස අවුරුදු 8ක පමණ කුඩා කොළු ගැටයකු වූවද චිත්‍රපට බැලීමේ පිස්සුව නම් මදි නොකියන්නට මගේ ඉහමොළ තුළටම කාවැදී තිබිණි. එහෙයින් යෝජනාවට එකපයින් කැමති වූ මම අම්මාට පිංසේන්ඩු වී ඇගේ කැමැත්ත ගන්නට සමත් වීමි. ඊළඟ ප්‍රශ්ණය වූයේ ප්‍රවේශපත්‍ර ගැනීමට මුදල් සොයා ගැනීමය.එකල රැකියාවක් නොකල උක්කුං අයියා ළඟ මුදල් තිබුණේ නැත. මේ ගැන දසඅතේ කල්පනාකරමින් ලතවෙවී සිටිනාවිට මගේ වාසනාවට අපේ තාත්තා ටිකක් වේලපහින් නිවසට ගොඩ වූයේය. ඔහු හීනියට මධුවිතකින් සප්පායම් වී ඇති හැඩක් මට දුරටම පෙනුනි. මුදල් ඉල්ලීමට මීට වඩා තවත් හොඳ අවස්ථාවක් නොමැතිබව මට සිහිවූයේ එවිටය. චිත්‍රපටි නැරඹීමට කිසි විටෙක තහංචි නොදැම්ම අපේ තාත්තාගෙන් මුදළක් කොටා ගැනීම ඔහු මධුවිත ටිකක් තොළගා සිටින මොහොතක තවත් පහසුබව මා අත්දැකීමෙන්ම දැන සිටීම එයට හේතුව විය.

 

 

චිත්‍රපටය කුමක්දැයි අසා ඔහු අප දෙදෙනාට ප්‍රවේශපත්‍රවලට පමණක් නොව අයිස් චොක්‍ස් දෙකක රස බැලීමට පවා ඇතිවෙන තරමේ මුදලක් මා අත තැබුවේ, ඉතා ලෙංගතුව මගේ පිටටත් තට්ටුවක් දමමිනි.

 

වහා ඇඳ පැළඳගත් අප දෙදෙන උක්කුං අයියාගේ බයිසිකලයෙන් අනුරාධපුරයේ නිව් විජේන්ද්‍රා ශාලාව බලා ඉගිළුනෙමු. එවිට වෙලාව සවස 6ට ආසන්නව තිබිණි. සැදෑ අන්ධකාරය මදින්මද අනුරාධපුර නඟරය ගිල ගනිද්දී අප පොලීසිය පසුකර පිම්මේ මාර්කට් ටවුමට බයිසිකල පැද්දෙමු. පොලීසිය අවට පොල් ගස්වල අතු වැහෙන්නම පිරී උන් ගිරවුන් නැඟූ සවන් විනිවිදයන හඬ මට ඇසුනේ කණ්කලු ගීතයක් මෙනි.

 

නිව් විජේන්ද්‍රා සිනමාහලේ තිබූ දිඟු පෝලිම අපට දුරටම පෙනුනි. වහා බයිසිකලය සයිකල් ගාලේ නවත්වා පෝලිමට එක්වූයේ ටිකට් ඉවරවේවිදෝ යන බියෙනි. එහෙත් වාසනාව අප අත විය. නොවිසිලිමත් විනාඩි කිහිපයකින් පසු අප සිටියේ සිනමා ශාලාව තුළය.

 

හින්දී ගීත අවසන් වී ආලෝකය නිවී ගොස් සිනමාපටය තිරයේ දිඟහැරෙන්නට විය. යමෙකු එල්ලා මරන්නට සූදානම්වන අන්දම සහ එම වරදකරුවාගේ බිරිඳ සහ කුඩා පුතණුවන් වැළපෙන අන්දම තිරයේ දිස් වුණි. ඉන්පසු තිරය මත පතිත වූයේ සිනමාපටයේ නමයි. එය " සරදියෙල්ගෙ පුතා" විය.

මා මේ වැල්වටාරම් ලියමින් ඔබ වෙහෙසට පත්කළානම් මට සමාවෙන්න. මේ සටහන ලිවීමට පාදක වූයේ අද උදෑසන මගේ ඇස ගැටුණු හද කකියවන පුවතයි. එනම් සිංහල රිදී තිරය බැබලවූ දක්ෂ සටන් නලුවකුගේ නික්මයාමයි. ඔහුට තිබුණේ එසේ මෙසේ නමක් නොවීය. මහා අධිරාජ්‍යයකුගේ නමකි. ඔහුගේ උප්පරන්නයේ තිබූ නම වූයේ ජෝෂෆ් මැනුවෙල් ඇලෙක්සැන්ඩර් ප්‍රණාන්දු යන්නයි. ඒත් ඔබ අපි කවුරුත් එතුමන්ම හඳුනාගෙන සිටියේ ඇලෙක්සැන්ඩර් ප්‍රණාන්දු නමිනි. සිංහල සිනමාවේ අතිදක්ෂ සටන් නලුවකු හා දුෂ්ඨයාගේ චරිතය පණපෙවූ ඔහු සිංහල සිනමාපට 120 කට වඩා අධික සංඛාවකට තම රංඟනදායකත්ව සපයා තිබිණි. ඔහු රඟපෑ දමිළ සිනමාපට හයක් වූ අතර එක් ඉංග්‍රීසි චිත්‍රපටයකද රඟපෑවේය.

 

මා ඔහු මුළින්ම දුටුවේ එදා උක්කුං අයියා සමඟ නිව් විජේන්ද්‍රා සිනමා ශාලාවේ නැරඹූ "සරදියල්ගේ පුතා" සිනමාපටයෙනි. එහි වීරයා වූ ඔහු වළක් තුළ වළහකු සමඟ සටන් කොට ජයගන්නා ජවනිකාව ශාලාව දෙවනත් කරමින් කොල්ලන් ගැසූ විසිල් හඬ මධ්‍යයේ නැරඹූ අන්දම මට අද මෙන් මතකය. එහි වූ " අයියාට අපී ආදරේ" ගීතය ළමුන් කණ්ඩායමක් ඔහු සමඟ ගයන අන්දම මේ දැන්ද ඇසෙන්නාක් සේය. එකල නාඹර කොල්ලකු වූ ඇලෙක්සැන්ඩර් ප්‍රණාන්දු නම් නලුවාට මං පෙම් බඳින්නට පටන්ගත්තේ එදාය.

 

මා එතුමන් පළමුවරට දුටුවේ එදින උවද එතුමන්ගේ සිනමා දිවිය ඇරඹී තිබුණේ 1963 වසරේදීය. ඒ " වෙන ස්වර්ගයක් කුමටද" සිනමාපටයේ රඟපාමිනි. ඉන්පසු බොහෝ චිත්‍රපටවල රඟපෑ එතුමන් සූරයන්ගෙත් සූරයා, දැන් මතකද, ආත්ම පූජා, ඔහොම හොඳද, හාර ලක්ෂය, හතරදෙනාම සූරයෝ, ආදරේ හිතෙනව දැක්කම,එදත් සූරයා අදත් සූරයා,සිංගපූර් චාලි, මාතර ආච්චි, තුෂාරා, හොඳම වෙලාව, අහස් ගව්ව, සහයට ඩැනී, හිත හොඳ මිනිහෙක්,රජගෙදර පරවියෝ, සිකුරුලියා, කවුද රජා, හරිම බඩු තුනක්, ශ්‍රීමධාරා,හරියනකොට ඔහොම තමයි, හිතුවොත් හිතුවාමයි, යකඩයා,සෙලිනගෙ වලව්ව,සවුදං ජෙමා, රක්තා, මැණික් මාළිඟා, බට්ටී, චන්නයි කෙල්ලො දෙන්නයි, මල්දෙණියෙ සිමියොං, බදුළු කෝච්චිය ආදී ඉතාමත් ජනප්‍රිය වූ සිනමාපට ඇතුළු තවත් සිනමාපට රාශියක 1963 සිට 2011 දක්වාම රඟ පෑවේය.

 

රිදී තිරයේ පතාක යෝධයින් වූ ගාමිණී ෆොන්සේකා, විජය, ජෝ මහත්තයා, රවීන්ද්‍ර, කලංසූරිය , රොබින්, රෙක්ස් කොඩිප්පිලි ආදී මෙකී නොකී නලුවන් සමඟ සහ මාලනී, ස්වරණා ආදී සෑම නිළියකම සමඟම ද මෙතුමන්ට රඟපෑමට අවස්ථාව උදා විය.

 

Image may contain: 2 people

 

තිරයේ බොහෝවිට දුෂ්ඨයාගේ ජවනිකාව නිරූපනය කළ ඇලෙක්සැන්ඩර් ප්‍රේක්ෂකයින් අප්‍රියකරන , ඔවුන්ගේ වෛරයට බඳුන්වන චරිතයක් විය.ඔහුට බොහෝවිට සිදුවූයේ වීරයා පොරක් කොට ගුටිකා බලුවීමටය. එහෙත් ඔහු ප්‍රගුණ කර තිබූ සටන්ක්‍රම සහ ඔහුගේ හැකියාව අණුව සිනමාපටයේ නොව සැබෑවට ගුස්තියක් ඇලුවානම් රිදී තිරයේ වීරයන්ට දුවනතුරු පහර දීමට ඔහුට අපහසුවක් නොවනු ඇත. එහෙත් අධ්‍යක්ෂකවරුන්ගේ උවමනාවට ඔහු හැමදාම ගුටි කෑවේය. එහෙත් ඒ බහුතරයක් ගුටි කෑ චරිත අතුරින් මගේ හදවතේ ලැඟුම් ගත් සරදියෙල්ගේ පුතාහී වීරයා වශයෙන් ඔහුව මම සැමදාම සිතේ තියා ගනිමි.

එදා එකම චරිතයකට කොටු වී දුෂ්ඨයකුම ලෙස තම රංඟ දිවිය ගෙවූවද ඔහුගේ තිබූ අනෙක් රංඟන හැකියාවන් පිටතට ගැනීමට කවරෙකුත් උත්සහ කළේද යන්න සැක සහිතය. එම හැකියාවන් ඔහුත් සමඟම අද සැඟැවීයන්නට ඇත.

 

අද ඔහු මෙලොව නැත. ඒත් එදා නිව් විජේන්ද්‍රා සිනමා හළේ, මකුණන් ගහන පුටුවකට බරවී උන්ගේ කුරිරු හිංසනයෙන් බේරීමට කලිසම් කොටය ඉදිරියට අදිමින් එතුමන් වීරයෙකු ලෙස වළහා සමඟ සටන්කොට ජයගත් මොහොත නැරඹු අන්දම මම හදවතේ අදද එලෙසින්ම රඳවා ගනිමි.එදා ඇසූ " අයියාට අපී ආදරේ ගීතය" දස දහස්වාරයක් හදවතින් මුමුණමින් ඔබ දුෂ්ඨයකු ලෙස නොව සරදියල්ගේ පුතා නම්වු මගේ හදවතේ වීරයා ලෙසින් සිහිකොට ඔබට නික්ම යාමට සමුදෙමි. නැවත දිනෙක මේ සසරේ අපි හමුවෙනතෙක් ඔබට සුබ රාත්‍රියක්!

 

චන්දන ගුණසේකර

Last modified on Thursday, 30 April 2020 15:28

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.