Sunday, 27 August 2017 00:35

දේදුනු විප්ලවයේ තරම .. - බිගුන් මේනක ගමගේ 

Written by 
Rate this item
(0 votes)

යහපාලන ආණ්ඩුවේ දෙවර්ෂපූර්ණය සමඟ එහි දේශපාලන යථාර්ථය සම්බන්ධයෙන් සමාජ කතිකාවක් සිදුවෙමින් තිබේ. දේශපාලන වෙනසක් වෙනුවෙන් දුන් පොරොන්දු හා ආණ්ඩු බලය මගින් කළ කී දෑ එහිදී මූලික වශයෙන් කතා බහට ලක්වේ. රාජපක්ෂ පාලනයට එරෙහිව සකල බලවේග ඒකරාශි වූ වේදිකාව වෙනුවට නව දේශපාලන සන්ධාන බිහිව ඇත. මේ වටපිටාව තුළ නව සමාජ ව්‍යාපාරයක අවශ්‍යතාව හා මෙතෙක් හඬ නැගූ බලවේගවල දේශපාලන චර්යා රටා ගැන සාවධාන වීම වැදගත් යැයි සිතමි.

 

සත්‍ය වශයෙන්ම 2015 ජනවාරියේ සිදුවූ දේශපාලනික වෙනස සමාජ ව්‍යාපාරයක් වන්නේ එහි අරමුණු සහ සිවිල් සමාජයේ සහභාගීත්වය යන කරුණු නිසාය. සහභාගීත්වය ගත්කල විවිධ තරාතිරම්වල බුද්ධිමතුන්, සංවිධාන, වෘත්තීය සමිති හා විවිධ බහුජන සංවිධාන හා ජනමාධ්‍ය ඔස්සේ ගොඩනැඟුණ සිවිල් සමාජයේ පුළුල් සහභාගීත්වයක් ඒ තුළ දක්නට විය. විවිධ සමාජ ස්ථරවල පුළුල් සහභාගීත්වයක් මෙම ව්‍යාපාරයට පැවති නිසාම ඇතැමෙක් එය දේදුනු විප්ලවය වශයෙන් ද හැඳින්වූහ.

 

විශේෂයෙන්ම මෙම ව්‍යාපාරයට නායකත්වය දුන් මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ වැනි නායකයන් කෙරෙහි සමාජයේ පැවති විශ්වාසය මෙම ව්‍යාපාරයට පුළුල් සමාජ ආකාර්ෂණයක් ඇතිවීමට හේතුවිය. මේ ආකාරයට ගොඩනැඟුණ මෙම සමාජ ව්‍යාපාරයේ ප‍්‍රමුඛ අරමුණු වූයේ අල්ලස හා දුෂණය මුලිනුපුටා දැමීම, නීතියේ ආධිපත්‍ය ප‍්‍රතිස්ඨාපනය, පවුල් දේශපාලන බලකාමය පිටුදැකීම, මෙරට සමාජ දේහයට විනයක්ව පවතින මනාප පොරය මුල්කරගත් මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම, සමාජය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත්කිරීම හා ඒ සඳහාවන ආයතනික ව්‍යුහය ශක්තිමත්කිරීම වැනි කරුණුය. මේවා  ඕනෑම ශිෂ්ටසම්පන්න සමාජයකට අවශ්‍ය සමාජ හා ආයතනික යටිතල ව්‍යුහයයි. පු`ඵල් අර්ථයෙන් ගත්කල මෙම අරමුණු යනු සමාජ සංවර්ධනයේ මූලිකාංගය නැතහොත් සාධාරණ සමාජයක අවශ්‍යතාය.

 

අනෙක් අතට මෙම සමාජ ව්‍යාපාරය තුළ වැදගත් වූ එහෙත් අප දැනට අමතකකර ඇති කරුණක් සිහිකිරීම වටී. එනම් එම ව්‍යාපාරය සඳහා ලැබුණ තාරුණ්‍යයේ ආකර්ෂණය හා සක‍්‍රිය මැදිහත්වීමයි. තරුණ්‍යය තුළ පැවති මෙම උද්‍යෝගය ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ලෝලීන්ගේ හුදු විනෝද ක‍්‍රියාවක් වශයෙන් තෙරුම් නොගතයුතුය. එමගින් පිළිබිඹු වූයේ වර්ධනය වෙමින් පැවති අසංස්කෘතික දේශපාලනයට සහ ආණ්ඩුකරණයට ප‍්‍රගතිශීලී තාරුණ්‍ය කෙසේ ප‍්‍රතිචාර දක්වන්නේ ද යන්නයි. මෙය නිවැරැදිව තේරුම්ගෙන සමාජ ව්‍යාපාරය අපේක්‍ෂාකළ අත්‍යවශ්‍ය ප‍්‍රතිසංස්කරණ සිදුකළ නොහැකි වූවොත් ප‍්‍රගතිශීලී තාරුණ්‍යයේ අනාගත නැඟිටීම වැළැක්විය හැකිද?

 

ජනවාරි විප්ලවයට   උර දුන්නවුන්ගේ පශ්චාත්තාපයට ප‍්‍රධාන කරුණක් දෙකක් හේතුවී ඇත. ඉන් පළමු වැන්න වන්නේ පැවති පාලනයේ හොරු ඇල්ලීම හා දඬුවම් කිරීම දේශපාලන කවටකමක් වීමය. දෙවැන්න වන්නේ වත්මන් ආණ්ඩුකරණය තුළ ද වර්ධනය වෙමින් පවත්නා දුෂණ හා අක‍්‍රමිකතා නැවැත්වීම සඳහා ආණ්ඩුව ප‍්‍රමාණවත් උත්සාහයක් නොගැනීමයි. අපක්‍ෂපාතීව බලනවිට පෙනී යන්නේ සිවිල් සමාජයේ කනස්සල්ල සාධාරණ බවය. ඊට හේතුව 2015 ජනාධිපතිවරණයේ ආකර්ෂණීය මැතිවරණ සටන්පාඨය වූයේ පැවති පාලනයේ දුෂණ හෙළිකර දුෂිතයන් පලවාහැරීම සහ දුෂණ සංස්කෘතිය මුලිනුපුටා දැමීමය. මෙහි අර්ථය ‘පාලනයේ සිටි පිරිස පමණක් දුෂිතයන්ය ඒ නිසා ඔවුන් එලවා දැමිය යුතුය’ යන්න නොවේ. දිගින් දිගටම වර්ධනය වූ දුෂණ හා අක‍්‍රමිකතා සංස්කෘතිය සමාජ දේහය පුරා ඔඩු දිවගිය ප‍්‍රශ්නයක් වන නිසාත් එය පැවති පාලනය යටතේ අසංවරව වර්ධනය වූ පිළිලයක් වූ නිසාත් එයට විරුද්ධව පුළුල්ව ගොඩනැඟුණ පළමු සමාජ ව්‍යාපාරය සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයවීම නිසාත් ප‍්‍රගතිශීලී බලවේග ඒ වටා ඒකරාශි විය. මා විශ්වාසකරන ආකාරයට දේශපාලන පක්‍ෂයක් පමණක් තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය තුළ එවැනි පොරොන්දු අන්තර්ගත කළේ නම් මෙවැනි දුෂණ විරෝධී පුළුල් සමාජ කතිකාවක් නිර්මාණය වන්නේ නැත. ඊට හේතුව මෙවැනි පොරොන්දු ලාංකීය ඡුන්දදායකයන්ට අලූත් දේවල් නොවන නිසාය.

 

සැබැවින්ම පුරවැසියා විශ්වාසය තැබූයේ සිවිල් සමාජ එකමුතුවෙන් ගොඩනැගුණ සමාජ ව්‍යාපාරය කෙරෙහිය. එහෙත් මැතිවරණ ජයග‍්‍රහණ යෙන් පසු ගතවූ කාලය තුළ පැවති දුෂණ අක‍්‍රමිකතා සෙවීම හා දුෂිතයන්ට දඬුවම් දීම පිළිබඳ ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති හා මැදිහත්වීම ඇල්මැරුණ නැතහොත් දියාරු වූවකි. ආණ්ඩුවේ මෙම ඇල්මැරුණ ප‍්‍රතිපත්තිය ජනාධිපතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩු පාර්ශවයේ සිටින මැති ඇමැතිවරුම විවෘතව විවේචනය කරති. සාමාන්‍ය ඡුන්දදායකයන්ට අනුව බලන්නේ නම් මෙවැනි විවේචන උඩ බලාගෙන කෙළ ගසා ගැනීමක් හා සමානය.

 

නැතහොත් ආණ්ඩුව විසින්ම තම ගෙල සිඳගනු ලැබීමකි. එහෙත් දේශපාලනඥයන්ගෙන් මෙවැනි හැසිරීම් විනා වෙන අපේක්‍ෂාකළ හැක්කක් වේදැයි මහජනයා සිතීම සාධාරණය. මක්නිසාද යත් ඔවුන් දේශපාලනඥයන් වන නිසාය. එහෙත් ප‍්‍රශ්නය වන්නේ දුෂණ අක‍්‍රමිකතාවලට විරුද්ධව ගොඩනැගුණ සමාජ ව්‍යාපාරයටකට මෙවැනි ආටක නාටක හමුවේ නිහඬ හෝ නිද්‍රාශීලි රංගනයක යෙදිය හැකිද යන්නයි.

 

ශ‍්‍රී ලංකාව සිංගප්පූරුවක් කිරීම පිළිබඳ සටන් පාඨය ද 2015 මෙරට දේශපාලනයේ ජනප‍්‍රිය කතිකාවක් බව කවුරුත් දන්නා කරුණකි. මාගේ විග‍්‍රහයට අනුව නම් එය හුදු දේශපාලනික ප‍්‍රලාපයකි. සිංගප්පූරු සංවර්ධනයේ ප‍්‍රධාන සාධකය වංචා දුෂණ මුලිනුපුටා දැමීම බව කිසිවෙක් කථා කොකරති. 1959 ස්වරාජ්‍යත්වයට පත්වූ දවසේ සිටම සිංගප්පූරුවෙන් වංචා දුෂණ මුලිනුපුටා දැමීම සඳහා වූ සිංගප්පූරු නායකයන්ගේ රැඩිකල් මැදිහත්වීම කිසිවෙක් කතා නොකරති. ඒ වෙනුවට ඔවුන් කථා කරන්නේ වගුරුබිමක්ව පැවති සිංගප්පූරුව ජාත්‍යන්තර වෙළඳ නගර හා වරායන්ගෙන් සැදුම්ලත් භූමියක් බවට පත්වීම පිළිබඳ පමණි. එය එසේ වූයේ සිංගප්පූරුවෙන් වංචා දුෂණ මුලිනුපුටා දැමීම සඳහා වූ නායකයන්ගේ කැපවීම නිසා බව මතක තබාගත යුතුය. මෙහි දී සිංගප්පූරුවේ හිටපු අග‍්‍රාමාත්‍ය හා දුෂණ මැඬලීමේ ව්‍යාපාරයේ දේශපාලන ආදර්ශය දුන් ලී ක්වාන් යෙව් ප‍්‍රකාශකළේ රජයේ මැති ඇමැතිවරුන් හා ඉහළ නිලධාරීන් දුෂණයෙන් තොරවන තාක් සිංගප්පූරුවට පැවැත්මක් නොමැති බවයි. එහි දී ඔහු දුෂණවලට සම්බන්ධ තම පක්‍ෂයේ මැති ඇමතිවරුන් හා දේශපාලන ආධාරකරුවන් පවා සිරගත කළේය.

 

අප අසල්වැසි ඉන්දියාව ශ‍්‍රී ලංකාවටත් එහාගිය දුෂිත සංස්කෘතියක් ඇති රටකි. එහෙත් වර්තමාන මෝදි අගමැතිවරයා දුෂණයට එරෙහිව ගෙනයන දේශපාලන නායකත්වය ප‍්‍රසංශනීය එකකි. දුෂණ මුලිනුපුටා දැමීම සඳහා මෙවැනි ආදර්ශයක් හා කැපවීමක් ශ‍්‍රී ලංකාවේ දේශපාලන නායකත්වයෙන් දිස්වන්නේ ද යන්න ජනවාරි විප්ලවයේ සාමාජිකයන්ට ඇති ප‍්‍රධාන අර්බුදයකි. මේ රටට ලී ක්වාන් යෙව් කෙනෙකු හෝ අඩුමතරමේ මෝදි කෙනෙකු පත්වන්නේ කවදාද? යන පැනය මේ රටේ සෑම ප‍්‍රගතිශිලී පුරවැසියෙකුටම ඇති ප‍්‍රශ්නයකි.

 

ඒ වෙනුවට 2015න් පසුද සුපුරුදු තුන්වන ලෝකයේ නොදියුණු දේශපාලන සංස්කෘතිය ක‍්‍රමයෙන් සමාජය තුළ හිස ඔසවමින් සිටී. ප‍්‍රධාන පක්‍ෂ දෙකේ නායකයින් දෙදෙනා පක්‍ෂ ගොඩනැගීමේ න්‍යාය පත‍්‍රයේ අඩුවැඩි වශයෙන් නියැලී සිටීම විනා දුෂණ සංස්කෘතියට වැට බැඳීමට සක‍්‍රිය හා විප්ලවීය මැදිහත්වීමක් කිසිවකුගෙන් දැකිය නොහැකිය. ඒ වෙනුවෙන් නීති සම්පාදනය වීම හෝ අදාළ ආයතන ප‍්‍රතිසංවිධානය කිරීමේ උත්සාහයක් දැකිය නොහැකිය. ඒ වෙනුවට සිදුවන්නේ ඒ වෙනුවෙන් පිහිටු වූ ආයතන පවා වැසෙන තැනට කටයුතු කිරීමයි.

 

අනෙක් අතට කළ සොරකම් හා කරන සොරකම්වල ප‍්‍රමාණය ‘තොපිට වැඩිය අපි හොඳයි’ යන න්‍යාය සමාජගත කිරීමය. මෙහි දී අප මතක තබාගත යුතු කරුණක් වන්නේ දේශපාලනඥයන්, රජයේ ඉහළ පෙළේ නිලධාරීන් ආදී මහාපරිමාණ ද්‍රූෂණ වංචා කරන සියලූ දෙනා නියෝජනය කරන්නේ ඉහළ මධ්‍යම පන්තිය වන බවය. ඔවුන් එකිනෙකා ආරක්‍ෂා කිරීමේ පන්ති න්‍යායෙන් බැහැර වන්නේ නැත. මෙහි දී විමතියට ඇති කරුණ වන්නේ දුෂණයට විරුද්ධව සමාජ සාධාරණත්වය හා වඩා යහපත් හෙට දිනක් වෙනුවෙන් කැපවූ ජනවාරි විප්ලවයට නායකත්වය දුන් සමාජ ව්‍යාපාරයේ පසුබෑමයි.

 

මෝදි අගමැතිවරයා දුෂණ විරෝධී දේශපාලන මාවතක් අනුගමනය කරන තැනට තල්ලූ කළේ අන්නා හසාරේ ප‍්‍රමුඛ දුෂණ විරෝධී සමාජ ව්‍යාපාරයයි. 2011 සිට මේ දක්වා අන්නා හසාරේගේ දුෂණ විරෝධී සමාජ ව්‍යාපාරයේ ඉතා සක‍්‍රිය ක‍්‍රියාත්මකවීම් දැකිය හැකිය. මෙහි ඇති වැදගත්කම වන්නේ එහි ඇති නිර්දේශපාලනික මුහුණුවර හා අවිහිංසාවාදී ක‍්‍රියා පිළිවෙතයි. සාධාරණ සමාජයක් සඳහා වන සමාජ ව්‍යාපාරයට මේ මැදහත්වීම කළ නොහැකිද, එසේ නොකරන්නේ ඇයි යන සාධාරණ ප‍්‍රශ්න ප‍්‍රගතිශීලී සෑම පුරවැසියකුටම ඇති කුකුසකි.

 

මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේගේ අපවත්වීමත් සමඟ සමාජ ව්‍යාපාරයට දායක වූ විවිධ තල නියෝජනය කළ සංවිධාන, කණ්ඩායම් හා පුද්ගලයෝ විසිරී වෙන් වෙන්ව තම තමන්ගේ න්‍යාය පත‍්‍ර ක‍්‍රියාවේ යෙදවීමට පටන් ගත්හ. කෙටියෙන් කිවහොත් නිශ්චය කරගත් අරමුණු ළඟාකර ගැනීමට ගොඩනැගුණ පුළුල් ජන බලවේගය පවත්වාගෙන යාමට නොහැකි විය. දෙවැන්න වන්නේ මෙම සමාජ ව්‍යාපාරයට සහයෝගය දුන් ඇතැම් දේශපාලනඥයන් නොවන ඉදිරිපෙළ සාමාජිකයන් දේශපාලන න්‍යාය පත‍්‍ර ඔස්සේ ව්‍යාපාරය හා සම්බන්ධව සිටීමයි. ඔවුන් මෙම ව්‍යාපාරයට සහභාගී වූයේ ඔවුන්ගේ දේශපාලනික අරමුණු ඉෂ්ටකර ගැනීමටය.

 

 තෙවැන්න වන්නේ 2015 ජනවාරිවලින් පසු සමාජ ව්‍යාපාරයේ පුළුල් අරමුණුවලින් ක‍්‍රමයෙන් විතැන් වී ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිංස්කරණය වෙනුවෙන් පෙනීසිටීම යන කේන්ද්‍රයට ප‍්‍රවිශ්ටවීමයි. ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ ඔස්සේ බොහෝ ගැටලුවලට විසඳුම් ලබාගතහැකිය යන තර්කය සාධාරණ විය හැකිය. එහෙත් එයට එල්බගැනීම තුළ සිදුවන්නේ සමාජ ව්‍යාපාරය වටා ගොඩනැගුණ පුළුල් අපේක්‍ෂා ඉටු නොවේය යන කලකිරීම සමාජිකයන් තුළ ඇතිවීමය.

 

අනෙක් අතට ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණය දේශපාලනික වශයෙන් සංවේදී කරුණක් වන නිසා ඊට එරෙහිව ගොඩනැඟෙන දේශපාලන ධාරා විසින් සාධාරණ සමාජයක් සඳහාවූ සමාජ ව්‍යාපාරයද විජාතික බලවේගයක් වශයෙන් නම්කරනු ලැබීමය. මා හිතන ආකාරයට සමාජ ව්‍යාපාරයේ අකර්මණ්‍යවීමට එය ප‍්‍රබල හේතුවකි.  සිව් වන හා වඩා බරපතලම කරුණ වන්නේ ‘පැවැති පාලනයට වඩා මේ ආණ්ඩුව තරමක් හොඳයි. තව කල්දිය යුතුයි.’ යන සමාජ ව්‍යාපාරයක් නොකළ යුතු ප‍්‍රතිපත්තියට එළඹීමයි.

 

සමාජ ව්‍යාපාරයක වගකීම විය යුත්තේ තම අභිලාෂ පුළුල්ව ජයග‍්‍රහණය කරන තෙක් ජනතා ව්‍යාපාරයක් වශයෙන් සක‍්‍රියව සිටීමය. සරලව කිවහොත් 2015 සමාජ ව්‍යාපාරය ඔස්සේ අප උත්සාහ කළේ දුෂණය යන විෂයෙහි දී ලී ක්වාන් යෙව් කෙනෙක් පත්කර ගැනීමයි. එය ඉටුවී දැයි ස්වයං විවේචනයක යෙදීම එම සමාජ ව්‍යාපාරයේ නියමුවන්ගේ සමාජ වගකීමකි.

 

එසේ වී නැතිනම් සිටින පාලකයින් ලී ක්වාන් යෙව්ගේ හා අඩුමතරමේ මෝදීගේ මාවතට ඇද දැමීම සඳහා අවශ්‍ය තෙරපීම කිරීම සඳහා 2015 ගොඩනැඟුණ සමාජ ව්‍යාපාරය නැවත සක‍්‍රිය කිරීම අත්‍යාවශ්‍යය. එසේ නැතහොත් 2015 දී ඔවුන්කර ඇත්තේ ආත්ම වංචාවකි.

 

අනෙක් අතට සාධාරණ සමාජයක් පිළිබඳ ප‍්‍රගතිශීලි සමාජ බලාපොරොත්තුව සදහටම මිය යනු ඇත. ඒ නිසා මේ මොහොතේ කළ යුතු වන්නේ 2015 සමාජ ව්‍යාපාරයට නායකත්වය දුන් සැබෑ ප‍්‍රගතිශීලීන් එකට එක්ව ජනතා ව්‍යාපාරය ශක්තිමත් කොට දුෂණ විරෝධි මාවතට පාලකයින් ඇද දැමීම සඳහා අවශ්‍ය තෙරපුම නැවත පණ ගැන්වීමය.

 

Read 87 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.