Monday, 05 June 2017 01:59

ලොට් අංක දෙක -විසි පස්වැනි මුරය-

Written by 
Rate this item
(0 votes)

“ශිව මස්තු නමෝ රාමඃ

ස්කන්ධ සේනා සමාගමඃ

වඩිගතන්ත්රා මණි කණ්ඨ

ඔඩ්ඩි මංගල නමෝ නමඃ”

 රෙද්දක ඔතා තිබූ බෝනික්කා අතට ගනිමින් ගුරුන්නාන්සේ මැතිරිල්ල තවත් වේගවත් කරයි. පාන් පිටි වලට පස් තෙල් කලවම් කරමින් ඊයේ පාන්දර පටන් පිටි තම්බා සාදා ගත් සවිමත් මේ බෝණික්කා ගැහැණියකගේ හැඩය ගත්තකි. සොහොන් ගොඩැල්ල මත තිබූ මල් යහනේ බෝණික්කා තැබූ ගුරුන්නාන්සේ තම කන්නලව්ව තවත් තීව්රඊ කරමින් මායම් වන්නට විය... 

 මළ සොහොන මත තිබූ මිනී ඔලුවත් බෝණික්කාත් දෙසට දුම්මල ගසමින් ආරූඩ වූ ගුරුන්නාන්සේ විලක්කු පත්තු කරමින් මැතිරිල්ල තවත් වේගවත් කරයි.. කමලා දුම්මල කබල අත දරාගෙන ගුරුන්නාන්සේට ආවතේව කරන්නට වූ අතර ඒ සමගම අවට පරිසරය දෙස ඇස් බැලුම් හෙලමින් විපරම් කරන්නට වූවාය.. කුඩා හුණු කිල්ලෝටයක් දිග හැරගත් ගුරුන්නාන්සේ ආරූඩයෙන්ම එහි තිබූ මිනී අළු තම සිරුර පුරා තවරා ගත් අතර බෝණික්කාගේද මිනී අළු තවරන්නට විය.. ඇස් උඩ ගොස් රවුම් සුදු බෝලයක් මෙන් දිස් වූ ඇස් මැද රත් යවටයක් සේ ගිනි විහිදුවන්නට විය.. ඔහුගේ දෙකාන්සයෙන් වැස්සකට තෙමුනාක් මෙන් දාඩිය ගලන්නට විය..කැරලි ගැසුනු කෙස් අගින් බේරුණු දාඩිය බෙල්ල වටා ඔතා තිබූ රතු පාට රෙදි කැබැල්ල තෙත් කරන්නට විය. පිටට වැටුණු පන්දම් එලියෙන්  පිට මත රටාවට ගලා යමින් තිබූ දා බිඳු දිලිසෙන්නට විය.. ඔහු මතුරන විට කට දෙපසින් බේරුණු කෙල සුදු පාටින් පන්දම් එලියට වියලී ගියේය..

මිනී ඔලුවට මතුරමින් වටේම දුම්මල ගසන්නට වූ ගුරුන්නාන්සේ පසෙක මානා පඳුරකට ඔබා සිටි කුකුලාගේ බොටුවෙන්ම අල්ලා ගත්තේය. කකුල් හා හොට බැඳ තිබූයෙන් අසරණ කුකුළා කිසිදු පිළිසරණක් නොමැතිව ගුරුන්නාන්සේගේ යකඩ අඬුවක් වැනි වූ වමත මත හිරව සිටියේය.. රිදී පැහැ පිහියක් දකුණතින් ගත් ගුරුන්නාන්සේ කුකුළාගේ ගෙල තුවාල කර ලේ උරා බොන්නට විය.. කට දෙපසින් බේරුණු ලේ බිදිති පොළොවට වැටී සැගව ගියේ කිසිදු සාක්ෂියක් නොතබාමය.. කුකුළා දගලන්නටවත් නොහැකිව ඒ දෑත් තුළ සිර වී සිටියේ පපුව මහා හයියෙන් ගැහෙද්දීය.. සොහොන්පල තුළ ඇති වූ මේ මහා කලබැගෑනිය බලන්නටදෝ පැරණි මුතුන්මිත්තෝ අවට පෙළ ගැසෙන්නට වූහ..

කුකුළා හැර දැමූ ගුරුන්නාන්සේ යලිත් මතුරමින් පැරණි කෝන්තරකාරයින් , නෑදෑයින් අමතන්නට විය.. සොහොන් පිටිය මත උන් ආත්මයන් කලබල වී ඔහු සමීපයට ඇදෙන බව මානා පඳුරු අතරින් හැමූ සීතල සුළඟ කමලාට දන්වා සිටියෙන් තවත් දුම්මල අහුරක් ගෙන කබලට ඉස්සේය.. මෙතෙක් අඳුරට තනි මැකූ කදෝපැණියන් පවා පලාගොස් ඇත.. බස්සන් පවා නිහඬ වී  අධික ශීතල සුළඟක් සොහොන් පිටිය සිසාරා හමා යන්නට විය.. මද ආලෝකයක් විහිදුවමින් සිටි සඳ විශාල වළාකුළක් තුළ අතරමං වූයෙන් අන්ධකාරය සියලු දෙනා වසා පැතිර යන්නට විය.. තොරතෝංචියක් නැතිව කෑ ගැසූ රෑහියන් තම අත්තටු පිරිමැදිල්ල නවතා ගැඹුරු නින්දකට වැටුනාක් මෙන් දිස් විය.. කොලයක් වැටෙන හඬ පවා ඇසෙන නිහඬතාවය බිඳලමින් ගුරුන්නාන්සේගේ මැතිරිල්ල අවට පැතිර ගියේය.  

 

මතුර මතුරාම කටුවක් අතට ගත් ගුරුන්නාන්සේ එයින් අර කුඩා බෝණික්කාට අනින්නට විය.. බෝණික්කාගේ හිසට, කුසට, අත් පා වලට පමණක් නොව ලිංගේන්ද්රිෝයන්ටද කටුවෙන් අනින්නට විය.. කුඩා පිටි බෝණික්කා ඒ මේ අත පෙරලමින් කටු අනින්නට වූ ගුරුන්නාන්සේ මිනී අළු ඉසිමින් යළි යළිත් උස් හඬින් මතුරන්නට විය. කමලා අත රැඳි දුම්මල කබලට තවත් දුම්මල අහුරක් ඉස්සාය. බෝණික්කාගේ සිරුරේ තැන් තැන්වල කටු ඇණී සිදුරු ඇති වූ අතර ඒ කුඩා ගැහැණු බෝණික්කා විකෘති වන්නට විය..

................

අරුණලු කිරණ මදින් මද සිර කුටිය තුළට එබිකම් කරන්නට වූයෙන් මානිස්ගේ ඇස් දිලිසෙන්නට විය. කුඩා රිදී රේඛාවක් සේ හිරු එළිය පැමිණ නිදා සිටි සිරකරුවෙකුගේ ඇස් කිති කවන්නට වූයෙන් ඔහු අනෙක් පසට හැරී නැවත නින්දට වැටුනේය. තව එකෙකුගේ කට දෙපැත්තෙන් බේරුනු කෙල සුදු ඉරක් සේ කම්මුල හරහා කන දක්වාම ඇදී ගොස් තිබුණි. වකුටු වි නිදා සිටි මහල්ලෙකු සිහින් ස්වරයෙන් කෙඳිරිලි නගන්නට විය..

ක්රවමයෙන් නැහැ පුඩු කිති කැවූ සේපාලිකා සුවඳ අනෙක් සිරකරුවන්ද ආක්ර්මණය කරන්නට විය.. රාත්රි ය විසින් පිබිදවූ සේපාලිකාවන් තවත් මොහොතකින් හිරු දුටු සැනින් මහ පොලොව සිපගනු ඇත.. රතු පාට හා සුදු පාට ඇඳුමෙන් සැරසුනු සේපාලිකා යුවතියෝ මානිස්ගේ සිතට වඩාත්ම සමීපයග මන්ද යත් ලලිතා උපන් දවසේ ඔහු සිටවූ සේපාලිකා ගස දැන් ලලිතා සමානවම සුවඳ දෙන ගසක්ව මිදුල මැද ඇති බැවිනි.

“තමුන්නැහේ උදේම මොකද කල්පනාව‍...නින්ද ගියෙ නැතෙයි.......”

බිත්තියට පිට දී දහර මණ්ඩිය ගොතා ගත් උඩු රැවුල්කාරයා මානිස් දෙ බලා ඇසුවේ සිනා කටක් මුව පුරවාගෙනය…ඔහුගේ නළල හරහා වැටී තිබූ තුවාල කැලල විසල් අතීතයක නටඹුන් කියා පෑවේය.. 

“මල් සුවද බැලුවෙ මං…”

“ ආ ඒ සේපාලිකා ගහ.. ලොකු ඉංස්පැක්ටර මහත්තයාගෙ කාමරේට එපිටින් තියෙන්නෙ….”

“ මට රෑ පුරාම දැනුනා සුවඳ..........”

“ අහ් ... මුන්නැහේට නින්ද ගියෙ නැතෙයි... ඔහොම තමා... මුල්ම වතාව වෙන්ටෑ...  දවසක් දෙකක් යනකොට පුරුදු වෙයි..මං නං මේ අටවෙනි වතාව මේකට රිංගපු....”

-විසි හයවැනි මුරයෙන් හමුවෙමු-

 

Read 147 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.