Thursday, 30 November 2017 18:13

-තිස් හතරවැනි මුරය-

Written by 
Rate this item
(0 votes)

 

 සඳ එළිය වැටුණු ගස් අතරින් මානිස්ගේ ඇස ගැටුනේ නිල් පැහැයෙන් දිදුලන එළි යුග්මයකි. ගස් අතරින් එබී ඇති එවා වරින් වර නිවි නවී දැල්වෙයි. මානිස් හිටිවනම තවත් හොදින් බැලුවේ ය. පුදුමයකි....!..  ඒ සුදු පැහැ ගත් මුවෙකි. සඳ කිරණ වැටී මුවාගේ සුදු සිරැර කිරෙන් නැහැවී ඇතුවාක් මෙනි. ඌ නොසෙල්වී මානිස් දෙසම බලා සිටියි... දෙපය පවා ගල් ගැසී ගිය මානිස් ඇහිපිල්ලමකුදු නොගසා හිටිවනම සිටියේය. උගේ දෑස නිල්වන්ය. මුළු සිරුරම සුදු පැහැ රෝමයන්ගෙන් වැසී ඇත. දෙතුන් පොළකින් බෙදී ගිය අං යුවල මහත් අභිමානයෙන් සිරස මත රැඳී ඇත. වරින් වර ගස්වල සෙවනැළි උගේ සිරුර මත වැටීමෙන් අපූරු රටාවන් ඇඳී යයි....

 

 

කොතෙක් වේලා එසේ සිටියාදැයි මානිස්ට මතක නැත. ඇතැම්විට ඒ පැයක් හමාරක් වන්නට ඇත. ඒ අමුතු මුවාත් පුදුමයෙන් බරිත මිනිසාත් එකිනෙකා තම කමටහන කොටගනිමින් භාවනාවක යෙදුනාක් වැන්න.. සිහිනයක් දැක්කා පරිද්දෙන් මානිස් පියවි සිහියට ඒළඹෙද්දී ඌ එහි නොසිටියේය.. ඌ යනු හො සෙලවෙනු මානිස්ට නිච්චියක් නොවූ අතර  අන්දමන්ද වී සිටි ඔහු එතැනම බිම හිදගත්තේය...තුවක්කුව උකුලේ තබාගෙන ඒ ඇදහිය නොහැකි දසුන සත්‍ය වශයෙන්ම දැක්කාද නැතිනම් මායාවක්දැයි කල්පනා කරන්නට විය.... මේ කුඩා කැලෑ ඉමේ කරක් ගසා හොදින්ම පුරුදු ඇත්තෙකු වූවත් කිසිදාක මෙවන් අත්දැකීමක් ඔහුට ලැබී නැත. සුදු මුවෙක්...? එවැන්නක් සිදුවිය හැකිද..?

 

 අඳුරේම විට මල්ල දිගෑරගත් මානිස් කරුංකා කැබැල්ලක් දතට තියා හයියෙන් හැපුවේ හිතේ කැළඹිල්ල අමතක කරන්නටයි. දිරූ දතක් රිදුම් දෙන්නට වූ අතර ලාවට වාගේ ලේ රහක් ද දිවේ ගෑවී නොගෑවී ගියේය.... වනන්තරවල වෙසෙන අමුතු සතුන් පිළිබද කතා මානිස්ද අසා නැතුවා නොවේ. නමුත් මේ කඳුකර ලඳු කැලෑව එවන් අභිරහස් සැඟවී ගත් වනන්තරයක් සේ සැලකීමද අපහසුය. මෙහි සිටින විශාලම සතා කොටියා වන අතර මුවෝ පවා රංචු වශයෙන් දුටුවේ කලාතුරකිනි.... වැඩි වශයෙන්ම ඌරන්, ඉත්තෑවන් ආදී සතුන් මෙහි ජීවත් වේ. දිනක් පාසාම රැයක් දවාලක් නොමැතිව මෙහි ගහක් ගහක් ගානේ ඇවිද ගිය පහුගිය අවුරුදු විස්ස තිහ පුරාම මෙවැන්නක් ඔහුට හමු වී නොමැත....

 

 .....

 

“ඔහෑහ්... ඔහෑහ්.........”

 

 ගෙපැල දෙසින් ඇසුනු ශබ්ධයට අයිවන් නැගිට්ටා නොව විසි වී ගියේය. අඩියට දෙකට පිල්කඩට දුවගිය අයිවන්ගේ නොයිවසිලිමත් දෑස ඇතුල් ගෙට එබි එබී බැලුවේ ඉමහත් ආශාවෙනි. නොයිඳුල් හැඬුම ගේපැල තුළ අරගල කරන්නාක් මෙනි. කාන්තාවන් එහෙ මෙහෙ යන හඬත් සතුටු සිනා හඬත්, ඤාණාගේ කෙඳිරිල්ලත් අයිවන්ගේ සවන් මත පතිත වෙයි... වතුර කොරහක් රැගත් කිරි නැන්දා වේගයෙන් එළියට ආවාය.. 

 

 

“ සරමක් සරමක්.....”

 

 

කටපුරා රන්දාගත් හිනාව අයිවන් දෙසට විසි කරමින් කිරි නැන්දා ඒ සුබ ආරංචිය කන මත තැබීය. කුළුඳුලේම කොලු පැටියෙක්... ඤාණාගේ ආසාවයි.. දස මාසයක් පුරාම කුස දරා සිටි සම්පත බෑගිරි ගාමින් හඬතලන්නේ ඉදින් අදින් පසු මේ නිවස මට අයිති යැයි තහවුරු කරන්නාක් මෙනි. 

 

 

පෑ බාගයකට පමණ පසුය අයිවන්ට කාමරයට ඇතුල් වීමට අවසර ලැබුණේ. ඒ වන විටත් හොදීන් කුස පුරවාගත් සිඟිත්තා ඤාණාගේ පපුවට තුරුල් වී නිදා සිටියේ අදින් පසු තමන්ට උරුම එතැන යැයි තහවුරු කරමිනි. අයිවන් හිමින් සීරුවේ එබී බැලුවේය. ලා රෝස පැහැයෙන් යුත් මැටි ඇඹුමක් වැනි කුඩා දරුවා චීත්තයකට ගුලිවී කිසිත් නොදැන තද නින්දේය.. වේදනාබර මුහුණට පෙම්බර සිනාවක් නංවාගත් ඤාණා අයිවන්ගේ නෙතට සිනාසුනේ රටක් රාජ්‍යයක් උරුම වූවාක් මෙනි. 

 

 

“ අපේ පුතා....”

 

 

“උඹ ආසාඋනෙත් පුතෙක්ටනෙ....”

 

 

“ අයියට හේනට එක්කන් යන්න....”

 

 

ඤාණාගේ සිනාව වරිච්චි බිත්තිවල වැදී ඒ බිත්ති තුළට උරා ගත්තේය.. වරින් වර ඒ මේ අත යමින් ඇසිලිනා දරුවාගේ සුව දුක් විචාරණ අතරම ඤාණාට ආවතේව කරන්නට විය. වැඩ හමාරව කුස්සියට වැදි කිරි නැන්දා කහට කෝප්පයක් තොල ගාමින් දරු උපත සම්බන්ධයෙන් ලත් අත්දැකීම් අනෙක් ගැහැණුන් සමග කියන්නේ ආඩම්බරයෙනි. ගෙට එබී දරුවා බලන්නට විජේපාල, සෝමා , කුසුමා ඇතුළු දරුවාගේ නැන්දලා මාමලා පෙළ සැදී සිටියහ.. කිරි සුවඳ අරක්ගත් සිහිල් මද සුළඟ ඔවුන්ගේ සිත් ප්‍රේමයෙන් පුරවාලූයේය...

 

 තමන්ගේ ආදරණීය සීයා අද්භූත සුදු මුවෙකු දැක කල්පතාවේ යෙදෙනු නොදත් කුඩා බිළිඳා සුව නින්දකට එළඹ සිටියේය...

 

- තිස් පස්වැනි මුරයෙන් හමුවෙමු-

 

- ඉරේෂා මධුවන්ති-

Read 92 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.