Saturday, 30 September 2017 00:48

ලොට් අංක දෙක  - තිස් දෙවැනි මුරය  

Written by 
Rate this item
(0 votes)

පාන්දර පිණි කැටිත්තක් තේ මලක් අග රැඳී රිදී පාටින් බබළයි.. කහ පැහැති රේණු වට රවුමක්ව සිටින්නේ සුදු පෙති මගින් ඒවා පිරිමදිනු ඇතැයි බලා හිඳින්නාක් මෙනි.. පාන්දර හීතලේ කාණු ගැට්ටේ වාඩි වුණ විජේපාලට කුඩා තේ මල සිහි කරන්නේම ඇගේ රුවයි.. සෙල්වි.. ඈ තේ මලක ඇති නැවුම් බව රැදි කෙල්ලකි.. ජන්මයෙන් උරුම වූ කාල වර්ණිත සිරුර මත ලේ රතට හුරු ඇගේ සාරිය වැටී ඇත්තේ සුළගට ගසාගෙන යන්නට තරම්ම සියුම් වය..කෝවිල් යන සෑම වතාවකම පාහේ ගැට පිච්ච මල් කීපයක් එක පොටට අමුනා හිස පැළඳීම අනෙක් දැරියන්ට වාගේම ඇයටද පුරුද්දක්ව තිබුනත් අනෙක් කෙල්ලන්ට නැති අපූරු පුරුද්දක් ඈ සතු විය.. ඉතා සිහින් වූ රිදී පොටක් පය පැළඳීමයි.. වත්තේ වැඩ නොමැති සෑම විටකම ඇගේ දිගු සාය කෙළවර රිදී පොට වැතිරී තිබුනේ දාංගලයට වාගේ බව විජේපාලට මතකය..ඈ කුඩා ගල් මත හදිස්සියට අඩි තබමින් දුවද්දී රිදී පොට හතිලමින් රැඟුම් පෑවේය... ඈ සමග හරි හරියට දිව්වේය.. විජේපාල දකින සෑම විටම විශ්මයෙන් ගල් ගැහෙන ඒ රවුම් දෑස ක්‍රමයෙන් සිහින් මන්දස්මින්තයක් බවට හැරෙනුයේ මේ තේ මල වාගේමය...විජේපාලගේ සිතුවිලි දැහැන ඈත රාස්සා කදු යායටත් එහා විහිදෙයි...

 

“විජේ... විජේ... කොහෙද බං.. වරෙංකො...”

“ඇයි අම්මා....”

“මේ මේ ගහට ගොඩ වෙලා බුලත් අහුරක් කඩා දීපන් කොල්ලො... අතකට හරියන්ට..”

“බුලත් අතවල් මක්කටැයි දැං..”

 

“ ඇයි බං අර බඩිං ඉන්න එකීට හෙට අනිද්දම රුදා හැදෙන්ට පුලුවං.. කලිංම ගිහින් කිරි නැන්දට කියන්ටෝනැ.. පවුලට එන්ඩ ඉන්න පලවෙනි මුණුපුරානෙව.. වින්නඹු අම්මෙක් ඉන්ටෝනැ..”

“හ්ම්….”

කොස් ගහේ ර් මේ අත විහිද තිබු බුලත් වැලෙන් පිරිපුන් කොල තෝරමින් කඩා සරම් ඔඩොක්කුව පුරවා ගන්නා විජේපාල දෙස බලන ඇසිලිනාගේ දෑස තීක්ෂණය.. ටිකකින් එය දුක්බර බැල්මක් බවට පත්වෙයි..

“උඹ හොඳටම ඇදිලා ගිහිං පුතේ.. කල්පනාවමයි දවස තිස්සෙම.. පිරිවෙනට ගියෙත් නැ දැං සතියක්ම…”

පිළිතුරක් දීමට හිත් නැතුවම විජේපාල කොස් අත්තක් දිග අඩිය මාරු කරයි.. ජවයෙන් පිරි තරුණ සිරුර විඩාබර බවකින් පෙලෙන්නේ සිත ගිලන්වීම නිසාමය…

 

“ඔහොම තමයි බං.. දැං බලපන් මං උඹේ අප්පොච්චාත් එක්ක එන්න හීනෙකින්වත් හිතුවද.. නෑ.. පිටගංකාරයා කිව්වා.. ඒ උනාට ආවෙ.. ඔය ඇවිත් ඉන්නෙ.. දෙයියො යංකිසි මනුස්සයෙකුට මවා ඇත්තං ඒ දැරිවි මොන සක්කරයා කිව්වත් ඒ මනුස්සයාට හංබෙනවා.. නැත්තං නෑම තමයි.. කොහෙ හරි ඉදං අන්තිමට හරියනම එකා හංබෙනකල් ඔයාකාර හබ ඔලට ඕනම මිනිහෙක් ගෑණියක් පැටලෙනවා… . අනික බං ඒකි පිට ජාතියක.. බුදු හාංදුරුවංවත් අදුරන්නැ… හ්ම්ම්..ඇති වෙයි බං දැං ඔය..”

 

…….“අප්පච්චි ඕං මං මඤ්ඤොක්කා දඬු ටිකක් උස්සං ආවා... අර පල්ලං පැත්තෙ රිසිවේසම කිට්ටු වෙන්ඩ යට කොලානං හොදයි කියා හිතෙනවා...”

 

 “ එතන .. උඹට වෙන තැනක් ඇත්තෙම නැද්දම.. ඒක ඌරු මංකඩ.. ඉව වැටිච්ච ගමං ඔය වැට දෙබෑ කොරයි රංචුව.... මේ මේ බූවැල්ල ඇති පැත්තෙං ඇණපං පොලොවට ඔය ටික.. ”

බලක්කාවේ අයිවන් අලුතෙන් කොටගත් හේන විවිධ එලවලු බෝගයන්ගෙන් පුරවන්නට මානිස්ගේ උපදෙස් නැතුවම බැරි කාරණාවකි.. කැටකාලා ගහක බෙදුනු අතු අල්ලා කුඩා පැල් කොටයක් තැනුවේ අයිවන් විසින්මය.. තැනින් තැන පාත්ති දමමින් මෑ, කැකිරි, කොළ ගෝවා, තම්පලා, මිරිස් ආදී විවිධ බෝගයන් එක් පසෙක වගාකර ඇත.. ඉඩමෙන් අඩක්ම ඉඟුරු හා අමු  කහ ය.. ඉඟුරු මොටයියන් එකා දෙන්නා නිරුවත් පොලොව තුලින් කළ එළි බසින්නට පටන් ගෙන දැන් දින කිහිපයකි..ඉඟුරු පාත්ති අතර සීරුවට අඩි තබන මානිස් සිහින් උල් වූ ලා කහ පැහැ ළදල්ලක් අත ගාමින් ළදරු සිනාවක් පෑවේ සෙනෙහසිනි...

කුඩා ඉඩමේ පුංචි පැල එකා දෙන්නා ඔලුව උස්සන්නෙ තම මුණුපුරා ඉපදෙනු බලන්නට නොතිත් ආශාවෙන් විය යුතුය.. උරිහ මත අයිවන්ද පුන්නාගෙන හැන්දෑවේ හෙන්දිරික්කා මල් වලට ගී ගැයූ තරුණ වියට යළිත් යාමට හා හා පුරාම එන මුණුපුරා හේතුවනු ඇත.. කිරි සුවඳ තම නිවසින් මැකී ගොස් දැන් අවුරුදු කිහිපයකි.. ඉදින් පුතු නිවස කිරි මුවඳින් පිරී යනු බලන්නට මානිස්ගෙ රළු පපුව යට ඇති හදවත නොයිවසිලිවන්තය...

 

“අප්පච්චි.. කහට බීලා හිටියනං..”

 

කැටකාලා ගහ පාමුල නොතෙමෙන්නට තනා ගත් ලිග්ගල් තුන මත මැටි මුට්ටිය දුං දමයි.. නටන වතුරත් සමග එහි දැමූ තේ කොල අහුරද එක සීරුවට උඩ පනින්නේ සතුටිනි.. අත රැඳි ලයිසන් තුවක්කුව හසට හේත්තු කල මානිස් පං මල්ලෙන් එළියට ගත් විස්කිරිඤ්ඤාවක් “ කරස්” ගා සපන්නට විය..

 

“අපි මෙහෙං කොටාන කොටාන උඩහට යද්දි අනික් පැත්තෙං රහල පැත්තෙං කොටාන එනවා අප්පච්චි.. ඊයේ මං වීහලුවෙ ගලට ගියාම දැක්කෙ.. සැලව පැත්තෙං මෙහෙට කැලේ කොටාන එනවා...”

 

“හ්ම්ම්... හතරකෝරළේ එවුං... බලාපං ඔවුන්... හොද ගුණයහපත් මිනිස්සු බං..”

 

-තිස් තුන්වැනි මුරයෙන් හමුවෙමු-

 

ඉරේෂා මධුවන්ති

Read 234 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.