Sunday, 13 August 2017 23:02

‘‘ගුරුකුල” තව දුරටත් ඉවසා වැදෑරිය යුතු ද...? -  ජයසිරි අලවත්ත

Written by 
Rate this item
(0 votes)

ගුරුකුලය කියූ සැණින් අපේ සිහියට නැගෙන්නේ ‘‘පේරාදෙණිය ගුරුකුලය ” සහ ‘‘විද්‍යාලංකාර ගුරුකුලය” යි. මේ ගුරුකුල හැර තවත් ගුරුකුල ද ඒ තවත් ගුරුකුල හැර තව තවත් ගුරුකුල ද පවතී. මේ සූදානම් වන්නේ ගුරුකුල පිළිබඳ ලිවීමට නොව ‘‘ගුරුකුල” හේතුවෙන් අභාවයට යන සාහිත්‍යය කලා ක්ෂේත්‍රය පිළිබඳ කිසියම් අනතුරු ඇඟවීමක් කිරීම සදහා ය; එය නැවත හිස ඔසවමින් පවතින බවට අනතුරු හැඟවීමට ය.

 

පේරාදෙණි ගුරුකුලයේ පතාක යෝධයෝ ලෙස විරුදාවලි ලත් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ආචාර්ය ගුණදාස අමරසේකර සහ මහාචාර්ය සිරි ගුනසිංහ යන තිදෙනා ද විටින් විට සිය පුද්ගලික අභිමතය වෙනුවෙන් පෙනී සිටි අවස්ථා ඉතිහාසයේ දක්නට ලැබුණි. එමෙන් ම මේ තිදෙනා මතු නොව: මහාචාර්ය ආරිය රාජකරුණා, මහාචාර්ය නන්දසේන රත්නපාල, මහාචාර්ය විමල් දිසානායක, ආචාර්ය සරත් අමුණුගම ප්‍රමුඛ පේරාදෙණි සරසවියෙන් උපාධි ලබාගත් තවත් පිරිසක් ද මේ ගුරුකුලයට අයත් වූහ. ඒ, ඒ ගුරුකුල තුළින් සිදු වූවේ සිය ගුරුකුලයට අයත් පිරිස ඔසවා තැබීම සහ අනාගත ශිෂ්‍ය පරම්පරාව ද තමන්ගේ අතවැසියෝ ලෙස යොදාගැනීම ය. මේ ගුරුකුල වන්දනාව කෙතරම් උග්‍රවීද යත් වරෙක පේරාදෙණි ගුරුකුලයේ පුද්ගලයකු ලෙස විරුදාවලි ලත් මහාචාර්ය සිරි ගුනසිංහ පැවසුවේ පේරාදෙණි ගුරුකුල උවදුරෙන් සිංහල සාහිත්‍යය ගලවාගත යුතු බව ය. වර්තමානයේ ද එසේ පැවසීමට අවශ්‍යය පසුබිම මේවනවිට සැකසෙමින් පවතින බවට ද අපි අනතුරු හඟවන්නෙමු.

මේ ගුරුකුල ගැතිබව කෙතරම් ඛේද ජනක ද යන්න මහාචාර්ය එදිරිවීර සරචචන්ද්‍රගේ ප්‍රකාශයකින් ම ප්‍රත්‍යක්ෂ වන බව වටහා ගතයුතු ය. එකල ගුණදාස අමරසේකරගේ ‘‘යළි උපන්නෙමි” කෘතිය පිළිබඳ විශිෂ්ට විචාරයක යෙදුණ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ම පසු කලෙක පැවසුවේ කුමක් ද? ‘‘යළි උපන්නෙමි” විශිෂ්ට කෘතියක් නොවන නැගී එන ලේඛකයකුට අත දීමක් වශයෙන් ඒ ආකාරයට එම කෘතිය ඔසවා තැබූ බවයි. මේ ගුරුකුලවල යථා ස්වභාවය යි. එදා පැවති මේ ස්වභාවය පසුකලෙක දී අහෝසි වුණා යැයි පැවසීමට තරම් සාක්ෂි නැත. අහෝසි වන්නේ ද නැත. වර්තමානයේ ද විශ්වවිද්‍යාල තුළ මතු නොව සාහිත්‍යය කලා ක්ෂේත්‍රයේ ද මේ ගුරුකුල වන්නදනාව බරපතළ ලෙස පවතී.

මෙහි ගැටලුව වන්නේ කිසියම් කලාකරුවකු හෝ කලාකාරියක තම ගුරු පරපුර අනුගමනය කිරීම නොව අනුකරණය කිරීම ය. විශේෂයෙන් ම මෙම තත්ත්වය දක්නට ලැබෙන්නේ සිංහල කාව්‍යය ක්ෂේත්‍රය තුළ ය. එක් කලෙක ‘‘සේකර පැටව්” ද, තවත් කලෙක ‘‘කොඩිතුවක්කු පැටව්” ද, ඉන් නොනැවතී: ‘‘රත්න ශ්‍රී පැටව්”, ‘‘රණවීර පැටව්”, ‘‘නන්දන පැටව්” සහ අවසානයේ එය ‘‘මස්ඉඹුල පැටව්” දක්වා එය වර්ධනය විය. ඇතැම් කවි ලියන්නෝ මේ ඉහත කී කවියන්ගේ කාව්‍ය පද ඒ ආකාරයෙන් ම තමන්ගේ කවිවල අන්තර්ගත කළහ. ඉඳින් කෙසේ නම් අපිට නව කවි පරපුරක් බිහි වේද යන්න ප්‍රශ්න කළ යුතු නොවේ ද? එසේ නම් අපි තව දුරටත් ගුරුකුල වන්දනාවේ යෙදිය යුතු ද?

වර්තමානයේ ‘‘නුතන” යැයි කියාගන්නා ඇතැම් මහාචාර්යවරු ද කිසියම් ශිෂ්‍යකුගේ නිබන්ධනයක් පිළිබඳ කටයුතු කරන්නේ නම් ඒ අදාළ ශිෂ්‍යයා හෝ ශිෂ්‍යයාවගෙන් අනිසි ප්‍රයෝජන බලාපොරොත්තු වීම සහ එසේ ලබාගැනීම ප්‍රසිද්ධ රහසකි. මෙහි වඩාත් ම දරුණු තත්ත්වය නම් ඇතැම් මහාචාර්ය හිමිවරු පවා සිය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ලිංගික අල්ලස් පවා ඉල්ලා සිටීම ය.

මෙය ගුරුකුල වන්දනාව හෝ ගුරුකුලවාදය නොවේ යැයි ඇතැමකු ප්‍රශ්න කරන්නට පිළිවන. එහෙත් මෙහි යටිපෙළෙහි පවත්නේ ද එම තත්ත්වය යි. මන් ද පරපුරෙන් පරපුරට මේ ආකාරයට සිය ගුරුවරයා හෝ ගුරුවරිය ගේ ම මතය ඉදිරියට ගෙන යන්නට යත්න දරන්නේ නම් අනාගත දරුවන්ට සිදුවන්නේ ඉමහත් ව්‍යසනයකි. එදා මෙන් ම අද ද මේ ආචාර්ය මහාචාර්යවරුන්ගේ මතයට ඔබ්බෙන් යමක් ලිවීමට හෝ පැවසීමට සරසවි ශිෂ්‍ය ප්‍රජාවට මතු නොව උසස් පෙළ ශිෂ්‍ය ප්‍රජාවට ද නොහැකි තත්ත්වයක් උදා වී ඇත.

ලංකාවේ පැවැත්වෙන සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ද, බාහිර උපාධිය සඳහා ඉදිරිපත්වන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මතු නොව වෙනත් ඕනැම විභාගයකට ඉදිරිපත්වන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මේ අර්බුදයට මුහුණ පා සිටිති. එනම්, විෂය නිර්දේශ සකසන්නේ ද, ප්‍රශ්න පත්‍ර සකසන්නේ ද එකම කුලකයට අයත් පිරිසකි. ඉක්බිති ඒ ඒ විෂයයවලට අදාළ බාහිර පොත් පත් රචනා කරන්නේ ද මේ පිරිසම ය. අදාළ ප්‍රශ්න පත්‍ර නිර්මාණය කරන්නේ ද මේ පිරිස විසින් රචනා කරන ලද බාහිර කියවීම් පොත්පත්වලට අදාළ වන ආකාරයට ය. එවිට ශිෂ්‍ය ප්‍රචාවට සිදුවන්නේ ඒ ඒ ආචාර්ය මහාචාර්යවරුන් විසින් ම සම්පාදනය කරන ලද බාහිර කියවිම් පොත් පරිශිලනය කිරිම ය. මන්ද ඔවුහු ප්‍රශ්න පත්‍ර සකසන්නේ ම තම තමන් ලියු පොතපතට අදාළව ය. මෙය ද එක්තරා ආකාරයක ගුරුකුල ප්‍රභේදයකි.

වර්තමානයේ පවතින වඩාත් තුච්ඡම ගුරුකුල වන්දනාව නම් එක් එක් සම්මානෝත්සව සඳහා පත්වන විනිශ්චය මණ්ඩල සාමාජික සාමාජිකාවෝ සිය උපාධි නිබන්ධනයට අනුග්‍රහය දක්වන ආචාර්ය මහාචාර්යවරුන්ගේ නිර්මාණ වෙනුවෙන් ‘‘මරාගෙන මැරෙන” තරමට පෙනී සිටීම ය. ගුරුකුලවාදය ඇරඹි පේරාදෙණියේ ම කිසියම් කාල සීමාවක් තුළ එය යම් ප්‍රමාණයකට යටපත් වෙමින් තිබුණ ද දැන් දැන් යළි එය එම විශ්විද්‍යාලය තුළින් ම හිස එසවීම ඛේද ජනක තත්ත්වයකි. අපි තවදුරටත් එම ඛේදවාචකය දෙස බලා සිටිනවාද? ඊට එරෙහි කළ හැකි යමක් පවතීනම් එය කරනවා ද යන්න වහ වහාම තීරණය කළ යුතු ය. 

 

(සංවාදයට විවෘත ය)

සත්හඬ

Read 139 times Last modified on Tuesday, 15 August 2017 00:30

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.