Thursday, 10 December 2020 12:02

දොළුකන්ද කතාවස්තුව

Written by 
Rate this item
(0 votes)

එකල මම රාජකාරි කටයුතු කළේ කඳුරට ගුවන් විදුලියේ. හැම මසකම පසළොස්වක පොහොය දවසේ උදේ පාන්දර සජීවී විකාශනය පැවැත්වුණේ කොතැන හෝ විහාරස්ථානයක ඉඳලා. ඒ වැඩසටහනේ නිෂ්පාදන හා ඉදිරිපත්කිරීමේ කටයුතු පවරා තිබුණේ මට ත් චූලා ටත්. අපි විහාරස්ථාන තෝරාගෙන ඒ ස්ථානයේ ඉඳලා උදේ සිල් දීමේ සිට දිවා බුද්ධ පූජාව දක්වා ආගමික වැඩසටහන් සජීවීව ඉදිරිපත් කළා. 

 

මේ කාලයේ තමයි දොළුකන්දේ පිරිත් පැන් ලංකාව පුරා උන්මාදයක් වගේ පැතිරුණේ. චූලටත් මටත් අවශ්‍යවුණා මේ හාස්කම් ගැන බලන්නත් එක්ක මේ ස්ථානයේ සිට පෝය වැඩසටහන් මාලාව විකාශය කරන්න. දුරකථනයෙන් කතාකරලා වැඩේ ලෑස්ති කරගෙන අපි පෝයට කලින් දවසේ දොළුකන්ද ට ගියා. අපේ කණ්ඩායමේ 06 දෙනෙක්. චූලා, මම, අපේ ඉංජිනේරු කණ්ඩායමේ උදය රණසිංහ, සිරාජ් ලුතුෆි, සහායකයා ගාමිණී සහ රියදුරු කරුණාරත්න. 

 

පන්සලෙන් දැනුම් දුන් පරිදි පන්සලේම කෑම බීම ඉඳුම් හිටුම් ලෑස්ති කරලා තිබ්බා. අපි කලින් දවසේ සවස් වෙනකොට පන්සලට ගියා. පන්සල් සීමාවට හැරෙන තැන මකර තොරණ ගාව ඉඳලා පාර දෙපැත්තේ ගස් වැල් වසාගෙන බැතිමතුන් පඬුරු එල්ලලා. එතන ඉඳලම අපිට දැනුන දෙයක් තමයි මිනිස්සු ප්‍රශ්න වලට තාර්කික විසඳුමක් නැතිවුණාම නොපෙනෙන බලවේග වල සරණ පතනවා කියන එක. අපි යනකොට දොළුකන්දේ උන්නාන්සේ හිටියේ නෑ. පූජාවකට දුරක ගිහින්. අපි පන්සලට ගිහින් තාක්ෂණික සම්බන්දතා පරීක්ෂා කරලා, විදුලිය අවශ්‍යතා සකස් කරලා, ඇන්ටනා හයි කරලා, ඕඩියෝ වයර් ඇදලා සියල්ල ලෑස්ති කළා. 

 

අපිට නවතින්නම දීලා තිබුණේ පන්සලේ යාබද ශාලාවක්. රෑට කෑම කාලා අපි පැදුරු එලාගෙන ඉන්නකොට ඒ අසලම වයසක කෙනෙක් බුලත් විටක් වංගෙඩියක කොටනවා. උදය ට ආසා හිතිලා මට කිව්වා මචං විට ටිකක් ඉල්ල ගනින්කෝ කියලා. මම විට ඉල්ලුවාම මේ මනුස්සයා ගොළුවෙක්. අපිට හයියෙන් හිනා ගියා. මොකද ඔය උන්නාන්සේ ප්‍රසිද්ධ වුණේ ගොළුවෝ කතා කරවන, කොරු ඇවිද්දවන කෙනෙක් හැටියට නේ.  ඉතිං පන්සලේ වැඩට ඉන්න මනුස්සයත් ගොළුවෙක්.

 

පහුවදා උදේ 5 ඉඳලා අපේ වැඩේ පටන් ගත්තා. එදා සුප්‍රසිද්ධ දොළුකන්දේ පූජාව (වතුර පිරිත් කරන) තියෙනවා. බැතිමත්තු පිරිලා කැලේ පුරා මකර තොරණ දක්වා කිලෝ මීටරයක් අරයක් සහිත අඩකවයක ප්‍රමාණයට. හැමෝගෙම අතේ ලොකු පොඩි ප්ලාස්ටික් බෝතල් වල වතුර. ඉස්සරහ තියෙන ජරාවට ගිය පොකුණු දියපාරවල් වලින් පවා වතුර පුරව ගන්නවා. පූජාව පටන් ගන්න කලින් උන්නාන්සේ කියනවා වතුර බෝතල් අතේ තියාගෙන වැඳගන්න කියලා. චූලා මං දිහා බලනවා, මම චූලා දිහා බලනවා. උදය අපි දෙන්නා දිහා බලලා ඇහැක් ඉඟි මරනවා. පුජාව ආගමික නෑ. කුණුහරුප විතරක් නැති බැනුම් කන්දරාවක්. කොට ගවුමට බනිනවා. කරපළල් හැට්ටෙට බනිනවා ඔය ආදී වශයෙන් විවිධ වර්ණයන්ගේ බැනුම් වල එකතුවක් තමයි පූජාව. බැතිමත්තු සාධූ කියනවා. පුජාව ඉවර වුණාම පන්සලේ ඉන්න ලේකම් ලා කිහිප දෙනෙක් පිත්තල පාත්තර අරගෙන බැතිමත්තු අතරට යනවා රත්තරං එකතු කරන්න. බැතිමත්තු අතේ කනේ දාගෙන ඉන්න ඒවා ගලවලා පාත්තරේ ට දාලා හයියෙන් සාධුකාරයක් දෙනවා. පන්සල් තාප්පේ ගාවම හිටියා අම්මා කෙනෙක් තමන්ගේ දරුවා අරගෙන ඇවිත්. ඒ දරුවට බාලපක්ෂාඝාත රෝගය. ඇවිදින්න බෑ. අම්මගේ බලාපොරොත්තුව දරුවා ඇවිද්දවන්න. ඒක හරිම අහිංසක බලාපොරොත්තුවක්. ඒ අම්මා තමන්ගේ කණේ දමාගෙන හිටි අරුංගල් ජෝඩුව ගලවලා අර පාත්තරේට දැම්මා. අපිට දැනුනේ පුදුම වේදනාවක්. හොඳටම පැහැදිලියි ආයෙ ඒ අම්මට ජීවිතේට අරුංගල් ජෝඩුවක් ගන්න ලැබෙන්නේ නෑ.

 

කොහොම හරි වැඩසටහන අවසන් කරනකොට මම කිව්වා අපේ රටේ මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න දොළුකන්ද මකර තොරණ ගාවා ඉඳලා කිලෝමීටරයක ප්‍රමාණයේ වපසරියක ගස්වල එල්ලෙනවා කියලා. ඇත්තටම පැසවන වේදනාවෙන් මම ඒක කිව්වේ.

 

මේ ලේකම්වරු අත පුංචි පිහියක් තියෙනවා. හරියට තේ කප්පාදු පිහියක් වගේ. අපි ඇහුවා ඒක මොකටද කියලා. ගස්වල බැඳලා තියෙන පඬුරු කපලා ඒ සල්ලි එකතු කරන්න. උන්නාන්සේ ගේ දේශනා පූජා අඩංගු කැසට් පට විකුණන අලෙවි කුටි කිහිපයක් මේ භූමියේ තිබ්බා. ඒ එක අලෙවි කුටියක දවසක ආදායම රුපියල් 20,000 - 30,000 අතර ගාණක් බව මගෙත් එක්ක කිව්වේ ලේකම්වරයෙක්.

 

අපි ආපහු එන්න ලෑස්තිවෙලා උන්නාන්සේ ගේ කුටියට ගියා යනවා කියන්න. එතකොට මේ හාදයා ඉංග්‍රීසි බෙහෙත් අහුරක් බොනවා. අපි එකිනෙකා මූණෙන් මූණ බලාගත්තා. උන්නාන්සේ නොමනාපෙන් වගේ කිව්වා. "ඇයි මහත්තයා අර විදියට කිව්වේ?" කියලා. මම කිව්වා "ඇත්තනේ "කියලා. ආපහු වාහනේට නැගලා එන්න හදනකොට අර ලේකම්වරයෙක් ඇවිත් උදයට ලියුම් කවරයක් දුන්නා. උදයා ඒක මට දුන්නා. විවෘත කලාම දාහේ කොළවලින් රුපියල් 6000ක්. වාහනේ නතර කරලා මම බැහැලා ලේකම්ගෙන් ඇහුවා මේ මොකටද කියලා. "මහත්තයලා ඕක බෙදාගන්න" කිව්වා. මගේ උත්තරේ වුණේ. අපිට පඩියක් ගෙවනවා ආයතනය වැඩකරනවට. මේ කලෙත් රාජකාරියක්. මේක ආපහු තියාගන්න කියලා. එතකොට ලේකම් කියනවා අනෙක් ගුවන් විදුලි, රූපවාහිනී වල මහත්තුරු නම් ගත්තා කියලා. කවුද? කියලා ඇහුවාම අපි දන්න කියන මිත්‍රයන්ගේ නම් ටිකක් කිව්වා. මම කිව්වා ඒ ඒ අය. මේ අපි කියලා.

 

එදා දොළුකන්දේ කතාව ඕක. කාලෙකදි කාටහරි කෑගල්ල ගැනත් මෙහෙම ලියන්න පුලුවන් වේවි. ඒත් ඒක සැකයි.

 

ප.ලි. ඔය උන්නාන්සේ කාලයක් මහවැලි ව්‍යාපාරයේ එච් කලාපයේ වැඩකළ ක්ෂේත්‍ර නිළධාරියෙක් බවත් ගුරුවරයෙක් නැතිව සිවුර දාගත් කෙනෙක් බවත්, උපතින්ම දෘශ්‍ය ඌණතාවෙන් පෙලුන අයෙක් බවත් පස්සෙ කාලේ ආරංචි වුණා.

 

- කපිල එම්. ගමගේ

Read 149 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.