Tuesday, 31 October 2017 23:57

ආණ්ඩුක්‍ර ව්‍යවස්ථාවට වළ කැපුවොත්

Written by 
Rate this item
(0 votes)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කථිකාව අලුත් වූයේ ව්‍යවස්ථා සම්පාදන කමිටුවේ මෙහෙයුම් මණ්ඩලයේ වාර්තාවක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමත් සමඟය. එය නව ව්‍යවස්ථාව නොවේ. ව්‍යවස්ථාවක් සකස්කිරීම සඳහා ඇතිකරගත හැකි එකඟතා පිළිබඳ වාර්තාවකි. එම වාර්තාවට ද ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සිටින සියලු පක්ෂවල එකඟතාව ලැබී නැත. විවිධ පක්ෂවල ස්ථාවර උපලේඛන මගින් දක්වා තිබිණි. දැන් එය සංවාදයට ලක්ව ඇත. පාර්ලිමේන්තුවේද විවාදයක් පැවැත්වෙයි. එය සුබදායී තත්ත්වයකි.

 

කෙසේ වෙතත් මේ වනවිටත් යම් අන්තවාදී මත ප්‍රකාශයට පත්වෙමින් පවතියි. නව ව්‍යවස්ථාවකට මුලසිටම විරුද්ධ වූ අන්තවාදී පිරිස කියන්නේ මෙය මහා ව්‍යසනයක් හා මහා කුමන්ත්‍රණයක් බවයි. රට බෙදන උගුලක් බවයි. එවැන්නකට කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපති, අගමැති මෙන්ම පාර්ලිමේන්තුවේ කතානායකවරයා ද සහතික වුවද මොවුන්ට වගේ වගක් නැත. එය ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘතියයි. රටට විශාල අනතුරක් ඇතැයි බිල්ලකු මවා එම විපතින් රට ගලවන වීරයන් ලෙස පෙනී සිටීම එම ව්‍යාපෘතියයි. එයට ද මොවුනට ඇත්තේ එකම ක්‍රමයකි. එනම් ජාතිවාදය වැපිරීමයි. එයින් රටට මොන විපතක් වුවත් මොවුනට ගානක් නැත. ඔවුන්ට වැදගත් වන්නේ එයින් තමන් ලබන දේශපාලන වාසියක් වේනම් එය පමණකි.

නින්ෙදන් අැහැරුණු පිරිසක්

මෙහෙයුම් කමිටු වාර්තාවේ ඇතැම් යෝජනා ගැන ප්‍රශ්න කරන හා විරෝධය දක්වන සංවිධාන හා පුද්ගලයන් සිටින බව ද පෙනෙන්නට තිබේ. ඒවා සාකච්ඡාවට ගතයුතු ප්‍රශ්න වශයෙන් සැලකිය හැකිය. එම වාද විවාද මගින් අවසන් එකඟත්වයකට පැමිණිය යුතුය. එහිදී ද සියලු දෙනාම එකඟ කර ගත නොහැකිවීමට ඉඩ ඇත. එසේ වුද අති බහුතරයක් එකඟකර ගැනීම වැදගත්ය. මේ ඉදිරියට යන්නේ ඒ සඳහා වන ක්‍රියාවලියයි.

ඒ අතර තවත් හඬක් නැගී ඇත. එනම් නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැත යන අදහසයි. ඒ කියන්නේ පවතින ව්‍යවස්ථාව ප්‍රමාණවත් බවයි. එම පිරිස මේ කතාව කියන්නේ නින්දෙන් ඇහැරුණු ස්වරූපයෙනි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහාත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහාත් මේ රටේ සියලු පක්ෂ යම් යම් අවස්ථාවල පෙනී සිටි බවත්, ඒවා ජනතා ඉල්ලීම් වූ බවත් එයට ජන වරම් ගණනාවක් ලැබුණු බවත් මොවුන්ට මතක නැත. නින‍්දෙන් ඇහැරිලා යයි කියන්නේ ඒකටය.

විධායක ජනාධිපති ක්‍රමය මෙරටට හඳුන්වාදුන්නේ ජේ. ආර්. ජයවර්ධන මහතා විසිනි. ඒ රටේ සංවර්ධනයේ අවශ්‍යතාවයක් වශයෙනි. ඉක්මන් තීන්දු තීරණ ගැනීමටය. එම තනතුරට විශාල බලයක් ලබාදී තිබිණි. එම බලය අත්තනෝමතික බවට හා ඒකාධිපතිවාදයට හේතුවන බවට ඒ කාලයේ සිටම චෝදනා තිබිණි. ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා පොතක් ලියා පෙන්වා දුන්නේ එම අනතුරයි.

ජේ. ආර්ගේ නවසිය හැත්තෑ අටේ ව්‍යවස්ථාව හඳුන්වාදුන් දා පටන් පැවැති සෑම මැතිවරණයකදීම ප්‍රධාන පොරොන්දුවක් වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ව්‍යවස්ථාවක් රටට හඳුන්වාදෙන බවයි. 1989දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය එම පොරොන්දුව දුන්නාය. 1994දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය සියයට හැට දෙකක ඡන්ද ලබාගත්තේ මෙම ක්‍රමය අහෝසි කරන්නටය. එදා පොරොන්දුව වූයේ අවුරුද්දකින් ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවයි. එය කෙරුණේ නැත. “අපිත් ටික කාලයක් මෙම බලය ප්‍රයෝජනයට ගනිමු” යැයි කියූ ඇතැම් ඇමැතිවරුන්ගේ බලපෑම් නිසා එය කල්ගිය බව ආරංචි විය. අන්තිමේදී එය කරගන්නට බැරි විය.

2000 වසරේදී නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කළේ ෆෙඩරල් ක්‍රමයක් ද සමගිනි. එයට එදා ප්‍රධාන පක්ෂ දෙකේම අනුමැතිය ලැබී තිබිණි. එයට එ.ජා.ප. සහාය අහිමි වූයේ මැතිවරණයෙන් කවුරු බලයට පත්වුවත් ජනාධිපතිනියගේ බලය එම ධුර කාලය සඳහා තබාගැනීමට අන්තර්කාලීන විධිවිධාන යෝජනාකොට තිබීම නිසාය.

 

2005, 2010 සහ 2015 යන මැතිවරණ තුනේදීම මහින්ද රාජපක්ෂ මහතා ජනතාවට පොරොන්දු වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නටය. එසේ කීවද ඔහු එය තවත් ශක්තිමත් කළේය. තනතුරට තිබූ අසීමිත බලය ද අත්තනෝමතික ලෙස භාවිත කළේය. දැන් ඔහුට ඒ සියල්ල අමතකය.

 

2010 මැතිවරණයට විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස සරත් ‍ෆොන්සේකා මහතා ඉදිරිපත් කළේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නටය. ඔහු පරාජය වුවද ජයග්‍රාහී අපේක්ෂකයා ද කීවේ තමා එය කරන බවයි.

අසීමිත ෙපාෙරාන්දු

දිගටම පො‍රොන්දුවකට සීමාවී තිබූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමට පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ පෙරමුණ ගත්තේ ඉන් පසුවය. සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරය ගොඩනගා වෙනත් මහජන සංවිධාන මෙන්ම දේශපාලන පක්ෂවලද සහය ලබාගෙන විශාල ජන බලයක් ගොඩනැඟුවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන්නටය. මනාප ඡන්ද ක්‍රමය අහෝසි කිරීම හා වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ද එම ව්‍යාපාරයේ අරමුණු අතර විය.

 

විධායක ජනාධිපති ක්‍රමය මෙරටට හඳුන්වාදුන් එක්සත් ජාතික පක්ෂය ද මේ වනවිට එයින් බැටකා තිබිණි. එම පක්ෂය ද ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටනට එක්වීමත් සමඟ එම ජන බලවේගය වඩාත් ශක්තිමත් විය. ශ්‍රී ලනිපයේ ප්‍රධාන ලේකම්ව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු කණ්ඩායමක් මෙම බලවේගයට එක්වීමත් සමඟ එම ව්‍යාපාරයේ ජයග්‍රහණය සහතික වන තත්ත්වයක් නිර්මාණය විය. ජනාධිපතිවරණ‍ෙය් පොදු අපේක්ෂකයා ලෙස මෙරට සිවිල් සංවිධාන හතළිස් නවයක් සමඟ මෛත්‍රීපාල සිරිසේන මහතා ගිවිසුම් අත්සන් කළේ විධායක ජනාධිපති ක්‍රමය හා මනාප ඡන්ද ක්‍රමය අහෝසි කරන්නටය.

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ව්‍යාපාරයේම යෝජනාවක් වූ දින සියයේ ආණ්ඩුව මගින් ජනාධිපති ක්‍රමයේ බලය සීමා කිරීම හා වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සිදු කරනු ලැබීය. ඇතැම් කාර්යයන් ඉටුකරන ලද්දේ අගෝස්තු මැතිවරණයෙන් පසුව පිහිටුවන ලද යහපාලන ආණ්ඩුව විසිනි. එසේ වුව ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, මනාප ඡන්ද ක්‍රමය වෙනස් කිරීම හා මෙරට සුළුතර ජනයා සඳහා සුදුසු බලය බෙදීමේ ක්‍රමයක් ක්‍රියාවට නැගීම යන ප්‍රධාන අරමුණු තුනම තවම සම්පූර්ණ කර නැත. නව ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ ඒ සඳහා ය.

මෙම කාර්යයේදී තුනෙන් දෙකේ බලය යොදාගෙන අනෙක් පක්ෂ ඉවතදා ව්‍යවස්ථා සකසන්නට ආණ්ඩුව ඉදිරිපත් වූයේ නැත. ආණ්ඩුව කළේ පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සභාවක් කරගෙන සියලු පක්ෂ හවුල් කරගැනීමයි. ඊට පෙර රටේම ජනමතය විමසා යෝජනා ඉදිරිපත් කිරීම කමිටුවක් මගින් සිදුකරනු ලැබීය. මෙහෙයුම් කමිටු අතුරු වාර්තාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූයේ මෙතෙක් කළ සාකච්ඡාවල ප්‍රතිඵලයයි.

 

නව ව්‍යවස්ථාවක් සඳහා ආණ්ඩුවට ජන වරමක් නැතැයි කීමට මෙන්ම මේ මොහොතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අනවශ්‍ය යැයි කීමට ඇතැම් පිරිස් දැන් ඉදිරියට පැමිණ සිටින්නේ මේ අතීතය හා වර්තමානය ද අමතක කරමිනි. නැතහොත් ජනමතය හා රටේ අවශ්‍යතාවය තුට්ටුවකට නොසලකමිනි.

මෙකී ඇතැම් ව්‍යාපාර හා විරෝධතා ඉබේ මතුවන ඒවා නොවන බව ද පැහැදිලිය. ඇතැම් පිරිස් මෙම විරෝධතා අවුළුවන්නට කැස කැවුයේ දිගු කලක් තිස්සේය. ඇතැම් අවස්ථාවල මහනායක හාමුදුරුවන් අතින් මොවුන් සල්ලන් වන ආකාරය ද අපට දැක ගන්නට හැකිවීය. කොක්කෙන් නැත්නම් හබකෙන් කීවා සේ එකක් වරදිනවිට තව එකක් කරන්නේ කෙසේ හෝ තම පැවැත්ම රැකගැනීමටය. මොවුන් රටට විපතක් වෙනවාය කියමින් කරන්නේම රට විපතෙහි හෙළීමයි.

මොවුන් කියන පරිදි යම් හෙයකින් ව්‍යවස්ථාව සම්පාදනය නවතා දැමුවහොත් සිදුවන්නේ කුමක් ද යන්න ද සලකාබැලිය යුතුව ඇත. එසේ වුවහොත් සිදුවන්නේ ගෞරවනීය හිමි නමක් වූ සෝභිත හිමියන්ගේ සියලු කැපකිරීම් අපතේ යාමයි. ඒ මහජන බලවේගයේ පැතුම් ඉටු නොවීමයි. යළිත් වරක් රට අගාධයේ හිරවීමයි.

 

සංවිධානාත්මක විරෝධතා

විපක්ෂයේ මෙම බලවේග උත්සාහ දරන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට ඉඩ නොදීමටයි. එමගින් එතුමා අසාර්ථක, නැතහොත් වංක දේශපාලනඥයකු ලෙස රටට පෙන්නුම් කිරීමටයි. එතුමාට ඇති ජනතා ගෞරවය හීන කිරීමටයි. එවිට 2020 ජනාධිපතිවරණයකට මුහුණදීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට සිදුවෙයි. එතුමාට එයට මුහුණදීමට සිදුවන්නේ ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ තවත් ජනාධිපතිවරයකු වශයෙනි. විපක්ෂය මේ හදන්නේ ජනාධිපතිතුමා එම අමාරුවේ දමන්නටය.

අනෙක් අතට රටටද වන්නේ විපතකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනව වන සංශෝධනය සම්මත කළේ ජනාධිපති හා අගමැති අතර බලය බෙදීයන ආකාරයෙනි. එහිදී එක් උපකල්පනයක් වූයේ පක්ෂ දෙක එක්ව ආණ්ඩු කරමින් නව ව්‍යවස්ථාවක් සකස් කරන බවයි. ව්‍යවස්ථාව සංශෝධනය කළේ දිගින් දිගට ගෙනයන්නට නොවේ. යම් හෙයකින් ජනාධිපති එක් පක්ෂයකින් පත්ව ආණ්ඩු බලය අනෙක් පක්ෂයට ගියහොත් මෙම තත්ත්වය යටතේ රටේ ඇතිවන්නේ අවුලකි. ඇතැම්විට විපක්ෂය මෙය ද ගණන් හදා තිබෙනවා විය හැකිය.

දේශපාලන විද්‍යාවේ පුරෝගාමියා ලෙස සැලකෙන නිකොලෝ මැකියාවෙල්ලි ඉතාලිය එක්සත් කිරීමේ එදා පැවති ප්‍රශ්නය ගැන කීවේය.

ඔහු කීවේ ඉතාලිය එක්සත් කිරීමේ ප්‍රශ්නය වන්නේ එය කිරීමට තරම් පාප්වහන්සේ බලවත් නොවීමත්. එසේ වුවද අන් අයකු ඉතාලිය එක්සත් කිරීම වැලැක්වීමට තරම් පාප් වහන්සේ බලගතු බවත්ය. දැන් ජනාධිපති බලතල තිබෙන්නේ ද එබඳු තත්ත්වයකය.

ආණ්ඩුවක් කරගෙන යන්නට තරම් බලයක් එම තනතුරට ලැබෙන්නේ පාර්ලිමේන්තුවේ ද තම පක්ෂය බලවත් වුවහොත් පමණකි. එසේ නොවූවිට එයට බලය ඇත‍්තේ අනිත් පක්ෂයට නිදහසේ ආණ්ඩුව කරගෙන යාමට ඉඩ නොදීමට පමණි. නව ව්‍යවස්ථාවක් සම්මත නොකිරීමෙන් රට සදාකාලික අගාධයට තල්ලුවිය හැක්කේ මෙම තත්ත්වය හේතුවෙනි.

දූෂිත ක්‍රමය දිගටම

ඒකාබද්ධ විපක්ෂය නව ව්‍යවස්ථාවකට විරුද්ධ වෙමින් දැන‍ හෝ නොදැන තමන්ගේම වළ කපාගන්නා බවක් ද පෙනෙන්නට ඇත. මහින්ද රාජපක්ෂ මහතාට මීළඟ ජනාධිපතිවරණයටත් තරග කළ නොහැකිය. විවිධ චෝදනා එල්ලවී ඇති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා නාමල් රාජපක්ෂ මහතාගේ ද ඉරණම අවිනිශ්චිතය. ඔවුන්ට ද ගොඩයන මාවත ඇත්තේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකට මාරුවුවහොත්ය. තම ප්‍රතිවාදියා අමාරුවේ දමන්නට ගොස් විපක්ෂය තමන්ම අමාරුවේ වැටෙන්නේ ඒ ආකාරයෙනි.

 

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැවතුනොත් රටට වන අනෙක් බරපතළ විපත නම් මනාප ඡන්ද ක්‍රමය අහෝසි කිරීමට නොහැකි වීමයි. මෙම ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවට පත්වීමට කෝටි ගණනින් මුදල් වියදම් කළයුතුය. එවිට පාර්ලිමේන්තු යන්නේ කළු සල්ලිකාරයන් ය. හොරුන් ය. විවිධ ජාවාරම්කරුවන් ය. එමෙන්ම බලයට ආවිට පෙළඹෙන්නේ වියදම් වූ මුදල් හම්බකර ගැනිමටය. එමෙන්ම තමන් වෙනුවෙන් වියදම් කළ ජාවාරම් කාරයන්ට හම්බ කර ගැනීමේ මාර්ග හදාදීමටය. කොමිස් ගැනීම, ටෙන්ඩර් මගඩි, සොරකම් සිදුවන්නේ එවිටයි. දූෂණ පිටුදැකීම මෙතරම් අමාරුවී තිබෙන්නේ එම ක්‍රමය නිසාය. නව ව්‍යවස්ථාවක් සම්මත කොට මනාප ඡන්ද ක්‍රමය අහෝසි නොකළහොත් අපට දිගින් දිගටම ඉන්න වෙන්නේ මෙම දූෂිත දේශපාලන අගාධයේය. නව ව්‍යවස්ථාව ඉක්මනින් අවශ්‍ය වන්නේ මෙම නරා වළෙන් ගොඩ යන්නටය.

 

වසර තිහක යුද්ධයකින් රටට විනාශය අත්වූයේ මෙරට සුළුතර ජනයාගේ ප්‍රශ්න විසඳීමට එදා සිටි බුද්ධිමත් අවංක නායකයන් ගත් පියවර අන්තවාදී සුළු පරිසකගේ බලපෑම් නිසා නතර කරන්නට සිදුවූ නිසාය. මල්වතු මහ නාහිමියෝ පසුගියදා මෙම අතීතය අපූරුවට මතක් කළහ. අප යළිත් වරක් එම විනාශයම කරගත යුතු නැත.

 

ශ්‍රී ලාංකිකයන් අපායට ගියවිට මුරකරන්නට යමපල්ලන් අවශ්‍ය නැති බවට කියමනක් ඇත. එයට හේතුව ගොඩයන්න හදන අය ආපසු ඇද දමන්නට අපේම කට්ටිය සිටින නිසාය. අපගේ විපක්ෂ කණ්ඩායම් රටට කරන්න හදන්නේ ද ඒකය. විශාල නරාවළක වැටී සිටින රට ගොඩගන්න සියලු පක්ෂ සම්බන්ධ කරගෙන උත්සාහ දරනවිට සුළුතර පිරිසක් හදන‍්නේ රට නැවත වළටම ඇද දමන්නටය. එයට තව වරක් නම් ඉඩ දිය යුතු නැත.

 

- යුක්තිය 

 

Read 11 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.