Sunday, 21 May 2017 10:23

ජාතික අර්බුදයකට පිළියම් නැති ‘ජාතික’ ආණ්ඩුවක ඇති ජාතික වැදගත්කම මොකද්ද? - ධම්ම දිසානායක 

Written by 
Rate this item
(0 votes)

මුළුරටම මැයි එක දෙස බලා සිටිද්දී එදින අලූයම මා අවදිවූයේ බරපතළ උණ රෝගියෙකු ලෙසිනි. ඒ නිසාම පසුගිය වසරේ මා ලියු  ‘මැයි දෙක’ ආකාරයේ ලිපියක් ලිවීමට නොහැකි විය. බොහෝ අයට උණ එන්නේ හෝ උණ වැඩිවන්නේ හෝ උණ ගැනෙන්නේ මැයි පළමුදා හවසය. එසේ වන්නේ තම තමන්ගේ රැලිවලට සහ පෙළපාළිවලට ආ නොආ සෙනඟ පිළිබඳ දකින සහ සිදුකරන තක්සේරු කිරීම් මැන බැලීම් සහ සැසඳීම් නිසාවෙනි. සෙනග වැඩි අයට උණ එන්නේ නැත. ඒ වෙනුවට සිදුවන්නේ උණ වැඩිවීමය. සෙනඟ අඩු අයට උණ එන්නේ අනිත් අයගේ සෙනග වැඩි වුවොත් ඊට බිය වන නිසාය. සෙනඟ කොහෙත්ම මදි අයට හැදෙන්නේ උණ විකාරය ය. ඔල්මාදය ය.

 

 

ඒ සියල්ල සිදුවූ මෙවර මැයි දිනයත් ගෙවී ගියේ ඒවා සංවිධානය කිරීමේ ඉවෙන්ට් මැනේජ්මන්ට් කොම්පැනි සහ අතරමැදියන්ට ධන ලාභ ගොඩ ගසමින් මිස රටේ පොදු  ජනයාට නම් කිසිදු ප‍්‍රගතිශීලී දේශපාලන ආර්ථික සහ සමාජ අනාගතයක් පිළිබඳ වැඩපිළිවෙළක් තබා ඉඟියක්වත් ඉතුරු නොකරය. මේ වනවිට රටේ ජනයා කරවටක් ගිලී සිටින මහා ජාතික අර්බුදවලට කිසිදු උත්තරයක් නැති පාලකයන් සිදු කරමින් සිටින්නේ ඒ පීඩාවට පත් ජනතාවම කොහේ හෝ තැනකට විවිධ උපක‍්‍රම මගින් ගාල් කොට තම තමන්ගේ ‘ජනබල මහිමය’ පෙන්වා පවතින ජාතික අර්බුද රුපවාහිනී සහ රේඩියෝ වෙළඳ මාධ්‍ය මාර්ගයෙන් මොහොතකට හෝ වසන් කොට තැබීමය.

 

එහෙත් ‘සිදුවන නොව මුකුත් සිදු නොවන අදේශපාලනික කරුමය’ නිසා මුළුමහත් ස්වදේශික පොදුජන සමාජය ම මුහුණපා සිටින්නේ කිසිදා මුහුණ නොපෑ ජාතික අර්බුදයකට ය. එය දේශපාලන වසංගත රෝගයකි. එනම් රට මුහුණපා ඇත්තේ ‘ජාතික අදේශපාලනික වසංගතයකට’ ය. රටක් ජාතික වශයෙන් අදේශපාලනික වුයේ ඇයි, එහි ප‍්‍රති විපාක මොනවාද, ඉන් ගැලවෙන්නේ හෝ රට ගලවා ගන්නේ කෙසේද යන්න  පාලකයන්ටත්, සිවිල් සමාජවරුන්ටත්, පුරවැසිවරුන්ටත්, සාධාරණ සමාජවරුන්ටත්, සියයට 6ක බුද්ධිමතුන්ටත් වැදගත් කාරණයක් නොවීම තේරුම් ගත හැකි දෙයකි.මන්ද ඔවුන් මේ මහා ජාතික ව්‍යසනයේ සැලසුම්කරුවන් සහ පාර්ශවකරුවන් වී ඇති බැවිනි. එහෙත් සිය ලක්ෂ ගණනින් වූ මේ රටේ පීඩිත ස්වදේශික පොදු ජනයාට මේ මහා ජාතික ව්‍යසනයෙන් ගැලවීම අත්‍යවශ්‍ය වී ඇත්තේ ඔවුන් හිඟා නොකා හිඟා කන, රෝ බියෙන්, මහ මඟ අනතුරු බියෙන්, කුණු කඳු පුපුරා ජීවිත අහිමිවේ යන බියෙන්, පාතාල අවියක ඍජු හෝ වක‍්‍ර ඉලක්කයක් වේය යන බියෙන්  තැවි තැවී  කල් ගෙවන අසරණභාවයකට පත්වී ඇති හෙයිනි. 

 

වෛරස් උණ යැයි මුලින් සැකසිතු එහෙත් දින හතරකට පසු ඩෙංගු බවට තහවුරු වූ මහා වසංගත රෝගයෙන් අසාධ්‍යව අයි.ඞී.එච්. උණ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලැබ නිවසට පැමිණ ලිපියක් ලිවීමට තබා පත්තරයක්වත් කියවා ගැනීමට නොහැකිව ගෙවූ කාලය ස්ව මහන්සියෙන්ම නැතිකරගත යුතුය යන තිර අදිටනින් ලියන මේ ලිපියේ අරමුණ අර ඉහත කී ජාතික අදේශපාලන වසංගත රෝගය සහ එහි භයානකකම  පිළිබඳ සමාජ අවධානයක් ඇති කිරීමය.

 

රටක් සමාජයක් අදේශපාලනික වීම අති භයානක ජාතික ව්‍යාධියකි. ආණ්ඩු, පාලකයන්, පක්ෂ සහ නියෝජන ආයතන අදේශපාලනික වීම ජාතික ව්‍යාධියක් නොව ජාතික මරණය කි. රට මේ මොහොතේ මුහුණපා ඇත්තේ ඉහත කී සියලූ පාර්ශව විසින් හදා වඩා ගත් ඒ සියල්ල වගකිවයුතු මේ ජාතික ව්‍යාධිය ට සහ ජාතික මරණය ට ය. ඊට හේතුවී ඇත්තේ ජාතික අදේශපාලන වසංගත රෝගය ය.

 

රටකට අදේශපාලනික මොහොතවල් අත්‍යවශ්‍ය ය. ඒ ජාතියක් මුහුණ දී ඇති තීරණාත්මක ජාතික අර්බුද සහ ඛේදවාචකවලින් මිදීම සඳහා වූ සාමුහික ජාතික උත්සාහ සඳහාය. එහෙත් පක්ෂ දේශපාලනයෙන් දෘෂ්ටිවාදමය දේශපාලනයෙන් මිදුණු එවැනි මොහොතක දී පවා ජාතික දේශපාලනය අදේශපාලනික නොවිය යුතුය. මන්ද ජාතික දේශපාලනය අදේශපාලනික වුවහොත් විජාතික බලවේගවල මුලෝපායික දේශපාලන උපක‍්‍රමවලට එය පිටුබලයක් වන බැවිණි. එවැනි මොහොතක එනම් තාවකාලික අදේශපාලනික මොහොතවල්වලදී ජාතික දේශපාලනය අදේශපාලනික වීම වළක්වා ගත හැක්කේ පරිණත ජාතික බලවේග සහ ව්‍යාපාර රටකට ඇත්නම් පමණි. එසේ නොමැතිව සිදුවන තාවකාලික අදේශපාලනික එකඟතා කෙළවර වන්නේ රටත් ජනතාවත් රටේ පරමාධිපත්‍යයත් අනතුරින් අනතුරට ඇද දමමිනි.

 

2015 ජනවාරියේ මෙරට  සිදුවුණේ එවැන්නකි. ජාතියට නොපෙනුණු ජාතියට නොදැනුණු එහෙත් මේ රට ගැන අපරිමිත ආදරයකින් කටයුතු කරන යුරෝපයට, එක්සත් ජනපදයට සහ ඉන්දියාවට දැනුණු, ඒ පාර්ශවවල මුලෝපායන්ට ගැළපුණු, එමෙන්ම ඒ සඳහා මෙහෙයවා ගතහැකි කණ්ඩායම්වලට සහ පුද්ගලයන්ට ඒත්තු ගැන්වියහැකි ‘මහා ජාතික අර්බුදයක්’ නැතහොත් ‘මහා ජාතික විපත්තියක්’ මේ පොළොව මත තිබුණි. ද්‍රව්‍යාත්මකව පෙන්විය  නොහැකි වූ එය වනාහි ප‍්‍රතිමානාත්මක වශයෙන් ඇතිවාටත් වඩා ප‍්‍රබන්ධ කළ හැකි   ‘ප‍්‍රජාතාන්ත‍්‍රවාදය සහ යහපාලනය නැතිකමේ මහා ජාතික විපත්තිය’ ය. කිසිදා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනය ගැන කතා නොකළ නැතහොත් ඒවා පිළිබඳ මළපොතේ අකුරක් නොදත් ආචාර්යවරු, මහාචාර්යවරු, කලා වෘත්තිකයෝ, සාහිත්‍යකරුවෝ, පරිවර්තකයෝ, නළුවෝ, නිළියෝ, ගායකයෝ, ගායිකාවෝ කතා ලියන්නෝ රාජ්‍ය තරග සඳහා නාට්‍ය හදන්නෝ, සිවිල් සමාජවරු, පුරවැසිවරු, සාධාරණ සමාජවරු සහ සියයට 6ක බුද්ධිමත්හු යනාදී බොහෝ දෙනා  ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනය නැතිකමේ මේ මහා ජාතික විපත්තියෙන්’ ජාතියත් රටත් බේරා ගැනීම සඳහා යුරෝපීය, එක්සත් ජනපද සහ ඉන්දීය මුල්‍යමය, ක‍්‍රමවේද සහ තාක්ෂණික ආධාර උපකාර රැකවරණ සහිතව අභීතව සටන් බිමට පිවිසුණෝය. ඒ තම තමන් කරමින් සිටි අන් සියලූ වැඩ අත්හැර දමමින්ය. මෙය නම් ආශ්චර්යයක් ම ය.

 

කාගේ වුවමනාවට සහ මෙහෙයුමට අනුව සිදුවුණත් එහි තරමක හෝ වටිනාකමක් ආරක්ෂා කරගැනීමේ ඉඩක් ද තිබුණි. එහෙත් එය රැක ගැනීමට මේ යහපාලනවරුන්ට ඥානයක් තිබුණේ නැත්තේ පැවරුණු කාරිය මිස  වැඩපිළිවෙළ හෝ මුලෝපායික සැලැස්ම ඔවුන්ගේ නොවූ නිසා ය. 2015 ජනවාරි  අදේශපාලනික හවුල් මෙහෙයුම රට අදේශපාලනික නොකොට අන්තර්වාර ජාතික දේශපාලන මොහොතක් නැතහොත් දේශපාලන සංක‍්‍රාන්ති මොහොතක් බවට පත් කර ගැනීමේ ඉඩ ඇහිරී ගියේ කලකට පසු පුද්ගලිකව බලය ලබාගත් දෙපැත්තට පනින්නන්ගේ කණ්ඩායම් සහ කලක් විපක්ෂයේම සිටි අලූත් බල පංගුකාරයින්ගේ පුද්ගලික බල තණ්හාව නිසා ම නොවේ. එනම් මෙහෙයුම සහ මුලෝපායික සැලැස්ම භාරව සිටි ජාතික සහ විජාතික පිරිසට ද එවැන්නක් අවශ්‍ය නොවූ නිසා ය. දින සියයේ එකඟතාව දින සියයෙන් නිම නොවී 2020 දක්වා යනවා යැයි, නැත ඉන් පසුවත් යනවා යැයි කියන එකඟතාව නිසා රටට අත්වුණේ ආණ්ඩුවකුත් නැති, යහපාලනයකුත් නැති, ප‍්‍රජාතන්ත‍්‍රවාදයකුත් නැති අදේශපාලන රෝගයකි. දැන් එය වසංගතයකි.

 

දින සියයේ අදේශපාලන ආණ්ඩුව දින සීයට සීමා කොට අගෝස්තු මැතිවරණයෙන් පසු රටට පැහැදිලි දේශපාලනයක් ගෙන ඒමට තිබු අවස්ථාව මඟ හැරෙන්නේ කිසිම ප‍්‍රතිපත්තිමය එකඟතාවකට ගත නොහැකි එකිනෙකට පරස්පර ජන බලවේග දෙකකට නායකත්වය දිය යුතු එජාපය සහ ශ‍්‍රීලනිපය වෑල්ඩින් කොට සකසන ලද ජාතික යැයි කියාගත්  ‘ජාතික ආණ්ඩුව’ නිසා ය. එහි මුලිකම අර්බුදය නිර්මාණය වන්නේ ශ‍්‍රීලනිප පෝෂක ජන බලවේගය ඒ ඊනියා ජාතික ආණ්ඩුවට මුළුමනින්ම අකැමැති වීම නිසාය. ඒ නිසා සිදුවී ඇත්තේ ජනවාරි දින සියයේ අදේශපාලනික, ජාතික නොවන ජනතාවාදී නොවන පුද්ගල සහ කණ්ඩායම් බල කේන්ද්‍රීය ‘අදේශපාලන වසංගත රෝගය’ට මුළු රට ම මුළු ජාතියම දිගුකාලීනව එනම් මේ දක්වාම ගොදුරු වී තිබීම ය. මේ අදේශපාලන වසංගත රෝගය නිසා සිදු වුයේ පවතින යහපාලන ජාතික ආණ්ඩුවට කිසිදු යහපාලන ජාතික කටයුත්තක් කිරීමට හෝ කිසිදු ජාතික අර්බුදයක් විසඳීමට හෝ හැකියාවක්, වුවමනාවක්, එකඟතාවක් නොමැති වීම ය. සියලූ ජාතික වැඩ අර්බුදකාරී විවාදයක් නො එකඟතාවක් පමණක් බවට පත් වූ සිද්ධි අපමණක් වුවත් ඉන් කීපයක් පමණක් සඳහන් කිරීම පාඨකයාට පහසුවක් යැයි සිතමි.

 

මේ වනවිට රටේ පොදු ජනතාව මුහුණ දෙමින් පීඩාවට පත් වෙමින් සිටින ජීවන අර්බුදය, වකුගඩු වසංගතය, ඩෙංගු වසංගතය, සෞඛ්‍ය අර්බුදය, දරිද්‍රතා අර්බුදය, කැළිකසළ කළමනාකරණය සහ කුණු කඳු අර්බුදය, සයිටම් අර්බුදය, අධ්‍යාපන අර්බුදය, ප‍්‍රවාහන අර්බුදය, වරාය, තෙල් ටැංකි, ගුවන් තොටුපොළ, ඉඩම්   වැනි දේශීය වත්කම් සහ සම්පත් විදේශීය කරන අර්බුදය, රටේ පරමාධිපත්‍ය කෙරෙහි  වූ විජාතික අතපෙවීම් පිළිබඳ අර්බුදය, පාතාල සහ මත්ද්‍රව්‍ය වසංගතය, ප‍්‍රාදේශීය ආණ්ඩු මැතිවරණ අර්බුදය වැනි කිසිදු ජාතික අර්බුදයකට පිළියම් නැති ‘ජාතික’ ආණ්ඩුවක ඇති ‘ජාතිකකම’ කුමක් ද? ‘ජාතික වැදගත්කම’ මොකද්ද? ඒ අර්බුද ජාතික අර්බුද නොවේය, ඒවා හැමදාම තිබුණු ඒවා යැයි පාලකයන් කියන්නේ නම් ජනයා ඇසිය යුත්තේ ‘ඒ එසේනම් ඔබලා ජාතික ආණ්ඩුවක් යැයි කියා එකක් අටවාගෙන ඉන්නේ කවරාකාරයේ මහා ජාතික අර්බුදයක් විසඳීමට ද?’ යන පැනය ය. සියල්ලට හේතුව මේ ආණ්ඩුව අදේශපාලනික විගඩමක් වී පාලකයන්ගේ පුද්ගල අභිලාෂ ඉටු කර ගැනීම සඳහා ම වූ  මෙවළමක් වී තිබීම ය. ඒ අනුව මේ මොහොතේ රටේ ජාතික අර්බුදය වනාහි ‘අදේශපාලන වසංගතය’ ඔඩු දුවා තිබීමය. ඊට පිළියම නම් නැවත රටට දේශපාලනය වැඩම වීමය. එහි ප‍්‍රධාන දායකයා වීමට  මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සුදානම් ද? හැකියාව සහ බලය ඊට යෙදවුවොත් මේ රට නැවත දේශපාලනික වනු ඇත. එවිට බොහෝ හොඳ දේවල් සිදු වනු ඇත.

Read 38 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.