23 January 2018 Written by 

කෝපි තොල ගාමින් සුබ සිහින දකින්නන් මගේ කවි ඇතුළෙ නෑ -  ඉරේෂා මධුවන්ති

 ඔබ ලාබාල කිවිඳියක් ...කොහොමද ඒක දැනෙන්නේ ?

වැටකේදෙණිය කණිෂ්ඨ විද්‍යාලයෙන් හා මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරලා මම දැනට ශ්‍රි ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ අධ්‍යාපනය ලබනවා. ඒ ඉතිහාසය විශේෂවේදී උපාධි පාඨමාලාවයි. ලාබාල කිවිඳියක් විදියට බොහො දෙනා මාව හදුන්වනවා. ඇත්තටම මම කාව්‍යකරණයට පිවිසිලා, එහෙමත් නැත්තං මගේ අත්දැකීම් සිතුවිලි අකුරු බවට පත් කරන්න ආරම්භ කරලා දැනට වසර දෙකක පමණ කෙටි කාලයක් තමයි ගතවෙලා තියෙන්නෙ.මට තව බොහෝ කාලයක් ඉතුරු වෙලා තියෙනවා..

 

 නූතන සමාජයේ යුවතියකට ඇති තෝරාගැනීම් අතුරින් ඔබ කවිය තෝරාගන්නවා ....ඒකට විශේෂ හේතුවක් තියෙනවද ?

 ඕනෑම පුදගලයෙක් තමා ජීවත්වන සමාජ දේශපාලන වටපිටාව ඔහුගේ හෝ ඇයගේ ජීවන තෝරාගැනීම් සඳහා නිරායාසයෙන්ම ප්‍රබල බලපෑමක් සිදු කරනවා. ග්‍රාමීය පරිසරයක් තුල ආච්චිගෙ හඬින් ගණදෙවි හෑල්ල අහපු දවසේ පටන්ම මම කවියට පෙම් බඳින්න පටන් ගන්නවා. නිවසේ වටපිටාවත් එක්ක චිත්‍ර කලාව, කැටයම් කලාව ⁣මගේ ජීවිතය ආක්‍රමණය කරද්දි ඒ හරහා මා ලබන මානසික සන්සුන්තාවය කවියට මා සංවේදි පුද්ගලයෙක් කලා කිව්වොත් නිවැරදියි. පත්තරවල කවි පිටු එකතු කරමින්, කවි පොත් හොය හොයා කියවමින් සිටි මම සමාජජාල ආශ්‍රය කරන්න පටන් ගන්නවත් එක්කම කවීන් බොහෝ පිරිසක් මට අඳුනගන්න ලැබෙනවා.ඒ හරහා විශේෂයෙන්ම යම් අදහසක් ප්‍රකාශ කිරීමට ඇති සංවේදීම වූත් සුන්දරම වූත් මාධ්‍යයක් විදියට මම කවි මග තොරා ගන්නට පෙළඹුනා.

 

සමාජජාලය ආශ්‍රය කරද්දි එහි යම් නිශ්චිත කාලයක් මුල් බැසගත් කවිය සහ කවියන්ගේ භාවිතාව පිළිබඳව ආධුනික කිවිඳියක් හැටියට දකින විශේෂතා තියෙනවද?

 මා කාව්‍යකරණයට පිවිසෙන්නේ සමාජජාල වෙබ් අඩවි හරහා. ඒ නිසාම මම සමාජජාල ආශ්‍රය කරන කවිකිවිඳියන් බොහෝ දෙනෙකුගේ කවි කියවන්නට පෙළඹෙනවා. මම දකිනවා බොහෝ පිරිසක් කවියට අත්පොත් තබන්නට පෙළඹෙන්නෙ ප්‍රේමය වගේ අනුභූතීන් ආශ්‍රය කරගනිමින්. නමුත් වර්තමානය වන විට මෙම සමාජජාල කවියන් වෙනස් වෙනස් අත්හදාබැලීම් කරන්නට යොමුවෙන ආකාරයක් දකින්නට පුලුවන්. ප්‍රේමයෙන් ඔබ්බට ගිය සමාජ දේශපාලන ගැටළු තුලින් ඔවුන් කාව්‍යකරණයට පිවිසෙනවා වගේම ඔවුන් ඒ හරහා තමන්ගේම අනන්‍යතාවක් ගොඩනගා ගන්න ආකාරයක් දකින්න පුලුවන්. විශේෂයෙන්ම මම දකින දෙයක් තමයි අද වන විට මෙම සමාජජාල කවිය සමාජයේ වෙනස් වෙනස් මානයන්ට දිව යමින් ප්‍රබල කම්පනයක් එය විඳින්නාට ඇති කරන්නට උත්සහ කරන බව. සමාජය විසින් එදිනෙදාට ඉල්ලා සිටින කවිය, සමාජ ක්‍රමය තුල පවතින ගැටළු හරහා ඉල්ලා සිටින කවිය පහසුවෙන්ම සමාජගත කරන්නට මෙම කවීන් උත්සාහ ගන්න ආකාරය මම දකිනවා.

 

පවතින ගැටළු හරහා ඉල්ලා සිටින කවිය'" ....මොනාද ඔබ හඳුනාගත් ඒ ගැටළු ....තරුණියක් සහ විශ්වවිද්‍යාලයීය සිසුවියක් විදියට ?

 සෑම කලා නිර්මාණයක්ම පාහේ නිර්මාණ වන්නෙ සමකාලීන සමාජ, දේශපාලන හා ආර්ථික සන්දර්භය තුළ. උදාහරණයක් විදියට වැඩවසම් ක්‍රමය තුළ බිහිවන පිකාසෝගේ ගුවර්ණිකා සිතුවම මගින් නිරූපණය වන්නේ සමකාලීන පීඩාකාරී සමාජ ක්‍රමයයිං ශ්‍රි ලංකාවේ පශ්චාත් යුධ කාල සීමාවේ නිර්මාණයන් හරහා යුධ විරෝධි අදහස් දක්නට ලැබෙනවා. මම දකින නූතන කවියන් මෙකී කාර්ය නිරන්තරවම ඉටු කරමින් සිටිනවා. අද ක්‍රියාත්මක වන දේශපාලන ක්‍රමවේදයේ යම් යම් වෙනස්කම් අපේක්ෂා කරන කවීන් එය සෘජුව හා වක්‍රාකාරව ඉදිරිපත් කරමින් සිටිනවා. පාලන පන්තිය තුළින් එල්ල වන සමාජ පීඩන, දේශපාලන හා ආර්ථික සූරා කෑම්, සාමාන්‍ය ජනතාව මත පැටවී ඇති දරිද්‍රතාවය හා ධනවාදී ආර්ථික ක්‍රමයේ ලක්ෂණ විවේචනය කරමින් විප්ලවවාදී කවීන් විසින් නූතන තරුණ පරම්පරාව වෙත එකී විප්ලවය හඳුන්වා දෙන්නට කටයුතු කරමින් ඉන්නවා. බොහෝ ⁣විප්ලවවාදි කාව්‍ය නිර්මාණ මෙම සමාජජාලා හරහා සමාජයට සියුම් සංවේදනයන් ඇති කිරීමට සමත් වෙලා තියෙනවා. ඒ වගේම එදිනෙදා මුහුණ දෙන ජීවන ගැටළු, ස්වභාවික වශයෙන් එල්ල වන ගැටළු අවස්ථාවලදී (සාමසර, මීතොටමුල්ල නාය යෑම්) බිහි වූ කාව්‍ය නිර්මාණ හරහා සමාජයට කම්පනයන් ඇති කිරීමට සමත් වෙනවා. පාලක පන්තියේ බල ලෝභී අවශ්‍යතාවන් මත ඔවුන් විසින් නිර්මාණ කරන ජනවාර්ගික හා ආගමික ගැටළු ප්‍රතික්ෂේප කරමින් සියලු ජාති ආගම් සඳහා පොදු වූ සමාජ ක්‍රමයක් බිහි කිරීමේ අවශ්‍යතාව නූතන කවියා විසින් පෙන්වා දෙමින් සිටිනවා. මම දකින විදියට අද මෙම කවීන් අප එදිනෙදා ජීවිතයේදී ස්පර්ශ කරන ගැටළු සමාජගත කිරීමේ ප්‍රබල මාධ්‍යයක් ලෙස මෙම සමාජජාල කවිය භාවිත කරමින් සිටිනවා.

 

 ඔබද ඇතුළුව ?

ඔව් අනිවාර්යෙන්ම. මම මගේ කවිය තුලින් උත්සහ කරන්නේ මෙම සමාජ ක්‍රමය හමුවේ පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න. ඊට මාගෙ ග්‍රාමීය වතු ආර්ථික රටාවත් විශ්වවිද්‍යාල ජීවිතයත් තුලින් උරුම වූ අත්දැකීම් මම පාදක කරගනිමින් ඉන්නවා. මගේ කවිවල ජීවත් වන්නේ දහදිය වගුරුවමින් මහපොළොව හා ගැටෙමින් ශ්‍රමය දිය කරන මිනිසුන් මිස කෝපි තොල ගාමින් සුබ සිහින දකින මිනිසුන් නෙවෙයි. මම ළමා කාලයේ පටන්ම දුටු මහපොළොව මත තම ජීවිත ගැට ගසා ගන්නට උත්සහ කරන මිනිසුන් මගේ කවි නිමිති බවට පත්කර ගන්නවා. ඉතිං ඒ හරහා ඒ මිනිසුන්ගේ හඬ කවියක් බවට පත් කරන්නට මම උත්සහ කරනවා

 

 එතකොට යොවුන් ප්‍රේමය වගේ අනුභූතියක් සමාජ ගැටළු නිසාම අවලංගු වෙනවද ?... අත් හැර දැමිය යුතු වෙනවද ?

ප්‍රේමය අනිවාර්ය වූ අනුභූතියක්. එය සෑම පුද්ගලයෙකුටම පාහේ පොදු වූ සියුම් සංවේදනාවන් දනවන හැඟීමක්. මානව සම්බන්ධතාවන්ගෙ උච්චතම ආධ්‍යාත්මික දැනවීමක් ලෙස ප්‍රේමය ප්‍රබල කවි නිමිත්තක් බවට පත් වෙනවා. නමුත් මගේ මතය වන්නේ හුදෙක් බොලඳ ප්‍රේමණිය හැඟීම් අතික්‍රමණය කරමින් එකී ප්‍රේමය තුලින් සමාජය ආමන්ත්‍රණය කළ යුතු බවයි. එය අවලංගු කිරීම නොව එය සමාජය කෙරෙහි වූ ප්‍රේමයක් බවට හරවා ගත හැකීයි. අප එකිනෙකා පෞද්ගලිකව ප්‍රේමය තුලින් අත්විඳින දෑ කවිය බවට පත්කර නිහඬ නොවී එකී අත්දැකීම හරහා නව දැක්මක් කරා පාඨකයා ගෙන යෑමට උත්සහ කිරීමයි වටින්නෙ. සිදුහතුන් හෝ යශෝධරාවන්ගේ පාරිශුද්ධ ප්‍රේමය තුළ ලඝු නොවී එයින් ඔබ්බට ගොස් පත්තිනියගෙන් දුරස් වූ කෝවලන් හා මාධවී අතර වූ ප්‍රේමය පිළිබඳව අපට විමසා බැලිය හැකී. පුද්ගල මනසක් තුල ප්‍රේමයට හිමිවන ස්ථානය, ප්‍රේමය ලිංගිකත්වය හා සදාචාරාත්මක සංකල්පයන් අතර වන ගැටීම වැනි පුළුල් ස්ථානයකට මෙම ප්‍රේමය කියන නිමිත්ත ගෙන යන්නට අපේ කවීන්ට හැකියාව තියෙනවා.

 

පවතින සංකීර්ණතාවයන් සහ හුදෙකලාවීම් තුළ කවිය තව දුරටත් පුද්ගල බලපෑමක් කල හැකි ප්‍රබල මාධ්‍යයක් ලෙස ඔබ විශ්වාස කරනවද ?

 මුදල් මත පදනම් වූ නූතනයේ සත්‍ය වශයෙන්ම මිනිසා හුදෙකලා වීමකට ලක් වෙලා තියෙනවා .තමන්ගේ ආර්ථික සංවර්ධනය උදෙසා තරඟකාරී ජීවන රටාවකට එළඹීමත් සමග කලාව හා සෞන්දර්ය තුළින් ඈත් වෙමින් තම තමන්ගේ පුද්ගල අවශ්‍යතා මත සිතුවිලි හසුරුවමින් සිටිනවා. නූතන විශ්වවිද්‍යාල ශිෂ්‍යයා මීට හොඳම උදාහරණයක්. තමන්ගේ පාඨමාලාවට අදාල දැනුම පමණක් එකතු කරමින් තරඟකාරී අධ්‍යාපන රටාවකට අනුගත වී සිටින ඔවුන් යාන්ත්‍රිකව සිතන පතන පුද්ගලයන් වශයෙන් හඳුන්වන්නට පුළුවන්.මෙවන් පිරිසක් තුලට කවිය කුමන ස්වරූපයකින් ගෙන යා යුතු දැයි ගැටළුවක් පවතිනවා. කවි පොතක් පෙරලා බලන්නට පවා පෙළඹෙන්නෙ සුළු පිරිසක්.මෙහිදී කවිය හරහා යම් පුද්ගල බලපෑමක් කරන්නට නම් ඒ සඳහා අවශ්‍ය වටපිටාව හොඳින් අධ්‍යයනය කළ යුතුයි. පුවත්පත හා සමාජජාල වෙබ් අඩවි එහිදී ප්‍රගතියක් පෙන්නුම් කරනවා. ඒ වගේම කවිය තුලින් කිසියම් ආකාරයක පුද්ගල ආමන්ත්‍රණයක් සිදු කරන්නට නම් එය අප ඉලක්ක කරනා සමාජ කොට්ඨාසයට පොදු විය යුතුයි. හුදෙක් ඉපැරණි සංස්කෘත වාග් කෝෂයෙන් පරිපූර්ණව කාව්‍ය ගුණයන්ගෙන් අනූනව ලියැවෙන කවි සාමාන්‍ය ගොවි කම්කරු ප්‍රජාව වෙත යොමු කරන්නට හැකියාවක් නැහැ. ඒ වගේම අතිශයින්ම සරල වූ නිර්මාණයන් කාව්‍යයන් වශයෙන් උසස් වන්නේ දැයි කියාත් ගැටළුවක් පැන නගිනවා. මේ නිසාම කවිය තුලින් යම් සමාජ පුද්ගල බලපෑමක් සිදු කිරීමට නම් එය සියල්ලන්ටම පොදුවේ අවබෝධ කරගත හැකි කාව්‍ය ලක්ෂණ ඇතුලත් කරමින්, කවියාගෙ අනන්‍යතාව රැක ගනිමින් සිදු කළ යුතු යැයි මම සිතනවා. අප යම් සමාජ විප්ලවයක් සිදු කරන්නට නම් අපගේ කවිය අනිවාර්යෙන්ම බහුතර ප්‍රජාව විසින් වැළඳගත යුතුයි.එවන් කවියක් හරහා අපට ප්‍රබල පුද්ගල බලපෑමක් කළ හැකි යැයි මා විස්වාස කරනවා.

 

කවිය සමාජ විප්ලවයක ඉල්ලාසිටීමක් පමණක් නම් ඒක එක්තරා අන්තවාදී හැඟීමක් කියලා මට හිතෙනවා..... මිනිස් සන්තානයට ස්පර්ශ කල නොහැකි සියුම් භාවයන් අනන්තයක් තිබෙද්දිත් ....?

 

කවිය සමාජ විප්ලවයක ඉල්ලා සිටීමක් පමණක්ම යැයි කීවොත් එය අන්තවාදී වෙනවා. මා පෙරත් කියුවෙ ඇතැම් කවි කියවා අවබෝධ කරගත හැක්කේ එය අවබෝධ කරගන්නට හැකි සමාජ ස්ථරයටයි. විප්ලවය අවැසි මිනිසුන් ඉල්ලා සිටින්නෙ විප්ලවීය කවියයි. නමුත් කවිය තුළින් යම් මානසික තෘප්තියක්, සියුම් සංජානනයක් ලබා ගන්නට උත්සහ කරන පිරිසක් ඉන්නවා. ඔවුන් සඳහා අවශ්‍ය වන්නේ එකී සියුම් කවියයි. කවිය පුළුල් ජීවන දැක්මක් ඇති කරන, අතිශය සංවේදී කලා මාධ්‍යයක් වන්නේ ඒ නිසයි.

 

විශ්ව විද්‍යාල භූමියේදී උපදින කවිකම් හෝ තවත් එවැනි ජවසම්පන්න ක්‍රියාකාරකම් නැවත සාමාන්‍ය සමාජය හා මුසුවෙද්දී ඇල්මැරෙන සුළුයි....ඔබේ කවිකම් ගැන පාඨකයාට නිශ්චිත තහවුරුවක් දිය හැකිද ?

මා කාව්‍යකරණයට පිවිසෙන්නේ විශ්වවිද්‍යාල භූමිය තුල වුවත් මගේ කවි වලට පාදක වන්නෙ මා ළමා කාලයේ පටන්ම අත්දැකි සමාජය. මිනිසුන්, ගැහැණුන් හා පරිසරය.මා විශ්වවිද්‍යාලයෙන් පිට වුවත් මා එළඹෙන්නේ ඒ සමාජයට. ඒ සමාජය සමග මම තව තවත් ගැටීම තමයි එහිදී සිදුවන්නෙ. ඒවායින් මගේ කවිය පෝෂණය වනවා මිස දුර්වල නොවෙන වගට මට සහතික වෙන්න පුලුවන් .

 

ඉස්සරහට කවිය ඔස්සේ කළ හැකි හෝ කල යුතු යැයි අදහස් කරගෙන සිටින්නාවූ යමක් තියෙනවද?

මම කවියට පිවිසිලා තවමත් වසර දෙකක පමණ කෙටි කාලයක් ගතවෙලා තියෙන්නෙ. ඉතිං මා විසින් නිවැරදි කරගතයුතු තැන් සහ මා විසින් හැදෑරිය යුතු තැන් බොහෝමයි. කවිය යන විශ්වයේ මා කුඩා කදෝපැණියෙක් පමණයි. කාලයත් එක්ක කවිය පිළිබඳව නිසි කියවීමක් කරමින් මගේ නිර්මාණ බිහි කිරීමයි මගේ බලාපොරොත්තුව.

 

සාකච්ඡා කළේ දිනූ රාජගුරු 

මව්බිම  ඉරිදා පුවත් පතෙන් උපුටා ගැනිනි

 

Last modified on Wednesday, 24 January 2018 01:10

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.