Sunday, 22 October 2017 01:42

ලොට් අංක දෙක -තිස් තුන්වැනි මුරය

Written by 
Rate this item
(0 votes)

 දැඩි සීතලේ වුව මානිස්ගේ නිරුවත් උරහිසට තෙරපී තිබූ කොටන තුවක්කුව දඩයමක ඉව අල්ලමින් සිටියේය. පුරා වසර ගණනාවක්ම මානිස්ගේ උරිහ මතට වී රාත්‍රී අන්ධකාරය නම් වූ ගුලට වැදී ඌරන්, මුවන්, හාවුන් ආදී සතුන් දඩයම් කරමින් මෙම තුවක්කුව තම මෙහෙවර ඉටුකර තිබුණි.. රෑහින්ගේ කන්කරච්චලයත් පාලුවක් දනවන මූසල බස්සන්ගේ ගෙරැවුමත් පරයා හිටිවනම කොටියෙකුගේ ඈනුම් හඬක් ඇසුනි.. පියවර එතැනම ගල් වී මානිස් නතර විය..

 

සඳ එළිය වැටී ඉලුක් පඳුරු කිරි ගරුඬ පිරුවටයක් සේ ඈත නිම්නයට විහිදී ඇත. කළුවර ලැගුම් ගත් තුරු ගොමු ගුප්ත බියකරු බවක් දනවයි. කිසිත් හැලහොල්මනක් නැත. මානිස්ගේ ඇස් අඳුරට හුරුව ඒ මේ අත විහිදෙන්නේ ගසක පත්‍රයක් බිම වැටෙන හඬට පවා සංවේදී වෙමිනි.. සඳ එළිය යට ඔහේ වැතිර සිටින ගස් සුළගක්වත් නොමැතියෙන් නින්දට වැටී ඇත..කිසියම් ගුප්ත බවක් විසින් මානිස්ගේ සිත තරමක් තිගැස්මකට ලක්කර තිබේ...තුවක්කු මිට තවත් ශක්තිමත් වූ දෑතට සිරවුණි...

එක්වරම සඳ වළාවකට මුවා විය.. අන්ධකාරය පමණක්ම වනන්තරය තුළ පැතිර ගියේ කදෝකිමි එළියකුදු නොපෙනෙනා සේය.. මානිස් තවත් තුවක්කු බඳ තම වමතට තද කරමින් හිටිවනම සිටියේය.. අන්ධකාරයම පමණි.. යමක් සෙළවෙනු දැනෙයි.. තමන්ට ඉදිරියෙන්ම සිහින් සර සර ශබ්ධයක් ඇසුනි..එක්වරම නුහුරු නුපුරුදු ළතෝනියක් වැනි කොටියෙකුගේ ගෙරවුමක් ඇසෙයි.. එය ළං වනු හෝ දුරස් වනු නොව මානිස්ට යාර දහයක් පමණ ඉදිරියෙන් එක්තැනම සිට නැගූ හඬකි.. ක්‍රමයෙන් ගෙරවිල්ල කෙඳිරියකට පරිවර්තනය වනු ඇසිනි.. කොළ කෝටු කැබලි පොඩිවන හඬ එහි මුසු වී තිබුණි..රෑහියන් ගොලු වූවාක් වැන්න.. සර සර ශබ්ධය පමණක්ම මානිස්ගේ දෙසවන වැකෙයි..

 ඉදිරියට හෝ පසුපසට පය සෙලවිය නොහැකි සේ ගල් ගැසී ඇත.. නිසැකවම ඒ කොටියෙකුගේ ගෙරැවුමකි.. නමුත් ඒ කිසිදාක අසා නැති නුපුරුදු හඬකි.. මේ ගල් දෙබොක්කාවේ සැරිසරන මානිස්ට ඕනෑ තරම් කොටි මුලිච්චි වී ඇති සේම කිසිත් කරදරයක් නොකොට ඔවුන් මගහැර ගොස්ද පුරුදුය..කොටින් සැලකුවේ තුවක්කුවක් අතින් ගත් මේ මිනිසා තමන්ගේම එකෙකු සේ යැයි මානිස්ට වරෙක සිතුනි..නමුත් අද මේ දැනෙන අමුත්ත කුමක්ද... වනන්තරයම නිහඬ වූ මොහොතක සිදුවන මේ අමුත්ත කුමක්ද?

........

ඤාණා වේදනාවෙන් කෑ ගසන්නේ අයිවන්ගේ පපුව කීරි ගස්වමිනි.. දොර අසලට වී මද වේලාවක් ඒ වේදනාබර හඬට සවන් දුන් අයිවන් එය ඉවසිය නොහැක්කෙන් පිල් කඩටද එතැනින් මිදුලටද අවසන කඩුල්ලෙන් එපිට බැම්මටද ගොඩ වී ඈත මෝදු වෙන සඳ දෙස බලා සුසුමක් පිට කලේය.. ගොම්මන් අඳුර වැටෙන්නට ඔන්න මෙන්න තියා ඇරඹුනු ඤාණාගේ විලි රුදාව තවමත් තදින් අල්ලා සිටීයි.. ඇසිලිනාත් කිරි නැන්දාත් ඇතුළු ගැහැණුන් කිහිප දෙනෙකුම  වට වී ඤාණාගේ බඩ සැහැල්ලු වන තුරු ඈ අසල සිටින්නේ සූදානම් සරීරයෙනි..කුළුඳුලේම විලි රුදාවක් නිසා කාගේ කාගෙත් සිත් තුළ ඇත්තේ බියකි. කා තුළත් ඇත්තේ සඟවාගත් කළබලයකි..

 

“ තාම නැද්ද බං ...”

 

“හ්ම්ම්ම්.....”

 ගල් බැම්මට ගොඩ වූ විජේපාලගේද ඇස් යොමු වූයේ ආඩම්බරව දිදුළන සඳ දෙසටයි.. ඈත වීහලුව පැත්තෙන් කොටියෙකුගේ ගෙරවුම් හඬක් ඇසී නෑසී ගියේය..

 “ අප්ප්ච්චි පැලේද දන්නැ.. මං කියලා ආවෙ ඒත් පැලටම වෙලා ඉන්ට කියලා.. ”

 

“කවුරුත් කියන දේ අහනවයැ බං.. මෙලහටත් ඇති කැලේ වැදිලා.. තුවක්කු කෙටියත් උර තියාන...”

“ පුරුද්දනෙ බං.. අපිට අරින්ට බැ ඒ පුරුදු...කොටියෙකුත් බෑගිරි ගානවා.. හඳට වෙන්ටැ.”

...... 

“ දැං නං ඤාණෝ හෑල්ලු වෙන්ට වෙලාව ඇවිත්.. වේදනාවයි තමයි... ඉවසපං ඉවසපං...”

 විලි රෑනේ එල්ලි ඉන්නා ඤාණාගේ දහඩිය පෙරී හැට්ටය තෙත් වී ඇත. කිරෙන් බර වී ඇති ළමැද ඉලිප්පී මහත් වේදනාවෙන් තෙරපී ඇත... රතු වූ ඇස් කඳුලින් බරව ඇත.. හිස අත ගාමින් සිටිනා ඇසිලිනා ඈට සවියක් වන්නට මෙන් ඉමහත් සෙනෙහසක් දෑසේ රඳවාගෙන ඈ තමා වෙත වාරු කරගෙන සිටියි..

 “කෝ ඔය වතුර කොරහා කිට්ටු කරපන් මෙහාට.. චීත්ත ටිකත්... ”

 “ ඇසිලිනා අල්ලගනින් කෙල්ලව ”

 

 “ආ.... හරි හරි.... බය වෙන්ට දෙයක් නෑ කෙල්ලේ....”

 

“ ඔන්න හරි.... කො ඔය වතුර කොරහා... විගහට විගහට”

 

-තිස් හතරවැනි මුරයෙන් හමුවෙමු-

Read 199 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.