Saturday, 17 June 2017 01:00

යාල වනයේ සිටි දකුණේ තිලකය මිය යයි

Written by 
Rate this item
(0 votes)

ශ්‍රී ලංකාව තුළ ආකාලයේ මරණයට පත්වන අලි ඇතුන්ගෙන් බහුතරය එවැනි ඉරණමකට ගොදුරු වන්නේ අලි මිනිස් ගැටුමට මැදි වීමෙනි.

එහෙත් යාල වනෝද්‍යානයේ විසූ තිලක් නමැති සද්දන්තයාට මරු කැඳවුයේ රැහේම එකෙකු විසිනි. අලි ඇතුන් අතර සටන් ඇති වීම සුලභව දැකිය නොහැකි බව ප්‍රවීනයන්ගේ මතයයි. කෙසේ නමුත් යාල ජාතික වනෝද්‍යානයේ දිවි ගෙවූ තිලක් නමැති ඇත් රජුගේ වියෝව පරිසරවේදීන් මෙන්ම සත්ත්ව ලෝලීන්ට ද කණගාටුදායක පුවතක් විය. 

 

 

තවත් තනි දළ ඇතෙකු විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් තිලක් නමැති ඇතාගේ මරණයට හේතු වී ඇති බව වනජීවී නිලධාරීහු පවසති.

වනජීවී පශු වෛද්‍ය නිලධාරී විජිත පෙරේරා බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඇතාගේ ඉලඇට ප්‍රදේශයට හානි සිදුව තිබූ බවය.

එමෙන්ම පනස් විය ඉක්මවූ ඇතාගේ ශරීර සෞඛ්‍ය ද යම් තරමක් පිරිහී තිබූ බව ඔහු සඳහන් කළේය. 

 

'යුගයක අවසානය'

තිලක් දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිත, යුගයක් එකළු කළ හස්ති රාජයෙකු ලෙස හැඳින්විය හැකි බව පරිසරවේදී නයනක රන්වැල්ල පවසයි.

"ඇත්තම කිව්වොත් දකුණේ තිලකය තමයි මේ මිය ගිහින් තියෙන්නේ. කාලාන්තරයකට ඒ වගේ ප්‍රතාපවත්, දැකුම්කළු, විශාල ඇතෙක් යාල කලාපය ආශ්‍රිතව බිහි වෙන එකක් නැහැ" යනුවෙන් ඔහු සඳහන් කළේය.

අලි ඇතුන් අතර සටන් ඇති වීම සුලභව දැකිය නොහැකි බව අලි ඇතුන් සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් කටයුතු කර ඇති පශු වෛද්‍ය නන්දන අතපත්තු  කියා සිටියේය. තමන් සැරිසරන භූමිය හා ආහාර මුල් කර ගනිමින් අලි ඇතුන් අතර සටන් ඇති නොවන බව කී පශු වෛද්‍ය නන්දන අතපත්තු "සටනක් ඇති වීමට එකම හේතුව දෙදෙනාම එකම ගැහැණු සතෙකුට ඇල්මක් දැක්වීම" යනුවෙන් සඳහන් කළේය.

ගැහැණු සතා සිය අයිතියට පත් කර ගැනීමේ බලාපොරොත්තුවෙන් සටන ආරම්භවන බව කියා සිටි වෛද්‍යවරයා ඉන් මද වේලාවකට පසු ඇතින්න එම ස්ථානයෙන් ඉවත් වුවත් පිරිමි ඇතුන් දෙදෙනා අවසානය දක්වා සටන් කරන බව පැවසීය. එහිදී ලිංගික ආශාව යටපත්ව එය එකිනෙකාගේ අභිමානය පිළිබඳ ප්‍රශ්නයක් බවට පරිවර්තනය වන බව ඔහු පෙන්වා දෙයි.

එවැනි සටන් ඇතුන් අතර ඇති වීමේ දී දළ පහර වැදීමෙන් එක් ඇතෙකු හෝ ඇතුන් දෙදෙනාම මිය යාමේ අවදානමක් පවතින බව පශු වෛද්‍ය නන්දන අතපත්තු කියා සිටියේය.

"අදාළ ඇතින්නිය හෝ රංචුවේ සෙසු ඇතින්නියන් හෝ රංචුවේ නායිකාව මේ සටනට සහභාගී වන්නේ නැහැ. එහෙම රණ්ඩු වුනා කියලා ඇතින්නිය හෝ රංචුව එතෙන්ට වෙලා බලා ඉන්නේ නැහැ ඒ අය තම දෛනික කටයුතුවල යෙදීම සඳහා ඉවත්ව යනවා"

පශු වෛද්‍ය නන්දන අතපත්තු විසින් එය හඳුන්වනු ලැබුවේ "ශක්තිවන්තයාගේ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා වනයේ තිබෙන රීතිය" ලෙසය.

 

මේ අතර තිලක් නමැති ඇතා දීර්ඝ කාලයක සිට මිනිසුන් අතර ගැවසීම හේතුවෙන් අනියම් ලෙස ගෘහස්ථකරණයට ලක් වූ බව පවසන පරිසරවේදී නයනක රන්වැල්ල ඒ හේතුවෙන් ඇතාගේ සටන්කාමී ගුණය පහව ගොස් තිබුණු බව පවසයි.

ආගමික ස්ථාන සහ මහා මාර්ග අසල සැරිසරන අලි ඇතුන්ට ආහාර ලබා දීම ඔවුන්ගේ හැසිරීම් රටාවට බලපාන බව පරිසරවේදී නයනක රන්වැල්ල පවසයි.

විශේෂයෙන් මිනිසුන් ලබා දෙන ආහාර තනියෙන් භුක්ති විදීම සඳහා ඔවුනොවුන් අතර තරගයක් ඇති වීමේ ස්වභාවයක් දක්නට ඇති බව ඔහුගේ අදහසයි.

"සිතුල්පව්ව් ආශ්‍රිත වෙසෙන නන්දිමිත්‍ර කියන ඇතා ඒ ප්‍රදේශයේ වෙසෙන අනෙක් ඇතුන්ට මාරාන්තික ප්‍රහාර ගණනාවක් එල්ල කර තිබෙනවා. ඒ වගේම යාල වනෝද්‍යානයේ ඉන්න ගැමුණු කියන ඇතා අනෙක් සතුන්ට ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් පෙන්නුම් කරන්න පටන් අරන් තිබෙනවා. මේක කෘත්‍රිම තත්ත්ව යටතේ ඇති කරපු දෙයක්"

ජාතික වනෝද්‍යාන යනු සත්වෝද්‍යාන නොවන බව කී ඔහු මිනිසුන් එවැනි ස්ථාන වෙත ගොස් සතුන්ට ආහාර ලබා දිය යුතු නොමැති බව සඳහන් කළේය.  "ඒවා අපි පාලනය කරන පරිසර පද්ධති නොවෙයි. ඒවා ස්වාභාවික පරිසර පද්ධති"

 

ඇතුන් ළඟට ගෙන්වා ගැනීම සඳහා ඇතැම් සෆාරි ජීප් රථ රියදුරන් විසින් ඔවුන් කුඩා කළ පලතුරු වැනි ආහාර ලබා දී ඊට හුරු කර ගන්නා බවත් පරිසරවේදී නයණක රන්වැල්ල වැඩිදුරටත් කියා සිටියේය.

අලි ඇතුන්ට ආහාර ලබා දීම සතුන්ගේ ආරක්ෂාවට වඩා මිනිසුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවත් එය නීතියෙන් තහනම් කළ යුතු බවත් පශු වෛද්‍ය නන්දන අතපත්තු පවසයි.

කෙසේ නමුත් මිනිසුන් සමග ඇසුරු කිරීමෙන් අලි ඇතුන්ගේ ශාරීරික ශක්තිය හීන නොවන බව ඔහු කියා සිටියේය.

තිලක් වැනි සුවිශේෂ සද්දන්තයන් ගේ එදිනෙදා චර්යාව සහ ගමන් මග නිරීක්ෂණය කිරීම සඳහා දකුණු අප්‍රිකාව වැනි රටවල් විවිධ උපායමාර්ග භාවිත කරති.

කලක් දෙස් විදෙස් සංචාරකයන් වසඟ කර ගෙන සිටි කෘගර් වනයේ රජු ලෙස විරුදාවලි ලත් ඩියුක් නමැති ඇත් රජුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු බලධාරීන් ගෙන තිබූ ක්‍රියාමාර්ග ඊට එක් උදාහරණයකි.

ඩියුක් නමැති සද්දන්තයා වයස්ගත වෙත්ම ඔහුගේ හැසිරීම් රටාව නිරීක්ෂණය කිරීම සඳහා ජී.එස්.පී කොලරයක් පැළඳවීමට දකුණු අප්‍රිකාවේ කෘගර් ජාතික වනෝද්‍යානය කටයුතු කර තිබිණි.

2011 වසරේ ඔක්තෝබර් 01 වෙනිදා මිය ගිය ඩියුක් ඇත් රජු කෘගර් වනය තුළ වසර පනස් පහකට අධික කාලයක් දිවි ගෙවා ඇති බව එහි වනෝද්‍යාන පාලකයෝ පවසති.

"දකුණේ තිලකය" මැකී යාමට ස්වාභාවික සංසිද්ධියක් බලපා ඇතත් කලක් මුළුල්ලේ අයහපත් ශරීර සෞඛ්‍යයෙන් පසුවූ තිලක්ගේ ගමන් මග නිරීක්ෂණය කිරීම සඳහා ඔහුට ජී.එස්.පී කොලරයක් පළඳවා නොතිබූ බව පරිසරවේදී නයනක රන්වැල්ල පවසයි.

ඊට යාල ජාතික වනෝද්‍යානයේ නිලධාරීන් වගකිවයුතු නැතත් මෙවන් ජාතික සම්පත් රැක ගැනීම සඳහා විධිමත් ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය බව ඔහු පෙන්වා දෙයි.

Read 46 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.