Wednesday, 04 October 2017 01:41

තොරුතුරු පනත ගැන විමසුමක් 

Written by 
Rate this item
(0 votes)

තොරතුරු අයිතිය බලාත්මක වුවද, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත බොහෝ අය දුටුවේ නුරුස්නා සහ සැක කටයුතු ඇසිනි. මේ අනුව එම පනත ගෙනඒම 2003 වසරේ පටන් සහ ඊටත් පෙර පටන්ම පැවති අරගලයක් වී යැයි කිශාලි පින්ටෝ-ජයවර්ධන සඳහන් කරයි. තොරතුරු පනත විසින් ශ්‍රී ලංකාව වෙත ගෙන ආ ජයග්‍රහණ සහ අභියෝග පිළිබඳ සන්ඩේ අයිලන්ඩ් පුවත්පතට අදහස් දක්වන ඇය ජේ්‍ෂ්ඨ නීතීඥවරියක් මෙන්ම 2004 තොරතුරු නිදහස පිළිබඳ පනත් කෙටුම්පත සහ 2016 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යන දෙකම කෙටුම්පත් කිරීමට දායක වූ අයෙකි.

 

වසර ගණනාවක් තොරතුරු දැනගැනීමේ අයිතිය යථාර්ථයක් කිරීමට අරගල කිරීමෙන් අනතුරුව ඇය, ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ, පුවත්පත් ප්‍රකාශකන්ගේ සමාජයේ සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ නාම යෝජකයා වශයෙන් ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවේ කොමසාරිස්වරියක වශයෙන් කටයුතු කරන්නීය. 

 

ශ්‍රී ලංකාවේ තොරතුරු පනත

 

''තොරතුරු දැනගැනීමේ අයිතිය ලංකාවට අමුතු දෙයක් වුණත්, එය ගෝලීය හෝ කලාපීය සංස්කෘතිය තුළ පවා එසේ නැහැ..'' යැයි  තොරතුරු අයිතිය පිළිබඳ කොමිසමේ කොමසාරිස් කිශාලි පින්ටෝ-ජයවර්ධන පවසන්නීය. ''ඉන්දියාවට 2005 වසරේ පටන් තමන්ගේම තොරතුරු නීති තිබුණා. ශ්‍රී ලංකාවේ තොරතුරු අයිතිය පිළිබඳ පළමු කෙටුම්පත සකස් කළේ 2003 අවුරුද්දේයි. ඒ පනත් කෙටුම්පත් කැබිනට් මණ්ඩලයට යවා සම්මත කර ගත්තා නම් ශ්‍රී ලංකාව කලාපයේ තොරතුරු අයිතිය පිළිබඳ නීතියක් සම්මත කර ගත් පළමු රට බවට පත්වෙනවා. නමුත් ඉන්පසුව බංග්ලාදේශය, නේපාලය, පාකිස්ථානයේ සමහර කොටස් ශ්‍රී ලංකාව පසුකරමින් ගිහින් තමන්ගේ තොරතුරු අයිතිය පිළිබඳ නීති සම්මත කර ගත්තා.”

 

තොරතුරු අයිතිය, මහජන මුදල්වල වගවීම සම්බන්ධයෙන් ඉතා පුළුල් ලෙස බැඳී තිබෙන බව ඇය පැහැදිලි කරයි. මගපෙන්වන නිර්ණායකය වන්නේ එයයි. එය ආණ්ඩුවේ ආයතනවලට පමණක් සීමා නොවන අතර, ආණ්ඩුවේ ආයතන සමග සම්බන්ධිත ව්‍යාපාරික ආයතන ද එයට ඇතුළත් ය.

 

“එය මහජන ආයතනයක් නම්..'' ඇය පවසන්නීය. ''එහෙමත් නැතිනම් මහජනයා විසින් යම්කිසි නිශ්චිත ප්‍රමාණයක කොටස් හිමිකමක් දරනවා නම් එවිට එය තොරතුරු අයිතියෙන් පාලනය වන කොටසක් හෝ ක්ෂේත්‍රයක් බවට පත්වෙනවා. එයට හේතුව සරලයි. මහජන මුදල් පාවිච්චි කර තිබෙනවා නම්, මහජනයාට එම මුදල් පාවිච්චි කර තිබෙන්නේ කොහොමද කියා දැනගන්නට අයිතියක් තිබෙනවා. මේක තමයි තොරතුරු අයිතිය මූලාරම්භය වශයෙන් පැන නගින පදනම.''

 

අපගේ ආණ්ඩුවේ මහජන මුදල් පමණක් නොව, වෙනත් ආණ්ඩුවක හෝ වෙනත් රටක මහජනතාවගේ මුදල් ද තොරතුරු අයිතිය යටතේ ප්‍රශ්න කළ හැක.

 

“උදාහරණයක් වශයෙන් අපි හිතමු, නෝර්වේ ආණ්ඩුවෙන් අරමුදල් සපයන රාජ්‍ය නොවන සංවිධානය්ක ලංකාවේ තිබෙන බව. එවිට තොරතුරු පනතෙන් පනවනු ලබන යම් නිශ්චිත ව්‍යාතිරේඛ තුළ, එම මුදල් යෙදවූයේ කොහොමද යන්න පිළිබඳ තොරතුරු දැනගන්න අයිතිවාසිකමක් ඇති වෙනවා.,

 

පුද්ගලික ආයතන තොරතුරු අයිතිය යටතට ගැනෙන්නේ මහජන මුදල්වලින් පාලනය වන ක්‍රියාකාරකම්වල ඒවා යෙදෙන්නේ යම් තාක් දුරකටද, ඒ තාක් දුරට පමණි.

 

“උදාරහණයක් වශයෙන් ඒ වෙනස තමයි..., ජේ්‍ෂ්ඨ නීතීඥ කිශාලි පින්ටෝ-ජයවර්ධන පවසන්නීය. “...පුද්ගලික කර්මාන්තශාලාවක් ශ්‍රී ලංකා යුධ හමුදාවට සපත්තු සපයනවා නම්, තොරතුරු අයිතිය අදාළ වෙන්නේ එම පුද්ගලික සමාගම ශ්‍රී ලංකා යුධ හමුදාව සමග තිබෙන ගිවිසුම සම්බන්ධයෙන් පමණයි. එම සමාගමේ පුද්ගලික ක්‍රියාකාරකම් දක්වා එය දිවෙන්නේ නැහැ. මෙය තමයි, තොරතුරු අයිතිය යටතේ තොරතුරු දැනගත හැක්කේ මොනවාගේද, එම අයිතිය යටතට නොඑන්නේ මොනවාද යන්න සම්බන්ධයෙන්  දැක්වෙන වෙනස."

 

පුළුල් තොරතුරු පනතක් සඳහා ශ්‍රී ලංකාවේ අරගලය

 

ශ්‍රී ලංකාවේ තොරතුරු පනත ගෝලීය වශයෙන්, ලෝකයේ තුන්වැනුවට හොඳම නීතිය වශයෙන් හේතු ගණනාවක් නිසා ස්ථානගත වී තිබේ. එක් හේතුවක් වන්නේ එමගින් ආවරණය වන ඉතා පුළුල් ආයතන කාණ්ඩ ගණනාවයි.ඉන්දියානු නීතියේ මෙන් මෙහිදී කිසිදු රාජ්‍ය ආයතනයක් තොරතුරු නීතියෙන් බැහැර නොවේ. ඉන්දියානු නීතියෙන් බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ ඇතුළත්ව ආයතන 18 ක් තොරතුරු විමසිය නොහැකි ආයතන වශයෙන් තොරතුරු නීතියෙන් බැැහර කළත් ශ්‍රී ලංකා නීතියේ එබඳු ආයතන මත පදනම් වූ පුළුල් ව්‍යාතිරේඛ නැත. අපට ව්‍යාතිරේඛ සඳහා පදනම් තිබෙන නමුත් යම් විශේෂිත ඒජන්සියක් හෝ ආයතනයක් සම්බන්ධයෙන් අපේ නීතියේ ව්‍යාතිරේඛ නොයෙදේ. අවම වශයෙන් සෛද්ධාන්තිකව හෝ අපේ තොරතුරු පනත ගෝලීය වශයෙන් ආකර්ෂණය දිනාගෙන තිබෙන්නේ සහ ඒ අනුව ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටින්නේ මේ නිසා ය.

 

“මේවා ඉතාම පහසුවෙන් ලබාගත් ජයග්‍රහණ නෙවෙයි. මේවා, වසර ගණනක් තිස්සේ උපදේශනයෙන්, මේ ගැටලු පිළිබඳ අවධාරණය කිරීමෙන්, වසර ගණනක් මුළුල්ලේ මේ ගැටලු සම්බන්ධයෙන් මහජන මතය සකස් කිරීමෙන් ලබාගත් ජයග්‍රහණයි. 2003 සහ 2015-16 කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලියේදී පවා මේ අදහසට විශාල ප්‍රතිරෝධයක් එල්ල වුණා. 2004 මෙන්ම 2015 වසරේදීත් පිහිටවූ තොරතුරු අයිතිය පිළිබඳ කමිටුවල මා සාමාජිකාවක් වූ අවස්ථාවලදී හැම අතින්ම බැලූ විට මූලික ගැටළුව වුණේ තොරතුරු පනත යටතේ ජාතික ආරක්ෂාව ආවරණය කළ යුත්තේ මන්ද කියන එකයි.

 

ජාතික ආරක්ෂාව කියන්නේ ඉතාම වැදගත් යම්කිසි දෙයක්, ඒ නිසා එය මෙහි කෙටුම්පත් නොකළ යුතුද යන ගැටළුව මෙහිදී මතු වුණා. ඉන්දියාවේදී එය පිළිගත් දෙයක් වුණා. මේ අනුව ඉන්දියානු තොරතුරු පනත මගින් ජාතික ආරක්ෂාව ආවරණය වුණේ නැහැ. 

 

“එදා මෙන්ම අදත් අප දිගින් දිගටම කියා සිටින්නේ ජාතික ආරක්ෂාව, තොරතුරු ප්‍රතික්ෂේප කිරීම සඳහා පදනමක් විය හැකි නමුත්, පදනමක් වශයෙන් හුදු වශයෙන් ජාතික ආරක්ෂාව යන්න සඳහන් කිරීමෙන් පමණක් එසේ තොරතුරු දීම ප්‍රතික්ෂේප කළ නොහැකි බවයි. විශේෂ ශුද්ධවන්තභාවයක් එයට තිබෙන්නට බැහැ. මේ අනුව එය තොරතුරු අයිතිය මගින් ආවරණය වෙනවා. නමුත් විශේෂිත, සුවිශේෂී -සමස්ත ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටලුවකදී එවිට ඉල්ලා සිටින තොරතුර වැටෙන්නේ ලබාදිය හැකි පැත්තටද නොහැකි පැත්තටද යන්න තීරණය කිරීමට පෙර එම ගැටලුව විමසා බලා කරුණු තුලනය කර බැලීම තොරතුරු කොමසාරිස්වරුන් සහ අධිකරණය මත පැවරෙන කාර්යයක්. මෙය තුලනය කර බලන කාර්යයක් වන අතර එම තීරණය ගනු ලබන්නේ ආණ්ඩුව විසින් නෙවෙයි” තොරතුරු කොමසාරිස්වරුන් විසින්.”

 

නමුත් එක් ගැටළුවක් වන්නේ ජාතික ආරක්ෂාව වැනි අංශ තොරතුරු අයිතිය යටතේ නිර්වචනය කර (අර්ථ දක්වා) නොතිබීම සහ, එය වෙන් වශයෙන් විමසා බැලිය යුතු වීමයි. 

“ඒ නිසා තමයි, ජාතික ආරක්ෂාව එකලාම ප්‍රතික්ෂේප කරන දෙයක් විදිහට ඔබට සලකන්නට බැරි.” ඇය පැහැදිලි කරයි. “එය එක් එක් අවස්ථාවේ පවතින ආශ්‍රිත කරුණු අනුව රඳා පවතිනවා. මෙය පොදු අධිකරණවලින් පවා ගනු ලබන ඉතාම සාමාන්‍ය ස්ථාවරයක්. යම්කිසි නඩුවකදී ජාතික ආරක්ෂාව කරුණු වශයෙන් දක්වනවා නම් ඒ සඳහා හේතු දැක්විය යුතුයි කියන දේ අධිකරණවල නිරන්තරයෙන් සිදුවන ඉතාම සංගත දෙයක්. මෙවිට අධිකරණ එම හේතු විමසා බලා, එම හේතු නිවැරදි ද නැතිනම් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමෙන් හෝ මර්දයෙන් ආරක්ෂා වීමේ ව්‍යවස්ථානුකූල අයිතියට අනුකූල ද යන්න විමසා බලා තීරණයක් දෙනවා.

 

“මෙය කරුණු විමසා බලා කරන ඉතාම මධ්‍යස්ථ, අධිකරණමය තුලනයක් නිසා එය දේශපාලනමය අර්ථයකින් සිදුකරන දෙයක් නෙවෙයි. යම්කිසි විශේෂිත සිද්ධියක සීමාවන් පතිත වීම අනුව එය වැටෙන්නේ තොරතුරු දිය යුතු පැත්තටද නැතිනම් තොරතුරු රඳවා තබාගත යුතු පැත්තට ද යන්න පිළිබඳ ආශ්‍රිත කරුණු ඔබට පෙනෙනවා..

 

 “අවංකව කිව්වොත් ලෝකයේ තොරතුරු ලබාගැනීමේ අයිතිය කිසිම අවස්ථාවක ජාතික ආරක්ෂාව උල්ලංඝනය කිරීම සඳහා පාවිච්චි කර නැහැ. ඒ නිසා තමයි තොරතුරු අයිතිය පිළිබඳ කොන්දේසි ප්‍රවේශමෙන්, ඒ කියන්නෙ තත් කාර්ය/ඇඩ්හොක් දෙයක් හෝ හදිසියේම වාන් දොරටු ඇර දැමීමක් නොවෙන්නෙ. එය ඉතාම සිහි කල්පනාවෙන් සිදුකරන දෙයක්.”

 

ව්‍යාතිරේඛතොරතුරු අයිතිය පිළිබඳ කොමසාරිස් සහ ජේ්‍ෂ්ඨ නීතීඥ කිශාලි පින්ටෝ ට අනුව ලෝකයේ කොතැනත් සිදුවන පරිදි ශ්‍රී ලංකාවේ තොරතුරු නීතියේ ද ව්‍යාතිරේඛ 14කට ආසන්න සංඛ්‍යාවක් තිබේ. විදේශ වෙළඳ ගිවිසුම් ද එවැනි ව්‍යාතිරේඛයක් යටතට ගැනෙන්නකි. “වෙළඳ ගිවිසුම් පිළිබඳ මූලික රීතිය වන්නේ තවමත් සාකච්ඡා කෙරෙමින් පවතිනවා නම් ඒවා තීරණය වී අවසන් වන තෙක් හෙළිදරව් නොකළ යුතු බවයි. මේ වන විට ඉන්දියානු පනතේ පවා පවතින අතර, මෙකී සාකච්ඡා සහ ගිවිසගැනීම්වල විශ්වාසනීයත්වය සුරැකීම සැලකිලිමත් විය යුතු ගැටළුවක් වශයෙන් සැලකෙනවා. මේ අන්තර්වාක්‍යය වටා විශාල අතෘප්තියක් හා සැක සංකා මතු වී තිබෙන බව මා දන්නවා. නමුත් මෙය ලංකාවට පමණක් අනන්‍ය වූ විධිවිධානයක් නොවෙයි. ලෝකයේ හැම තොරතුරු පනතකම පාහේ මේ තත්වය තිබෙනවා.

 

 

 

“මෙහිදී දැක්විය හැකි තවත් ව්‍යාතිරේඛයක් වන්නේ තීරණයකට තවම එළඹී නැති කැබිනට් පත්‍රිකා. අපේ කැබිනට් මණ්ඩලයේ සිදුවන්නේ මොනවාදැයි දැනගැනීමට ඔබට ආශාවක් තිබෙනවා වෙන්නට පුළුවන් නමුත් එහිදී අදාළ වන යම් නිශ්චිත නියමයන් සහ ප්‍රත්‍යාදේශයන් තිබිය යුතුයි.”

 

කෙසේ නමුත් ව්‍යාතිරේඛවලදී පවා සැලකිල්ලට බඳුන්වන තුලනාත්මක කාරණයක් තිබෙන බවට ඇය සහතික වෙයි. මෙකී සියලු ව්‍යාතිරේඛ, එනම් විදේශ ගිවිසුම් පවා මහජන සුබසිද්ධිය ප්‍රමුඛතර වන බවට විෂය වේ. එය හුදෙක් තොරතුරු දීම හෝ තොරතුරු නොදීම පිළිබඳ කාරණයක් නොවේ. අදාළ උපවගන්ති හරහා තොරතුරු නිලධාරීන් විසින් ලබාදිය යුතු තොරතුරු නොලැබෙන්නේ නම් එවිට එම ඉල්ලීම තොරතුරු කොමිෂන් සභාව වෙත පැමිණේ. කොමිෂන් සභාව සිය තීරණය ලබාදීමට පෙර සියලු සාධක සලකා බලනු ඇත.

 

තොරතුරු පනතට ප්‍රතිචාර

 

2017 පෙබරවාරි මාසයේ පටන් පනත සක්‍රිය වීමෙන් අනතුරුව ලැබී ඇති ප්‍රතිචාර ඉතාමත්ම ධනාත්මක ය. කොමිෂන් සභාව ඉදිරියට අභියාචන 400කට වඩා ඉදිරිපත් වී තිබේ. කෙසේ නමුත් ආරම්භයේ පටන්ම කොමිෂන් සභාව අභියාචන විභාග කිරීමේ යුහුසුළුව යෙදී සිටින හෙයින් ප්‍රමාණවත් අයුරින් මේ කටයුතු සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ලබාදීමට සමත් වී නැත. මේ නිසා බොහෝ අය මේ පනත ක්‍රියාකරන්නේ කෙසේද යන්න පිළිබඳව තවම දැනුවත් භාවයෙන් තොර ය.

 

2017 පෙබරවාරි මාසයේ මඩකලපුවේ හටගත් සිද්ධියක් නැවත ආවර්ජනය කරන්නේ නම්, එහිදී යුධ සමයේ සිය දරුවන් අතුරුදන් වූ මව්වරුන්ගෙන් සමන්විත කාන්තාවන් කණ්ඩායමක්, තොරතුරු පනතේ පිටපතක් සමග ගොස් පොලිස් ස්ථානවල නිලධාරීන් සමග, ග්‍රාම නිලධාරීන් සමග සහ බන්ධනාගාර නිලධාරීන් සමග අරගල කර තිබිණි. අදාළ නිලධාරීන් මෙම පනතේ විධිවිධාන පිළිබඳ දැනුවත්ව නොසිටි අතර පෙර කී මව්වරන් අත තිබුණේ පනතේ දමිල පිටපත් වූ නිසාද ඔවුහු තවදුරටත් අපහසුතාවයට පත්වූහ. මේ අනුව ඔවුන් එම කාන්තාවන්ට කියා තිබුණේ තමන්ට පැහැදිලි කර දෙන ලෙස ය. එම කාන්තාවන් මෙය දැන සිටියේ ඔවුන්ට ඒ සම්බන්ධයෙන් පුද්ගලික අභිරුචියක් තිබූ හෙයින් මෙන්ම මාධ්‍යවේදීන් සහ වෙනත් ක්‍රියාකාරිකයන් ඔවුන්ව පනත සම්බන්ධයෙන් දැනුවත් කර තිබූ හෙයින් ද වේ.

 

ක්‍රියාත්මක වී තිබෙන කාලය අනුව බලන විට ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ  කොමිෂන් සභාව තවම ළදරුවෙක් වන අතර ලබන වසර වන තෙක් තමන්ගේම අරමුදලක් එයට නොමැත. 

 

“මේ දක්වා අපි ක්‍රියාත්මක වී තිබෙන්නේ විශාල මානව සම්පත් සහ මූල්‍ය බාධක මැදයි. කොමිෂන් සභා කාර්යාලයේ සිටින්නේ කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනෙක් පමණයි. මහජන නිලධාරීන්ගේ පැත්තෙන් මෙන්ම මහජනයාගේ පැත්තෙන් ද පනත සම්බන්ධයෙන්, රෙගුලාසි අවබෝධ කර ගැනීම සම්බන්ධයෙන් විශාල උනන්දුවක් තිබෙන පවතින අතර ඔවුන් කොමිෂන් සභාව ඉදිරියට පැමිණෙනවා. තමන්ගේ අභියාචන සමගින් ඈත උතුරුකරයේ මෙන්ම ඈත දකුණුකරයේ මිනිසුන් ද කොමිෂන් සභාව ඉදිරියට එන ආකාරය අපි දකිනවා. එය ඉතාම ප්‍රශංසනීය දෙයක්.”

 

එක් ආදර්ශමත් උදාහරණයක් දක්වමින් ජේ්‍ෂ්ඨ නීතීඥ කිශාලි සඳහන් කරන්නේ, පදිකයන්ගේ ගමනට අවහිර වන සේ පැවති ඉදිකිරීමක් පසුකරගෙන මාතර සිට පැමිණි පුරවැසියෙකු පිළිබඳව ය. 2016 වසරේදී ඔහු මෙම බාධකයට ඉඩ දී තිබෙන්නේ මන්දැයි අසමින් මාර්ග සංවර්ධන අධිකාරියට ලිපි ලිව් නමුත් එම ලිපියට පිළිතුරු ලැබුණේ නැත. 2017 පෙබරවාරි අග භාගයේදී සිය ලිපියේ තත්වය කුමක්දැයි විමසමින් ඔහු විසින් තොරතුරු පනත යටතේ තොරතුරු ඉල්ලීමක් ගොනු කළ අතර එයට ප්‍රතිචාර වශයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය සතියක් ඇතුළත එම අනවසර බාධකය එම ස්ථානයෙන් ඉවත් කළේය. ඉන්පසු ඔහු තොරතුරු ඉල්ලීමක් යොමු කළේ, වසරක් තිස්සේ එම පියවර ගැනීමට ප්‍රමාද කළේ ඇයිදැයි විමසමිනි. එහිදී මාර්ග සංවර්ධන අධිකාරියේ කොළඹ සිටින නීති නිළධරයා සහ මාතර මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ පළාත් ඉංජිනේරුවා අතර මේ සම්බන්ධයෙන් සිදුවූ සන්නිවේදනයන් මොනවාද, ඒ සම්බන්ධයෙන් ඔවුන් කළේ මොනවාද සහ, එකී ඉදිකිරීම ඉවත් කළේ කුමන පදනම යටතේ ද යන්න ඔහු විමසා සිටියේය. සාමාන්‍යයෙන් මේ ආකාරයේ ඉදිකිරීමක් ඉවත් කිරීම සඳහා අධිකරණ නියෝගයක් උවමනා කෙරේ. මේ අනුව කොළඹ කාර්යාලය සහ මාතර ක්ෂේත්‍ර නියෝජිත කාර්යාලය අතර හුවමාරු වූ සන්නිවේදනයන්ගේ පිටපත් ද ඔහු ඉල්ලා සිටියේය. 

 

“මගේ මනසේ තිබෙන තොරතුරු නීතියෙන්, කුමන හෝ අන්දමකට සවිබලගැන්වුණු අය, සමාජයීය හෝ මූල්‍යමය හෝ දේශපාලනික වශයෙන් බලවත් ස්ථර වෙත ප්‍රවේශය තිබෙන අය, වෙනත් ක්‍රමවලින් තොරතුරු ලබාගත හැකි අය අදහස් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් කොළඹ මාධ්‍යවේදීන්ට ගැටළුවක් මතුවුණාම ඔබට ඔබේ මූලාශ්‍ර තිබෙනවා. ඔබ කාට හරි කතා කරනවා. නමුත් ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකුට මෙය පහසු නැහැ. මොකද කොළඹ ජිවත් වන මාධ්‍යවේදියෙකුට වගේ නෙවෙයි, පැහැදිලිවම ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු හට මේ බලය නැහැ. මේ හා සමානවම ඔබ කොළඹ වැඩ කරන නීතීඥයෙක් නම් ඔබට ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රවේශය තිබෙනවා. ඒ වගේම අභියාචනාධිකරණයේ ඔබට නඩු කතා කරන්න පුළුවන්. නමුත් ඔබ රටේ වෙනත් පළාතක නීතීඥවරයෙක් නම් එම ප්‍රවේශය එතරම් ලෙහෙසි නැහැ...“ යැයි තොරතුරු කොමසාරිස්වරිය කියා සිටින්නීය.

 

“ඉතාම ධනාත්මක යැයි අපි දකින දේ තමයි, කොමිෂන් සභාව ඉදිරියට පැමිණෙන අයදුම්පත් බොහොමයක් සැබවින්ම පැමිණෙන්නේ රටේ ඉතාම දුරබැහැර ප්‍රදේශවල ජීවත් වන අයගෙන් වීම. ඒ වගේම ඔවුන් තොරතුරු පනත කියවන අය. මේ අන්දමේ ප්‍රතිචාරයන් ඔවුන් දක්වන බව දකින විට එය අතිශයින්ම සතුටුදායක තත්ත්වයක්.”

 

මේ අනුව ඇය තොරතුරු පනත දකින්නේ සමාජ සාධාරණත්වය ගෙන එන, සමාජයේ සියල්ලන්ටම සම බිමක් නිර්මාණය කරන දෙයක් ලෙසට ය.

 

 

තොරතුරු අයිතියට අනවත නොවීමේ ගැටලුව

ජේ්‍ෂ්ඨ නීතීඥ සහ තොරතුරු කොමසාරිස් කිශාලි පින්ටෝ-ජයවර්ධන ට අනුව ලංකා තොරතුරු පනතේ තිබෙන එක් ගැටලුවක් වන්නේ ආණ්ඩුව තොරතුරු නොදී සිටීම තෝරාගතහොත් තොරතුරු සොයන්නා හට දෙපාර්තමේන්තුවෙන් දෙපාර්තමේන්තුවට ඇවිදින්නට සිදුවීමයි.

 

“ශ්‍රී ලංකා පනත, ඇමරිකානු පනතේ සිද්ධාන්තවලට වඩා බොහෝ ඔබ්බේ සිටින්නක්. ඇමරිකානු පනත කෙටුම්පත් කළේ සහ ක්‍රියාවට නැංවූයේ ඉතාම වෙනස් වාතාවරණයක් යටතේ වගේම ඒක ඉතාම පැරණි නීතියක්. කිසිම අන්දමකින්, තොරතුරු අයිතිවාසිකම පිළිබඳ නූතන සිද්ධාන්ත කිසිවක්ම එහි අන්තර්ගත වන්නේ නැහැ. නමුත් ශ්‍රී ලංකාවේ පනත මේ සියලුම සිද්ධාන්ත සැලකිල්ලට ගන්නවා. ඒ නිසා, යම්කිසි තොරතුරු නිලධරයෙක්, අයදුම්කරුවෙකු විසින් ඉල්ලා සිටින තොරතුරු ඔහුට ලබාදීම, හිතාමතාම සහ වංකභාවයෙන් යුතුව මගහරිනවා නම්, ඒ සඳහා නියම වන දඬුවම් සහ එහි විපාක දරුණුයි.

 

තොරතුරු අයිතිය අවදානමේද?

 

ඇය විසින් පැහැදිලි කර දෙන අන්දටම තොරතුරු අයිතිය පිළිබඳ නීති මගින් වගවීමට වඩා හොඳින් මාර්ගය සකසන අතර, එයින් වඩා යහපත් ආණ්ඩුකරණයක් වෙත මග පෑදේ. නමුත් තොරතුරු පනත සඳහා බල කළ පිරිස්, ජාතික ආරක්ෂාව වැනි වෙනත් බලපෑම් සහගත ක්ෂේත්‍රයන් හා තොරතුරු අයිතිය සම්බන්ධයෙන් කතා නොකිරීම කණගාටුවට කරුණකි. ජාතික ආරක්ෂාව පිළිබඳ නීති බලාත්මක වන විට තොරතුරු පනතේ ක්‍රියාකාරිත්වය එයින් පසුබෑමකට ලක්වේද? ජාතික ආරක්ෂාව වැනි ගැටළු ආමන්ත්‍රණය කිරීමට අසමත් වීම මගින් තොරතුරු අයිතිය පිළිබඳ පනත යම් අවදානමකට හෙළා තිබේ. ජාතික ආරක්ෂාව වැනි ක්ෂේත්‍රයන්ගේ බාධක සහ අභියෝග අවබෝධ කරගැනීම සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් නොමැති පුද්ගලයන්ට, ඉල්ලා සිටින තොරතුරු මහජන දැනුවත්භාවය හෝ මහජන ආරක්ෂාව යනාදී කුමන පැත්තකට වැටෙන්නේදැයි නිශ්චය කිරීමට ඉඩ දීම මගින් අසීරුවෙන් දිනාගත් මෙම තොරතුරු පනතේ ආයුකාලය කෙටි වීමට ඉඩ තිබේ.

 

ප්‍රතිඥා ඉටු කළ වත්මන් ආණ්ඩුවේ දේශපාලන කැමැත්ත හේතුවෙන් තොරතුරු පනත බිහිවූ බව වටහාගැනීම වැදගත් ය. නමුත් ජාතික ආරක්ෂාව වැනි ගැටලු, ආරක්ෂාවකින් තොරව සහ නිර්වචනයකින් තොරව ජාතික ආරක්ෂක පනතක් යටතේ පැවතීම නිසා තොරතුරු පනතේ අර්ථය ගිලිහී යාම අවදානම් සහගත වීමට පුළුවන. ජාතික ආරක්ෂාව සුරක්ෂා කිරීමේ අරමුණ සඳහා නොව, මහජනයාට තව තවත් අඩුවෙන් වගකීමේ අරමුණ සඳහා අනාගත පාලනයක් විසින් තොරතුරු පනතේ මෙම තත්වය නිදහසට කාරණයක් වශයෙන් දක්වන්නට ද ඉඩ තිබේ. 

 

තොරතුරු කොමසාරිස්, ජේෂ්ඨ නීතීඥ කිශාලි පින්ටෝ-ජයවර්ධන

 

- ශිවන්ති රණසිංහ (ද සන්ඩේ අයිලන්ඩ්)

 

පරිවර්තනය: නීතීඥ රදිකා ගුණරත්න

Read 94 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.