Tuesday, 29 August 2017 17:52

ලොට් අංක දෙක - තිස්වැනි මුරය 

Written by 
Rate this item
(0 votes)

සිහින් මද සුළඟට මුහුණ පෑ පොල් අත්ත තාලානුකූලව ඒ මේ අත වැනෙයි.. වියළි පොල් අත්තක් ගස පාමුල හබරල ගොල්ලේ වැටී තම දිගු ඉරටු ඇසිලිනාට පෙනෙන්නටදෝ අහසට දිගුකර සිටින්නේ වට්ටියක්ව ඇසිලිනා අත වියෙන්නට කැමැත්තක් ඇතුවාක් මෙනි. අයාලේ ගිය ඇටිකුබ්බෙක් කෝපි පඳුරු අතර තම  රතු ඇස් කරකවමින් සැඟව සිටිනා ගොළුබෙල්ලන් සොයන්නේ කලබලකාරී බවකින් තොරවමය.. 

 

කාලය කොතෙක් ගත වූවාදැයි මානිස්ට නිනව්වක් නැත. ලලිතාගේ සොහොන අද්දරට වී රාස්සිගේ අවු කැරැල්ල ක්‍රමයෙන් මැකී යන තුරුම කල්පනා ගොන්න අතර තනිවීම ඔහුගේ අනිවාර්ය රාජකාරියක් වී ඇත්තේ හිරේ සිට ආ දා පටන්ම ය.. වෙනදාට නම් මෙහි ඉන්නා විට බොස්වොර්ඩ් වත්තේ හයේ සංගුවේ හඬ සුළඟ හා මුසු වී එයි.. තම පිටේ එල්ලාගත් දළු කූඩා කාණු ගැට්ටේ තියා ගෝණි වලට දළු පුරවන දෙමළ ගැහැනුන් පෝලිමක් සෑදී ලැයිං පේලිය වෙත ඇදෙන ආකාරය හොදින් මෙතැනට දර්ශනය වේ.. ටික මොහොතක් යන විට ලැයිං පේලියේ දිගු වහල වසා ගනිමින් දුම් අහුරු අහසට විසි වන අතර මදක් කළුවර වැටෙන සැනෙකින් රා මතින් ගෑණුන්ට ගෝරණාඩු කරන පිරිමින්ගේ හඬද යාන්තමට මානිස්ට ඇසේ...

 නමුදු ඒ සුපුරුදු හඬ ටික දොහක සිට ඇසෙන්නේ නැත.. ලැයිං කාමර පේලිය පාලුවට ගොස් බල්ලෙකුගේවත් හඬක් නොනැගෙන තරමටම නිහඬ වී ඇත.. ඉස්ටෝරුවද නවතා දමා ඇති අතර මුරයක් දෙකක් පමා වී ඇති තේ ගස්වල දළු අහස අතගාන්නටම දිගුව ඇත.. ඒ අඳුරු දිනය පසුවී ගත වී ඇත්තේ ටික දිනකි. වත්තේ සිටි දෙමළුන්ගෙන් බාගයකටත් වඩා වැඩි පිරිසක් නැවතත් ඔවුන්ගේ රට වූ ඉන්දියාවට යවා ඇත. උපන්දා පටන් තම සේසතව පැවති සාරි කඩමාලු කිහිපයත්, අත කන පුරවාන සිටි රත්තරං මාල අරුංගල් ටිකත් පොදි බැඳගෙන පොලිමක් සැදී ගම්පොල දක්වාම පයින් ගිය දෙමළුන් එතැනින් දුම්රියෙන් යාපනය දක්වා ගොස් ඉන්දියාවට යැවූ බව මානිස්ට ආරංචි වී තිබුණි..

 

 බොස්වෝර්ඩ් වත්තේ උන් වයසකම ගැහැණිය සෙල්ලම්මාය. ඇයි එංගලන්තේ මහ රජ්ජුරුවන්නෙ ආණ්ඩු කාලෙ ලංකාවට ගෙනා දෙමළ නඩයක උන් දැරියකි.. මැලේරියා වසංගතයට අසු වී ඇගේ මව අතරමගදී මියගොස් සිටි අතර බොස්වොර්ඩ් වත්තට එන්නට කලින් සෙල්ලම්මා වීරාවෙ වත්තේද සේවය කර ඇත. දත් බොල්ලෑව පෙන්වමින් බුලත් විට කා රතු වූ හිනාවකින් ලැයිං පේලිය අසලින් යන කාටත් සිනහවකින් සංග්‍රහ කල නාකි සෙල්ලම්මා තම උපන් රටට යාමට දිනකට පෙර අවසන් ගමන් ගියේ මේ නන්නාදුනනා රටේ තේ පඳුරු අතරමය.. මහල්ලන් නැවත ඉන්දියාවට රැගෙන යන්නේ නැති බව පිළිගන්නට අකමැති වූ ඇය තරුණයින්ට බැන වදිමින් තමන්ට ආපු පාරෙම තනිව පයින් යාමට හොදට හයි හත්තිය ඇති බවත් තමන් මැහැලියක නොවන බවත් කියමින් ලැයිං පේලිය වටා ඇවිදිමින් දවසක්ම කෑ ගැසුවාය.. රාත්‍රිය එළි වන තුරාත් දොඩවමින් උන්නේ නැවත ගිය පසු තම ඉපැරණි නෑදෑයන් හමුවන ආකාරයයි . ඈ මෙහි එන විට කුඩා කොල්ලෙකුව සිටි සෙල්වරාජා තවමත් ජීවත් වන බවට ඇත්තේ ඈ තුළ තිබුණේ ඉමහත් විස්වාසයකි... කෙසේ වුව පසුදා උදෑසන අවදි වී  ඇගේ දුව තම මව අවදි කරන්නට යන විට ඈ දුටුවේ දරදඬුව ගිය මවගේ මෘත ශරීරයයි..

 

 ලැයිං පේලියට මීටර් සීයක් පමණ දුරට වන්නට තැනූ අලුත් පස් ගොඩැල්ල වටා ඇද ඇති ගොක් රැහැන් කියාපාන්නේ නන්නාදුනනා රටක තම ශ්‍රමය වගුරුවමින් සිට කුසට හරි හැටි අහරක් පවා නොලැබ මිය ගිය අවාසනාවන්ත ස්ත්‍රියකගේ කකියනා හද ගැස්ම යැයි මානිස්ට සිතේයි.. පාන්දර හයේ කණිසමේ පටන් සවස හය දක්වාම තේ පඳුරු සමග ඔට්ටුවෙමින් සිට රාත්‍රිය එළඹෙනවාත් සමග තනි කාමරයේ තම පවුල තුලට ගාල් වී බීමත් පිරිමියාගේ අනේකවිධ අඩත්තේට්ටම්ද කරදඬු මහත් වූ පුතුන්ගේ ආඩපාලිද ඉවසමින් කුඩා වුන් රොත්තගේ කණ් කෙඳිරිගෑම් නවතා දැමීමට ගිනි අඟුරක රොටී සමග පිච්චමින් තම ජීවිතයම දියකළ ගැහැණියගේ කෑ ගසනා හෘද සාක්ෂිය ඒ පස් ගොඩැල්ල තුල සැඟව ඇත්තේය.. රා ගඳින් උතුරා ගිය සැමියාගේද දිදුලනා දෑසින් තරවටු කරන කංකාණමගේද ලිංගික සංතර්පණය උදෙසාම තම සිරුර  කැප කල ගැහැණියකගේ විලාපය ඒ ගොක් රෑන් හරහා තම සවනත ගැටෙනු මානිස්ට දැනුනි.. 

.........

 පාන්දර කුරුළු කිචිබිචිය පරයා ඇසිලිනාට ඇසුනේ ඔක්කාර හඬකි. තම නිවසට මදක් ඔබ්බෙන් අලුත සැදූ නිවස පිළිකන්නෙන් ඇසුනු ඔක්කාර හඬ ඇසී දිවගිය ඇසිලිනාගේ දෑස් නතර වූයේ උක්කුටියෙන් හිදගෙන සිටින ඥාණා අසලයි.. දිව ගිය ඇසිලිනා ඥාණාගේ පිට අතගා ඇගේ මුහුණට එබී බැලුවා ය.. 

 

 “ දෙයියන්නෙ පිහිටයි මයෙ අම්මට... පරිස්සං වෙයං ඉතිං දැං..”

ඥාණාගේ විළිබර මුහුණට එබුනු ඇසිලිනා ඇගේ ඉස්මුදුන සිප ගත්තාය.. තුන් මාසයකට පෙර දිනක රාත්‍රියේ අයිවන් සමගින් ඥාණා සහේට ආවේ තම දෙමව්පියන්ට විරුද්ධවය.. ඒ විරුද්ධත්වය තිබුනේ ඥාණා කරාව දියණියක් වීම නිසාය.. අයිවන් දුටු දුටු තැන්වල හකුරා යැයි ගරහමින් බැන වදින්නට ඥාණාගේ දෙමව්පියන් අදටත් පැකිලෙන්නේ නැත.. කෙසේ වුව ළාබාල වියේ පටන්ම එක්ව හැදී වැඩුන ඥාණාත් අයිවනුත් වෙන් කිරීමට කුලයට හැකි වූයේ නම් නැත..

 “ කෝ අපේ එකා...”

 “නිදි අම්මා තාම... ”

 “ ඈ බොල.. දැං ඉතිං පස්සට අව්ව වැටෙනකං ගොර ඇදල හරියන්නැ..දැං තාත්තෙක් බොල.. කෝ මේකා..”

 සිනහවක් රැඳුනු මුවින් බැන වදිමින්ම ගෙට ගොඩ වූ ඇසිලිනා අයිවන් අවදි කලේ උතුරා යන සතුටිනි.. මෙතෙක් කල් දුටුවේ තම දූ පුතුන් පමණි.. කෙසේ වුව වසර කිහිපයකට මත්තෙන් බඩපිස්සා වැදුවායින් පසු ඇසිලිනාගේ අත් මහත් පාලුවක් අරක්ගෙන ඇත්තාක් මෙන් ඇයට දැනී තිබුනි.. ඉදින් ඒ පාලුව මකන්නට මුණුපුරෙකුගේ ආගමනය දැනෙන විට ඇසිලිනා තුල ඇතිවන සතුට කොයිතරම්දැයි ඇයටද නිච්චියක් නැත.. දැන් ආයෙමත් නිවස පුරා දුව පැන ඇවිදින්නට, කුරුල්ලන්ට කතා කරන්නට අලුත් අමුත්තෙක් එනවා නිසැකය.. පාලු වූ ඔඩොක්කුව තෙමන්නට.. කෑ ගසා හඬන්නට පුංචෙක් එනවා නිසැකය.. ඇසිලිනා උන්නේ දරාගත නොහැකි ප්‍රීතියකින් ඉපිලෙමිනි...

 “නැගිටපන් නැගිටපන් කොල්ලො... දැං ඔහොම ඉඳලා බෑ.. හා හා.. හැංදෑවේ ගිහින් බෝධිය වටේ සුද්ද කරලා  දාපන්..  බොධි පූජාවක් කරන්ඩෝන.. දැං බුදියලා හරියන්නැ. කෙල්ලට කටට රහට කන්ඩ බොන්ඩ දෙන්ඩ ඕන..”

 අයිවන් කිසිත් අදහාගත නොහැකිවාක් මෙන් අම්මා දෙසත් සිනා මුවින් සිටි

ඥානා දෙසත් බැලුවේය...

"මේ බලාපල්ලකො මුගෙ මූණ.. දහයට ගනින්ට බෑ වගේ..."

 

- තිස් එක්වැනි මුරයන් හමුවෙමු-

ඉරේෂා මධුවන්ති-

 

Read 187 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.