Tuesday, 08 August 2017 18:20

ලොට් අංක දෙක - විසි අටවැනි මුරය

Written by 
Rate this item
(0 votes)

වසර දහස් ගණනක් තිස්සේ දිය පහරේ පහස විඳ සිනිදු වූ කුඩා ගල් වටා යමින් ඇළ පහලට ගලා යන්නේ මුණු මුණු හඬක් තුරු වදුල තුළ ඇති කරමිනි. රිදී රේඛා පරිද්දෙන් උදෑසන හිරු කිරණ එකිනෙකා තදින් වැළඳගෙන ඉන්නා කුඹුක්, කොස්, මිල්ල, අඹ, වල්දෙල් අතු අතරින් බේරී එන්නේ හී තල පරිද්දෙනි. මීවන හා බරු කොකු පඳුරු මතට හිරු කිරණ පතිත වීමත් සමග කෝඳුරුවෝ තම දවසේ වැඩ අරඹා තිබේ. රැහැයියන්ගේ සංගීතය වෙනදා වාගේම බැද්ද හරහා දිය කඩිත්තට එක්ව පහලට ඇදී යන්නා සේය.

 

 

ගමෙන් වට වී ඇති කුඩා වන පියස වෙනදා වාගේම අවදිව ඇත. සියල්ල සාමාන්ය් වුව උදෑසන දිය බීමට ඇළට එබුනු වැලි මුවා හදිසියේ දුටු දසුනින් තිගැස්සී කදුරු ගස් අතරින් නොපෙනී ගියේය. සියල්ල නිසොල්මන් වුව වෙනදා නොමැති වස්තුවක් ඇල ඉවුරේ වැටී දියේ ගිලී ඇත්තේ අත්භූත ස්වරූපයකිනි.

 

ළං වී බැලුවේ නම් අඩි තුනක් පමණ දික් වූ කෙස් වැටියක් ඇළ දිය හා පොරබදනු පෙනේ. කුරා කුහුඹුවන් එක්රොක් වී ඒ වස්තුව වටා නිවෙස් තනමින් උන්හ. ඒ ගැහැණියකි. මුහුණ ඇළ දිය මත ගිලී ඇති අතර කඳ කොටස ඇළ ඉවුරේ එල්ලී ඇත්තේ දිය බීමට පහත් වූ බිම දිගා වූ අයෙකු පරිද්දෙනි. ගෙල දක්වාම හිස වතුරේ ගිලී ඇත. නිසොල්මන්ව සිටි ඇය හැද සිටි චීත්තය ලිහී කලවා යුවල ඉර එළියට විවෘත වී ඇත. ලා රතට හුරු පැල්ලම් සිරුර පුරාම ඇති අතර කටු ඇණී සිදුරු වූ සේ දෙපා මත කුඩා තුවාල ගහණය. තුවාල වටා එක්රොක් වූ කුහුඹුවන් පොරකමින් තම බඩ කට පුරවා ගනිමින් ඒ මේ අත දිවූහ. දිය මත පොරබදන කෙහෙ රැල්ල සමග සෙල්ලම් කරමින් උන් ලේ තිත්තයින් රංචුව තමන්ගේ රතු පැහැ සිරුර ලෙළවමින් කෙස් අතරින් පැන දිවූහ. 

 

අවට මීවන පඳුරු හා වියළි කොළ තැලී පොඩි වී තිබුනෙන් වේදනාවෙන් දැඟලූ ලකුණු තිබූ අතර දකුණු අතෙහි ගුලි වී තිබූ පස් සහිත වියළි කොළ අහුර කියා පෑවේ  අධික වීර්යයකි. වම් අත දියෙහි ගිලී ඇත. උදෑසන තොලකට තෙමා ගන්නට ආ තරුණ මුගටියා තම අලුත් බිරින්දෑවද කැටිව ඇළ දෙසට එමින් උන්නේ ප්රේටමයෙන් වෙළෙමිනි. අමුතු වස්තුව දුටු  යුවල බියෙන් තැතිගෙන මීවන පඳුරු තලාගෙන වන ගුල්මයට වැදී නොපෙනී ගියේය.

.....

“ඇන් ඇම්ලා එක්ක එක්කාසු වෙලා වැඩ කෙරුව ඇත්තෙක් ඒ. සමසමාජකතාරින්ගෙ අගේ තාමත් අපේ එවුන්ට තේරිලා නෑ.. මැතිනිනං යමක් කොරන්ට වගේ හදන්නෙ .. දෙමළුත් ආපහු ඉංදියාවට යවනවා කියන්නෙ....”

 

“ඒ කිව්වෙ ලොකු උන්නැහේ....?”

 

“දැං ඔය වතු ඔලට ගෙනැල්ලා ඉන්න දෙමළු බොවෙනවානෙව කුකුලො වගේ. ඇං මැතිනි හදන්නෙ උන් ආයෙම ඉංදියාවට යවන්නලු...”

 

වයසක මිනිසා මේ තොරතුරු පවසද්දී ඇස් වලින් ඇඟවෙන විශ්මයාර්ථය නිසා නළල රැළි වී තියුණු ස්වභාවයක් ගනී. මෙතෙක් වේලා සිරගත වූ සිතිවිලි සේම කයද සිරගතව තිබීමේ සාංකාව තරමකින් හෝ අඩු වූයේ මහල්ලාගේ කතාබහ ඇසීමෙනි. තරමක් හිරු එළිය වැඩි වෙත්ම සේපාලිකා සුවඳ අඩු වෙමින් පවතී. පොලිසිය කාර්යබහුල වන ලකුණු පෙනෙන්නට වූ අතර කාකි කබා හා කොට කලිසම් හැඳගත් නිලධාරීන් එකා දෙන්නා සේවයට වාර්තා කරයි.

 

වත්තක සංගු හඬ ඇසෙද්දී මානිස්ට සිහි වූයේ තුවක්කු ලැයිසොම තවමත් ගන්නට නොහැකි වූ බවයි. අයිවන් පැමිණි වහාම එය මතක් කළ යුතුය. විජේපාලට කීවාට තේරුමක් නැත. සතුන් මරනවාට විජේපාල තුළ ඇත්තේ දැඩි අකමැත්තකි. කුඩා අවධියේ සිටම පොත් අතර ගිලී නහඬව සිටි විජේපාල කෑමට බීමට පවා වැඩි උනන්දුවක් නැත්තෙකි. දවස තිස්සේම පොතකට එබී සිටින්නට හෝ ඈත කඳු දෙස බලා සිටින්නට ඔහු කැමැත්තක් දක්වයි. ගමේ වැඩි යහලු මිත්ර යන්ද නැත. කෙසේ වෙතත් මානිස්ට අනුව නම් විජේපාල යනු ගිලී ගිය ගැඹුරු නෙතු අතරේ ගින්දර සඟවා ගත්තෙකි... ගෙදර යාමට ලැබෙන ඇසිල්ලේම සොමාගේ විවාහ කටයුතු අවසන් කළ යුතු අතර ලලිතාටද ඉලන්දාරියෙකු සෙවිය යුතුය. ගමේ කොලු කුරුට්ටන් කිහිප දෙනෙකුම ලලිතාට ඇස ගසාගෙන ඉන්නා බව මානිස්ට වැටහි ඇත. කෙල්ලන් යනු පියෙකුට ඇති විශාලම බරකි...

 

............

“අම්මේ.... අම්මේ.... මයෙ අම්මේ......”

පාන්දර වල්දෙල් ඇහිලීමට බැද්දට රිංගූ කුඩා සිරිසේන අඩි පාර දිග කෑ ගසාගෙන දිව එන්නේ කැඩුනු සරමද එක් අතකින් ඔසවාගෙනය.. වැන්දඹු යසෝමාත් කුඩා සිරිසේනත් ජීවත් වන්නෙ වලව්වට බැලමෙහෙවර කිරීමෙනි. උදේ පාන්දරම පලා මිටක්, වල් දෙල් ඇට කොළපතක්, ගඩා ගෙඩි ටිකක් පන් මල්ලේ රුවාගෙන වලව්වට යන යසොමා වලව්වේ ඇති අනේකවිධ බැල මෙහෙයන්ගේ යෙදී හැන්දෑවට හාමිනේ විසින් දෙන හාල් හුණ්ඩුවක්ද ගෙන ගෙදර එන්නේ සිරිසේනට සුනු කැඳ ටිකක්වත් පිස දීමේ අරමුණෙනි. කුඩා සිරිසේන දින කිහිපයකට වතාවක් බැද්දට රිංගා වල්දෙල් ගස් පීරමින් වවුලන් කා බිම වැට්ටූ වල්දෙල් ඇට සොයමින් කොලපත් කොක්කනයට එකතු කරයි. කුඩා සිරිසේන මේ බැද්දට යෑමට වැඩි කැමැත්තක් දක්වන්නේ ඒ වූ කලී මිතුරන් අතර වීර ක්රි.යාවක් වන බැවිනි. කුඩා දරුවන්ට මේ බැද්ද අභිරහසකි. මව්වරු දරුවන් එයින් ඈත්කර සිටින්නෙ යකුන් බූතයින් එහි අරක් ගන්නා බව කියමිනි. තුරු වියන නිදාවෙන් දාවලේද අඳුර රජයන එහි නොනවත්වා ඇසෙන රෑහි නාදයත් ගලා අය ඇළ පහරේ මුණු මුණුවත් හැරුණු කොට වෙන ශබ්ධයක් නොමැත. ඉදහිටක හෝ හැලහොල්මනක් නැති එහි නිහඬතාවය බිදින්නේ වැලිමුවෙකු, මීමින්නෙකු හො ඉත්තෑවන් විසින්ම පමණක්ය. මී අඹ ගසක් යට නැවතී ලේන කොටයක රහ බැලීමටත් මීවන පඳුරු අතරේ සැඟවි සිටින බිම්මලක් සොයා ගැනීමටත් සිරිසේන බොහෝ ආශා කරයි. 

 

“අම්මේ.... මයෙ අම්මේ....”

යසෝමා අත රැඳි මැටි වළඳ බිම වැටී බිඳී යද්දී හඬ ආ දෙසට ඈ දුවමින් උන්නාය.. 

 

-විසි නවවැනි මුරයෙන් හමුවෙමු-

ඉරේෂා මධුවන්ති වික්රෙමසිංහ

 

Read 92 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.