Wednesday, 13 September 2017 00:55

ලොට් අංක දෙක - තිස් එක්වැනි මුරය

Written by 
Rate this item
(0 votes)

 

ක්‍රමයෙන් විසල් වෙමින් ඉදිරියට එන ඥාණාගෙ කුස තුළ වැඩෙන අලුත් ජීවය වෙනුවෙන් අයිවන් අලුතෙන් ඉඩමක් කෙටීමට ආරම්භ කලේ කබලක්කාවේය.. මානිස් සමගින් ගොස් ආණ්ඩුවේ රිසිවේසං ඉඩමෙන් සුදුසු කොටසක් මායිම් කරගත් අයිවන් එහි වූ විශාල ගස් බිම හෙලමින් වනය එළිපෙහෙළි කලේ දහසක් බලාපොරොත්තු මැදය.. සුදු මහත්තයා ඉන්දවූ කොකෝ ගස් තවමත් තැනින් තැන දකින්නට තිබුනත්  එහි වගාවක් නම් තිබුනේ නැත... කාලයකට පෙරාතුව සුදු මහත්තුරු විසින් මේ කැලය එලි කර කොකෝ වගා කල බව මානිස් කියා ඇත.. පසුව වගාව විනාස වූයේ ඇයි දැයි මානිස්ට නිච්චියක් තිබුනේ නැත. බොස්වෝර්ඩ් වත්තේ තේ වගාව කබලක්කාව ආසන්නයටම පැතිරුණත් ඒවාද කට්ටි කර සිංහලයන්ට විකුණා දමා සුදු මහත්තයා නැවතත් එංගලන්තයට ගියේ මෑතකදීය... දෙමළ නඩයද ඉංදියාවටත් වීරාව වත්තටත් බෙදී වෙන්වුන නිසා නිම්නය පුරාම පාළුවක් අරක්ගෙන ඇතැයි අයිවන්ට සිතෙයි... 

 

මුලින්ම අයිවන් තම මිතුරු ජයපාලද සමගින් විශාලව තිබූ වල්දෙල්, ඇටඹ, ගම්මාලු ආදි මහ වෘක්ෂයන් බිම හෙලා කට්ටි කලේ දැව ලබාගැනීමට සිතමින්ය... විශාල කොටන් කොණකට ඇද දමා ජයපාලට ඉරුං පට්ටලයක් ගසා ගැනීමටද ඉඩකඩ හදා දුන්නෙන් ඉන් පසු අයිවන් ඉඩම එලි කරද්දි ජයපාලගේත් ගෝලයාගෙත් ඉරුම් කියත් හඬ ඔහුගේ තනි නොතනියට සිටියේය.. අනතුරුව කුඩා ගස් කපා ගොඩ කර ගිනි තියා වත්ත මුළුමනින්ම නිරුවත් කරන්නට අයිවන්ට හැකි විය.. මානිස් පමණක් නොව මෙකී වෑයමට පවුලේම සහයෝගය ලැබුණි... බඩත් උස්සාගෙන පල්ලංකරේ බඩගාන්නට නොහැකි වූවත් ඥාණා සෑම සවසකම අයිවන්ගේ නහර ඉලිප්පුන සිරුර පුරා තෙල් ආලේප කරමින් සාත්තු සප්පායම් කලාය...

 ........ 

පූර්ණ චන්ද්‍රයා අහස මැද්දෑවෙම එල්ලී තමාට ඔච්චම් කරන්නේ යැයි විජේපාලට සිතුනෙන් ඔහු ගලා යන සීතල දිය පිරි කුඩා උල්පත දෙස බැලුවේය.. සෙල්විගේ නලළ් තලය මැද රතු පැහැයෙන් දිලුන මොට්ටුවත් සඳත් අතර නෑකමක් ඇතුවාක් මෙනි.. කුඩා ඉගටියට ඔසවාගත නුහුනු තරම් බර වූ තේ කූඩයත් එල්ලාගෙන පාන්දරට ලැයිං පේලියෙන් පල්ලම් බහින සෙල්විගේ ලොවි ගෙඩි සේ රත් පැහැ ගත් දෙතොලත් කාල වර්ණිත නාරි දේහ රටාවත් තම නෙත් වශීකෘත කරගත්තේ කෙසේදැයි විජේපාල තවමත් කල්පනා කලේය.. සත පහක් තරමේ වූ විශාල මල් කරාඹු යුගලයෙන්ද රන් මාලයකින් හා අත පුරා සිරි සිරිය නැංවූ වළලු පේලියකින් සැරසී කෝවිල වෙත යන අවස්ථා දෙක තුනකදීම සෙල්විගේ රවුම් කළු දෙනෙත් තමන් ලුහුබැන්දේ කියාගත නුහුනු  හැඟීමක් හිත තෙරපාගෙනය. 

 

“මොකෑ බං කරුවලේ මාළු බානවද උඹ... මං ගෙදෙට්ටත් ගියා බලන්ට...”

 

“ ආ... සිරිල්.. වරෙං වරෙං..”

 

 “මොකද බං උඹ නිකං ගෑණි මැරිච්ච මිනිහවගේ .. නැන්දම්මත් කීවෙ කන්නෙ බොන්නෙත් නෑ යකෙක්වත් වැහිලද දන්නැ කියලා.... හහ් හහ් ...”

 

 විජේපාලගේ කුළුපගුම මිත්‍රයා වන්නේ සිරිල්ය.. පිරිවෙනේ එකම පන්තියේ උගත් දෙදෙනා නිවාඩුවට ගම ආ විටද නිතර නිතර මුණ ගැසීමේ පුරුද්දක් දෙදෙනාටම තිබුණි..

 

 “මොකද බං විජේ.. උඹ තාමත් අර කෙල්ල ගැන හිතනවද...”

 

 “හ්ම්ම්ම්....”

“උඹටත් කිව්වට අහන්නැනෙ... කවදාවත් මානිස් මාමා උඹට දෙමල කෙල්ලක් ගේන්ට දෙන්නැ බං.. ඒකි ලස්සනයි.. හැඩයි.. හැබැයි දෙමළ.... ”

 

 “අපෙ ගෙදරින් කැමති උනත් වැඩක් නෑ බං..  සෙල්විට කසාදෙ තීංදු  වෙලාය කියන්නෙ.. හැටන් පැත්තෙ ලැයිමකිංලු...”

“උඹ කොහොමද දන්නෙ...?”

 

“රාජා කීවා....”

නිහඬතාවය රජයන්නට වූයෙන් රැහැයියන්ගේ නාදය තීව්‍ර වී ඇසෙන්නට විය.. එකම සත්ත්වක් වර්ගයා එකම රතු ලෙයින් සැදුන සත්ත්ව වර්ගයක් මනුෂ්‍යත්වය බෙදමින් විවිධාකාර ලෙසින් වෙන්ව සිටීමේ වේදනාව විජේපාල තුළ ඉමහත් පීඩනයක් ගෙන දෙමින් සිටියි.. තාරුණ්‍ය යේ හිතුවක්කාරකමට පෙම් කලා නොව, වසර මාස ගනනක් තිස්සේ ඒ දෑස් පෙමින් වෙළුනාට කිසිදාක හමුවි කතාබහ නොකල ප්‍රේමයක් විජේපාල සතු විය.. පාන්දර පිනි අතරින්ද සැන්දෑවේ කෝවිල් ධූමයන් අතරින්ද ඒ දෑස් නිරන්තරවම එකිනෙකා හා කතාබහ කර තිබුණි.. තම ඇසේ ගැටුනු හැටියෙන් ගැස්සී බිම වැටෙන දිදුලනා බැල්මක්ද හෙමි හෙමින් හිස ඔසවනා සිනාසෙන බැල්මක්ද ඇ නෙත් තුළ සැගව තිබී විජේපාල ඇහිදගෙන තිබුණි.. වචනයෙන් නොකීවද තම හදවත් එකිනෙකා සමගින් පෙමකට මුලපුරා ඇති වග දෙදෙනාම සිතූහ.. ඒ ප්‍රේමය වෙනුවෙන් නිහඬ අහස දෙස බලනු හැර වෙන විකල්පයක් විජේපාල සතුවද නොතිබුණි...

 

-තිස්දෙවැනි මුරයෙන් හමුවෙමු-

 

Read 201 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.