Wednesday, 07 June 2017 21:50

කොටි ගහද්දී අපිට තේරෙනවා කොටි කරන දේ. ඒත් ස්වභාවධර්මයා මොකද කරන්නෙ කියලා හිතා ගන්න බැහැ - උතුරේ මාධ්‍යවේදියෙකුගේ ගං වතුරේ අත්දැකීම් 

Written by 
Rate this item
(0 votes)

දිනසේන රතුගමගේ උතුරේ සිටින පළපුරුදු පුවත්පත් කලාවේදියෙකි. වවුනියාවේ හුන් ඔහු ඉකුත් 25 වැනිදා අවිස්සාවේල්‍ලේ සීතාවකට ආවේ තවත් මාධ්‍ය සගයන් කීපදෙනෙක් සමගය. ඒ හිතවතියකගේ පියෙකුගේ  මළ ගෙදරට සහභාගි වීමටය. රතුගමගේ සමග අනුරාධපුර ප්‍රාදේශීය මාධ්‍යවේදී අතුල බණ්ඩාරත් කොළඹ පුවත්පත් කන්තෝරුවක සේවය කරන පුවත්පත්කලාවේදීහු දෙදෙනෙක්ද ඒ පිරිසේ හුන්හ. ඔවුන් ගිය මළ ගෙදර වැඩ අවසන් කිරීමට නියමිතව තිබුණේ විසිහය වැනිදාය. මේ නිසා විසිපස් වැනිදා මළගෙදරට ගිය ඔවුන්ට වෙනදාට වඩා පරිසරයේ වෙනස්කමක් දැනුණි. උහුලන්න බැරි සීතලක් එදා  ආවේය. එනමුත්  ඔවුන් එය ගණනකට ගත්තේ නැත.

 “දේහයට අවසන් ගෞරව දක්වලා ටික වෙලාවක් කතා කර කර ඉඳලා රෑ කෑමට ගියා. කෑම කාලා ඉවර වෙද්දී රෑ 9.30ට විතර වුණා. එතකොටම වැස්ස පටන් ගත්තා. ටික වේලාවක් යද්දී හිතා ගන්න බැරි තරමට වැස්සා. 10.30  විතර වෙද්දී අපි හිටපු ගෙදර මිදුල යටවෙන්න ගත්තා. ඒ වෙද්දී මළ ගෙදර හිටපු අසල්වැසියන් ගොඩක් දෙනා තමන්ගෙ ගෙවල්වලට මොකද වුණේ කියල බලන්න ගියා. මළ ගෙදර ඉතිරි වුණේ අපි කීප දෙනයි පවු‍ලේ ළඟම ඥාතීනුයි විතරයි. සේරම කට්ටිය 38 ක් හිටියා. රතුගමගේ වූ දේ විස්තර කරන්නේය.

මිදුලට ගලා ආ ජල දහර  ක්‍රම ක්‍රමයෙන් ප්‍රචණ්ඩ වෙමින් පවතී.  ‍පොල්, දෙල්, ආදී ගස්වල අතු කොළ ගෙඩි ආදිය වතුරේ ගසාගෙන යමින් තිබිණි. වතුර සමග බළලෙකුද ගසාගෙන ආවේය.  

“අනේ පව් පූසා ගිලිලා මැරෙන්න යන්නෙ යැයි” කියමින් පාසල් වයසේ සිටි දැරියක පූසාව ගොඩට ගැනීමට උත්සාහ ගත්තේය. ඒ සමග මාරාවේශයෙන් සිටි බළලා දැරියගේ අත සපා කෑවේය.

“වතුර වැඩි වෙද්දී හට් එකේ තිබුණ ප්ලාස්ටික් පුටු පාවෙන්න ගත්තා. ඊට පස්සෙ අපි එකතු වෙලා ප්ලාස්ටික් පුටු ගේ ඇතුළට දැම්මා.  ඒ වෙද්දි ගේ ඇතුළට වතුර දාලා. තව ටික වෙලාවකින් බලාගෙන ඉද්දි ජල මට්ටම උඩට යනවා. අපි මෘත දේහය තිබුණ පෙට්ටිය වහලා මෘත දේහය මේසයක් උඩ තිබ්බා. තවත් ටික වේලාවක් යද්දී වතුර මට්ටම මේසයේ සීමාවටත් ආවා. දැන් මොකද කරන්නෙ?

මෘත දේහය බේරාගන්න ක්‍රමයක් කල්පනා කළා. ඊට පස්සෙ ඇඳ ඇතිරිලි අරගෙන මිනී පෙට්ටිය ගැට ගහලා නිවසේ  වහ‍ලේ බාල්කයට ගැට ගැසුවා.

දැන් මෘත දේහය පරිස්සම්.  ඊට පස්සේ  කතා කළේ අපේ ජීවිත බේර ගන්නෙ කොහොමද කියලා. ඒ වෙද්දි අඩි 4-5 විතර වතුර මට්ටම ඇවිත්. එතකොට අපි දැක්කා බඩු මුට්ටු දාන්න හදපු කොන්ක්‍රීට් තට්ටුවක්. මේක ගේ ඇතුළේම තිබුණේ. බිමට අඩි 10ක් විතර උඩින් තමයි තිබුණේ. අපි හිටපු 38ම ඉනිමගක් තියලා කොන්ක්‍රීට් තට්ටුවට නැග්ගා. කොන්ක්‍රීට් තට්ටුවට උඩින් වහලක් තිබුණ නිසා තෙමුණේ නැහැ. කොහොමහරි තිබුණ ඉඩ හිටපු කට්ටියට හිටගෙන ඉන්න විතරයි ප්‍රමාණවත් වුණේ. රෑ 11.30  වෙද්දී වතුර මට්ටම අඩි 9 1/2  ක් විතර වෙලා තිබුණා. අපි කල්පනා කළේ තව දුරටත් වතුර මට්ටම උඩට ආවොත්  මොකද කරන්නෙ කියලා. එහෙම වුණොත් වහලට නගිමු කියල කතා වෙලා වහ‍ලේ ඉඩක් හදන්න උත්සහ කළා. 

කොහොම වුණත් රෑ 11.30 විතර වෙද්දී අපට තේරුණා අපේ ජීවිත අවදානම් කියලා. වාසනාවට ඒ වෙද්දී අපි ළඟ ජංගම දුරකථන කීපයක්ම තිබුණා.

“පිරිස අතර මාධ්‍යවේදීන් කීප දෙනෙකුම සිටි බැවින් ආපදා මධ්‍යස්ථානය, ‍පොලිස් හදිසි ඇමතුම් අංශය, ත්‍රිවිධ හමුදාව, පෞද්ගලිකව හඳුනන ඉහළ හමුදා ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසකට දුරකථන ඇමතුම් දෙමින් තමන් පත්ව සිටින අවදානම් තත්ත්වය ප්‍රකාශ කරන්නට වූහ. මේ අතර ඔවුන්  සේවය කළ මාධ්‍ය ආයතනද පිරිස බේරා ගැනීම සඳහා විවිධ උත්සාහයන් ගනිමින්  සිටියේය. මෙහිදී සෑම ස්ථානයකින්ම ලැබුණු උපදෙස වූයේ “ඔයාල බේරා ගන්න එනවා කලබල වෙන්න එපා” පමණකි.

රාත්‍රියේ උඩට නගින විට පිරිස විහිළු තහළු කරමින් නැග  සිටියද අලුයම 4.00 වන විට  අනෙකුට කතා නොකරන තත්ත්වයට පිරිස පත්ව සිටියෝය. ඇති වූ  ජීවිත බිය නිසාම සියලු දෙනා මුණිවත රැක්කෝය.

“හැබැයි මම කීවා අවුරුදු 30ක් අපිට කොටි ගැහුවා හැබැයි මේ වගේ අවිනිශ්චිතකමක්  බයක්නම් ඇති වුණේ නැහැ කියලා. කොටි ගහද්දී අපිට තේරෙනවා ඊළඟට කොටියා කරන දේ. ඒත් ස්වභාවධර්මයා මොකද කරන්නෙ කියලා හිතා ගන්න බැහැනෙ?” රතුගමගේ කියයි.

කොහොම හරි 26 දාට එළිය වැටුණා. ඒ වෙද්දි වතුර මට්ටම අඩි 02ක් විතර අඩුවෙලා තිබුණා. උදේ 7.45 විතර වෙද්දී  හමුදාවෙ කෙනෙක් පීනගෙන අපි හිටපු ගෙදරට ආවා. එයා ඇවිත් තමයි අපිට විස්තරය කීවේ. ඒ ප්‍රදේශයෙ  ගලා බසින සීතාවක  ඔය පිටාර ගලලා ඇති වූ සැඩ පහර  නිසා ‍පොඩි බෝට්ටු දාන්න බැහැ කියලා කීවා. ‍පොඩි බෝට්ටු කැඩෙනවා එහෙම නැතිනම් ගහගෙන  යනවා කියලා කීවා. ඒ නිසා නාවික හමුදාවේ යාන්ත්‍රික බෝට්ටු අරගෙන එන්නම් කීවා.  ගස් වැටිලා නිසා හෙලිකොප්ටර් අපි ඉඳපු තැනට පාත් කරන්නත් බැහැ කියලා කීවා. ආපු හමුදාවේ කෙනා අපේ විස්තර ලියාගෙන ඒ විස්තර ‍පොලිතින්  උරයක ඔතලා තොප්පියට යටින් බැඳලා ආපහු පීනාගෙන ගියා. ඊටත් පස්සේ උදේ 10.30ට විතර ආපදා නිලධාරීන් හමුදා සහ ‍පොලිස් නිලධාරීන් පිරිසක් අපි හිටපු තැනට පීනාගෙන ආවා. එයාලා  ළඟ තිබුණේ කඹ විතරයි. එයාලත් අපේ විස්තර අරගෙන බය වෙන්න එපා කියලා ගියා. කලින් දවසේ රෑ කොටුවුණු අපි දවල් 12 විතර වෙද්දී හොඳටම තෙහෙට්ටු වෙලා හිටියේ. රෑ කෑමට පස්සෙ වතුර හෝ කිසිම කෑමක් නැහැ. කොහොම හරි අපේ ජීවිත ගැන විශ්වාසය ඇති වුණේ  නාවික හමුදාවේ යාන්ත්‍රික බෝට්ටු අපි  ඉන්න තැනට ආවට පස්සේ ඒ වෙද්දී වෙලාව 26 දා දවල් 1.00 ට විතර ඇති. වතුර පාර සැර නිසා එයාලා කීවා 04කට වඩා යාත්‍රාවට නගින්න එපා කියලා. ඒ නිසා මුලින්ම අපි කළේ මෘත දේහය සමග පෙට්ටිය යාත්‍රාවට පටවන එක. ඊට පස්සෙ 03ක් නැග්ගා. දෙවන බෝට්ටුවට වයසක උදවිය. ඊට පස්සේ කාන්තාවන් ඒ විදිහට පිළිවෙළට ගිහින් අපි යාත්‍රාවට නගිද්දී හවස 3.00 විතර වුණා.

බෝට්ටුවෙන් ආවත් අපි ගියපු කාර්එක වතුරට යටවෙලා තිබුණේ. ලක්ෂ 63ක් වටිනා ඒ කාර් එක පාවිච්චි කරන්න බැරි තත්ත්වයට පත්වෙලා කියල  පස්සෙ දැන ගන්න ලැබුණා. ඒක අයිතිත් අපි එක්කම ගිය මාධ්‍යවේදියෙකුට මෘතදේහය වෙනත් ප්‍රදේශයක මල් ශාලාවක තැන්පත් කරලා ඒ ප්‍රදේශයේම හිමිනමක් වඩම්මලා පාංශුකූලය දීලා ආදාහන කටයුතු කළා කියලා පස්සෙ දැන ගත්තා. 

ඒ වගේමයි මිනිස්සුන්ගෙ මනුස්සකම, මේ විපත්තියේදී අපි හොඳට දැක්කා. මළ ගෙදරක ආපු මෝටර් රථයක තිබුණ මුදල් රුපියල් 49,000ක් වතුරෙ පාවෙද්දි ගමේ අය එකතු කරලා දුන්නා. වටිනා ජංගම දුරකථන  දෙකකුත් දීලා තිබුණා. ඒ වෙද්දි ගංවතුරට කොටුවුණ අයට කෑම දෙන්න ප්‍රදේශයේ විහාරස්ථානයක කෑම හරි ගස්සනවා කියලා කෑම කන්න අපටත් එන්න කීවා. ඒත් අපි කොළඹට ඇවිත් තමයි කෑම කෑවේ. එතකොට 27දාට අඳුරු වැටිලා යැයිද රතුගමගේ කියයි.

මෙම සිදුවීමේදී එකක් පැහැදිලියි. එනම් ගංවතුර අවදානම පිළිබඳව රජයේ පූර්ව සූදානමක් තිබි නැති බවය. රජය සැබෑ ලෙස ක්‍රියාත්මක වූයේ දින දෙකකට පසු එනම් 27 දාය. මාධ්‍යවේදීන් පිරිස තමන් හට තිබූ සබඳතා නිසා මෙලෙස දිවි රැක ගත්තද වෙනත් පිරිසක් මෙම අවදානමට මුහුණු දුන්නේනම් ප්‍රතිඵලය මීට වඩා වෙනස් වීමට ඉඩ තිබිණි.  අපේ කථානායක රතුගමගේ එදිනම රාත්‍රී කොළඹින් වවුනියාව බලා යන බස් රථයට නැග්ගේය.

“ඉස්සර අපි වවුනියාවේ ජීවත් වුණේ මරණය කොයි වෙ‍ලේද දන්නෙ නැහැ කියලා හිතාගෙන. ඒ නිසා වවුනියාවෙන් කොළඹ බස් එකට නගින්නේ නිදහස් ලෝකයකට යනවා වාගේ. හැබැයි එදා කොළඹින්  වවුනියාව බස් එකට නැග්ගේ ඒකෙ අනිත් පැත්ත හිතාගෙන.  දකුණ  කියන මරණ භූමියෙන් උතුර කියන නිදහස් ලෝකයට යනවා කියලා හිතාගෙන තමයි ආවේ” යැයිද රතුගමගේ  කියන්නේය.

 

සනත් ප්‍රියන්ත

 

Read 68 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.