Thursday, 10 August 2017 00:20

සියලු පව් රවී පිටින් යවා අත් සොදාගැනීමේ සැහැසිකම

Written by 
Rate this item
(0 votes)

මේ දිනවල රටේ අනේක විධ ප්‍රශ්න මධ්‍යයේ දැඩි කතා බහට ලක්ව ඇත්තේ රවීකරුණානායකගේ මුදල් මගඩියක් පිළිබදවය. හොරුන් සමග ලැග සොරුන්ට ආවඩා සියල්ල අමතව ගිය මනෝබ්‍රාන්තිකයෙකුගේ චරිතයට පනපෙවීමට සිදුව ඇති රවී කරුණානායක මේ මොහොතේ රඟන චරිතය සම්බන්ධයෙන් බොහෝ දේනා දෑස් දල්වා බලා සිටිති. 

 

ඒ අතර විපක්ෂයේ ප්‍රධාන කුලකයක් වන ඒකාබද්ධ විපක්ෂය විසින් ඔහුට එරෙහිව ප්‍රබල අවියක් අමෝරා ඇති අතර එය පාර්ලිමේන්තුව හමුවේ විශ්වාසභංගයක් ලෙස ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. එහෙත් ඒ සදහා මෙතෙක් පාර්ලිමේන්තුවේ අවසරය ලැබී නොමැති අතර කතානායක වරයා විසින් එළඹෙන හෙට දින 10 ඒ සදහා අවස්ථාවක් උදාකරලීම අපේක්ෂා පෙරදැරිව සිටින බවද වාර්තා වේ. 

කෙසේ නමුත් බැඳුම්කර කොමිසම හමුවේ එල්ල වූ චෝදනා නිසා ඇමති පදවියෙන් ඉල්ලා අස්වෙන ලෙස කෙරෙන දැඩි බලපෑමකට හසුව සිටින විදේශ ඇමති රවී කරුණානායක අද (අගෝස්තු 9) කැබිනට් මණ්ඩල හමුවට පැමිණ ඒ ගැන යම් ප්‍රකාශයක් කරනු ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා මගින් ප්‍රකාශ කරනු ලැබ තිබුනත් එවැන්නක් සිදු නොවුණි.

සිරිත් පරිදි අඟහරුවාදා දිනවල පැවැත්වෙන කැබිනට් හමුව මේ සතියේ බදාදා දින උදෑසන ජනාධිපති කාර්යාලයේ පැවැත්වුන අතර අද (අගෝස්තු 9) ඊට විදේශ ඇමතිවරයා එක් නොවීය.

මේ අනුව ස්වාධිනව හෝ ආණ්ඩුවේම බලපෑමකට යටත්ව විසීමට රවී කරුණානායකට සිදුව ඇති බව මෙම හැසිරිම විසින් පෙන්නුම් කරනු ලැබ ඇති අතර ඔහු තනිව සිංහයෙකුගේ ලිලාවක්ද එක්සත් ජාතික පක්ෂයේ නායකයාගේ සිට අනෙකුත් පසු පෙළ මන්ත්‍රී ඉදිරියේ නකුට ගසා ගත් සතෙකුගේ ලීලාවක්ද පෙන්වීම කුමන අරුමයක්ද යන්න විමසිය  යුතුමය.

2002 දි රනිල්ට එරෙහිව අත්සන් කරනු ලැබූවක් විසින් මෙකී අවනඩුවට නායකත්වයේ පෙනී සිටීමකින් තොරව තනිව මුහුණ දීමට සිදුව ඇති අතර ඒ බව මාධ්‍යයට කරුණු තහවුරු කළ සුජීව සේනසිංහ විසින් යම් ඉගියක් සැලකර සිටිනු ලැබූවේය. 

කෙසේ නමුත් රවී කරුණානායක රට හමුවේ තැබූ බොරුහා තමා නොදැනසිටීමේ විහිළු සහගත පිළිතුරු සමග මෙකී මහා වංචාවේ මුල් ගලක් බවට පත්වීම නොවැලැක්විය හැකිය.

එසේම ඔහු විසින් ඇද බාන මුසාවන් එළිපිටම ඔප්පු වනුයේ තම බිරිඳ තමා සමග සිදුවන ගණුදෙනු හා ගෙවල් කුලී පදනම යටතේ ගැනීම් සම්බන්ධයෙන් කිසිවක් නොපැවසීම වැනි මහප්‍රාණ විහිළු හේතුවෙනි.  කිසියම් ගැමියෙකු විසින් හෝ ඔහුගෙන් මෙවැනි ප්‍රශ්නයක් නැගුවහොත් තමා රාත්‍රී කාලයේ එකී කුලී නිවසට ගොස් නිදන අතරේ හෝ මෙවැනි සුරපුරයක් වන් මන්දිරයක් කෙසේ ලැබුනිද යන්න නොපැවසා සිටීමට තරම් බිරිද විසින් රවී කරුණානායකව යටකරගෙන සිටිනවා නේද යන්නට පිළිතුරු දිය යුතුව ඇත්තේ රවී කරුණානායක කොමිසම් හමුවේ මෙලොවක් දන්නේ නැති ලීලාවෙන් නොව පුරුෂ ශක්තියද එළියට දමාගෙනය.

එහෙත් වංචාකාරීන්ගේ උපක්‍රමයන් විහිළු සහගත ගොන්පාට් මගින් වැසිය නොහැකිය. එබැවින් රවී කරුණානායක මේ සම්බ න්ධයෙන් තමාට ඇති කොටස පිළිගතයුතුමය.

අනෙක් පාර්ශවයෙන් රනිල් ප්‍රමුඛ සහචරයින් සුදීමතුන් සේ රවීගේ මතින් සියලු පව් ඇරීමට උත්සාහ ගනිමින් සිටින අතර ඔහුට ඔහු මුදල් අමාත්‍යංශය භාරව සිටින අවදියේදි මෙකී මහා පරිමාණ වංචාව සිදුව ඇති අතර ඒ සදහා තමාගේ දායකත්වයක්ද ලැබතිබිම  අමතක කොට දමා ඇත.

එබැවින් ආණ්ඩුවේ තවත් හොරු සමග හෙළුවෙන් සිටිමට රවි කරුණානායකට සිදුව ඇතිමුත් අනෙකුත් මහාසොරුන්ගේ සිල්  රෙදි ගලවා දැමීමටද රවී කරුණානායක දැන් අවස්ථාව උදාවි ඇත. බොර දියේ මාළු බෑමට සමත් ශ්‍රිලනිපයේ  මෛත්‍රි පාර්ශවය රවීට හා රනිල් දොස් පවරා පව් සමා කොට ආණ්ඩුව ගෙනයාමට කටයුතු කරන ලෙස දක්වා ඇත.

මේ අතර අනෙක් කණ්ඩායම මනරම් රැගුමක් රග දක්වමින් ඇති අතර මහින්ද රාජපක්ෂ යටින් රවී සුරැකීමට උත්සාහ කරන බව කනින් කොනින් වාර්තා වන අතර ඔහුගේ අත්සනද විශ්වාස භංගයට  නොයොදා අනෙකුත් පිරිස් උසි ගන්වා රවීගේ නාමය රැකීමට තමා මැදිහත්වී බවට රවීට පමණක් දැනුම් දී ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කොට සිටි.

එබැවින් සෑම අයෙකුගේම කිල්ලෝටයන්හි කුණු තිබිම හේතුවෙන් රවීව එළවුවද ඉතිරි හොරුන්ගේ හොරකම්ද එළියට එන විට ආණ්ඩුවේ කාලය හමාර වී තිබිය හැකිය.

එබැවින්  නැවත ආණ්ඩු පිහිටුවීමට ජනතාව හමුවට එන පිරිස් එක්කෝ මේ හොරකම් කළ ධනස්කන්ධය බෙදාගෙන හෝ නොමැති නම් හිටපු හොරුන් සුදීමතුන් ලෙස ජනතාව හමුවට පැමිණෙනු ඇත. ජනතාව විසින් සොරුන් වෙනුවට තවත් සොරුන් තෝරාගන මේ ක්‍රමය මෙලෙසම පවත්වාගෙන යනු ඇත. එබැවින් රවී යාම හෝ සිටීම මත ආණ්ඩුවේ සූධිමත් භාවය නොකෙලසා තිබිය නොහැකිය.

 

තුසිත පතිරණ

Read 16 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.