මහර බන්ධනාගාරය තුල පසු ගිය සතියේ ඇතිවූ මිනි මැරුම් එහි පළමුවැන්න හෝ අවසාන ඝාතනය නොවේ.මේවා විටින් විට සිදුවන ඛේධජනක මිනිස් ඝාතන පමණක් නොවේ. එය මුර්තිමත් කරන්නේ තමන්ට කිසිම හව්හරණක් නැති මිනිස් සමූහයකට ඉතාම බලවත් , බිහිසුණු රාජ්‍ය තන්ත්රයක් විසින් තම හිතු මතයට ඔවුන්ගේ ජීවිතවලට එල්ල කරන මරණිය තර්ජනයේ ස්වභාවයයි.
බන්ධනාගාරය තුල දිනපතා සෑම පැයකම පාහේ සිරකරුවන් මුහුණ පාන අඩන්තේට්ටම් නිමක් නැත.කිසිම අවස්ථාවක සිරකරුවන් තම අදහස් පල කිරීමට බන්ධනාගාරය තුල ඉඩ ලැබෙන්නේ නැත.එවැනි අදහස් පල කිරීමක් බොහෝ අවස්ථාවල පෙරලා ලබාගන්නේ පරුෂ වචනයෙන් බැන වැදීම් හෝ පහර දීම්ය.සමහර ශිෂ්ටසම්පන්න නිලධාරීන් මෙහි නැතැයි කීම වැරදිය.නමුත් ඔවුන්ගේ මතයන් කිසිවිටෙකත් පවතින තත්වයන් හෝ අවස්ථාවන් වෙනස් කිරීමට තීරණාත්මක ලෙස හේතු වන්නේ නැත.අයුක්තිය සහ අසාධාරණය දිනපතා සිදුවන ජනකොට්ටාශයකට උදහරණයක් අවශ්‍ය නම් ඒ හිරගෙදරය.මිනිසුන්ගේ නෛසර්ගික මිනිස් වටිනාකම සහ අභිමානය බිංදුවට බස්වන හිරගෙදර මිනිසුන්ගේ ජිවිත කාලකන්නි වහල් ජිවිත්යන්ය.
එසේම ලංකාවේ හිරගෙවල්වල පවතින තබදය විශ්වාස කල නොහැකි ලෙස ඉහල මට්ටමක පවතී.සමහර රිමාන්ඩ් සිරකරුවන්ට නිදාගැනීමට හෝ සිටගෙන සිටීමට වත් ඉඩක් නැත. ඉන්න වෙන තැනක් නැති නිසා ඔවුන් රෑ පුරාම වසිකිලවල සිටගෙන සිටිති.ඒ වැසි කිලිවලට දොරවල් නැත.එක අයෙකු වැසිකිලිය පාවිච්චි කරන විට එයට තවත් 25ක් හෝ 30ක් උදේට පෝලිමේ සිටිති.අලුත් කඩේ රිමාන්ඩ් බන්ධනාගාරයේ 1970 ගණන්වල මුල් භාගයේ අප සිටින විට එහි පැවති තත්වය එසේය.
මහර බන්ධනාගරයේද එවකට එයට වඩා වෙනසක් තිබුනේ නැත.තදබදය ,පහසු කම් වල තත්වය මෙන්ම මිනිස් අභිමානය අහිමිකිරීම වැනි ජනතා විරොධී ක්‍රියාවන් ලංකාවේ බන්ධනාගාර වල හංවඩුව වී ඇත. නමුත් දේශපාලන නායකයන්ට සහ ප්රභූන්ට සලකන ආකාරය `මෙයට ඉඳුරාම වෙනස්ය .මහර බන්ධනාගාරයේ ද මා 1975 අවුරුද්දේ වසරක් පමණ හිරකරගෙන සිටි අතර මහර මෑතදී ඇති වූ ඝාතනයන් මට මහත් කම්පාවක් ගෙනදුන් සිද්ධියක් විය.මේ සමයේ ම සමග සිටි රැඳවියන් අතර දැනට මාග නම් ඉංජිනේරු සමාගමේ නිර්මාතෘ කැප්ටන් කුලරත්නද සිටියේය.
දැනට පත්කර ඇති කොමිසම හිරකරුවන්ගේ අදහස් විමසීමක් නොකරනු ඇත.එයට හේතුව නම් ඉන් කරනු ඇත්තේ පරිපලාලනය පැත්තෙන් ඉදිරිපත් විස්තරය සාධාරණිය කරණය කිරීමක් මිස වෙනයමක් නොවේ.පරිපාලනය කිසිදා කිසිදෙයක් ඉගෙන ගන්නේ නැත.ඔවුන් සිරකරුවන් පාලනය කිරීම පිලිබදව පුහුණුවක් නොලබන තාක් කල් මෙවැනි සිද්ධීන් දිගටම සිදුවීමේ අනතුර ඇත.ඒ සෑම අවස්ථාවකම මේ රටේ යුක්තිගරුක මිනිසුන්ගේ හුර්ද්සාක්ෂියේ කළු ලපයක් සනිටුහන් කරනු ඇත.ඔබට මිනිස් අභිමානය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් සිර ගෙවල් වලට යන්න එපා.එහි ඔබ තවත් ඉලක්කමක් පමණි.
- දයාපාල තිරාණගම