Wednesday, 25 March 2020 02:07

අහු මුළුවලට දැමූ සමාජවාදය ව්‍යසනයකදී එළියට එන හැටි - තුසිත පතිරණ

Written by 
Rate this item
(0 votes)

සමාජවාදය කියන නම අහද්දී මොකද්දෝ අමුත්තක් දැනෙන පිරිස් අපේ සමාජයේ වැඩියි. ඒක ඒ මිනිසුන්ගේ වරදක් හෝ සමාජවාදයේ වරදක් නොවන බව දේශපාලනිකව එය විග්‍රහ කර බැලීමේදී වඩාත් පසක් වන කරුණක්. මිනිස්වර්ගයාට ඇති අති මහත් ප්‍රේමය ආදරය නිසාම ඒ සදහා වන ගොඩ නැගුමක් න්‍යායිකව හා ප්‍රායෝගිකව අප දුටුවේ සෝවියට් දේශයේදීයි. එම දේශපාලන සුළඟ අනතුරුව අත් විදින්නේ කියුබාව නැමැති පුංචි කොදෙව්වකින්. කියුබාවේ මහා ධානපතීන් හෝ වෛවර්ණ නානාවිධ මෝස්තරයක් ගැන ලොව කොතැනකවත් කතා නොකළත් කියුබාව ගොඩ නැගූ මිනිසුන් හා එහි වාසය කරන මිනිසුන් පිළිබද ලොව නන් දෙස කතා බහට තවමත් ලක් වෙමින් තිබේ.

 

ඒ අතර කියුබාවේ නියමුවා වන ෆිදෙස් කැස්ත්‍රෝ නම් ආදරණීය නායකයා මෙන්ම ඔහුගේ අනුගාමිකයා වු චේ ගුවේරා පිළිබද තවමත් හදවත් තුළ මහා පිබිදීමක් ඇති කිරීමට සමත්කමක් ඇති මිනිසුන් ලෙස එදා අද මෙන්ම හෙටද ලියවීමටත් කියවීමටත් ආධ්‍යාත්මිකව විදීමටත් පදනමක් ගොඩ නගා ඇත.

ඇයි මෙපමණ බඩු භාණ්ඩ ගැන හා සංවර්ධනයේ සර්ව පිත්තලකම් ගැන කතා කරද්දී මිනිසුන් පිළිබද කතා වෙන්නේ..? ඒ අන් කවරක් නිසාවත් නොව ඔවුන් අනුගමනය කළ දේශපාලන න්‍යායයේ උසස් බව හා උත්තුංග බව නිසාවෙනි. ඒ නම් සමාජවාදයයි. මොනවද මෙයින් වෙන්නේ. දැන් දියුණු ලෝකයේ සමාජවාදය කියන එක සෙට් වෙන්නේ නැති න්‍යායක් විදියට බොහෝ දෙනා පැත්තකට දමා ආර්ථික හා දියුණු සංවර්ධනයේ ධනේෂ්වර මූලයන් වෙත ඔලු සෝදා ඇති වටපිටාවක මිහි මත ඇති සියලු ගුණවත් කම් තූ තූ කොට දමා ගොඩ නැගෙන අමුතු පන්නයේ සිස්ටම් එකක් මත හිත දුවන මිනිසුන් තැනදී නැත්තටම නැති වෙන්න ඇද වැටෙද්දී නැවත මිනිසුන්ට මනුෂ්‍යත්වය පිළිබද කතා කිරීමට අවස්ථාවක් එළඹෙන පළමු මොහොතේම සිහි වන්නේ හෝ නිරායාසයෙන් එතුළ ගැබ් වන්නේ අර ඉවත් කළ පැත්තකට දැමූ සමාජවාදී න්‍යායයි. 

එහෙත් අපි එය ඒ නමින්ම ගැනීමට තරම් කුහකයෝ වී ඇති වටපිටාවක වෙනත් නාමකරණ අස්සේ රිංගා හෝ එයින් වැඩක් ගැනීමට අවස්ථාවක් එන විට එහි වටිනාකම් අදාළ දේශපාලන න්‍යායක් මතට දැමීමට තරම් පොහොසත් සිත් ඇත්තන් නොවන තැනට මනස විකෘති කොට දමා හමාරය. 

මේ අටුවා ටිප්පනි අස්සේ කියා පෑමට වන කතාවක් ඇත. කියුබාවේ වෛද්‍යවරු පිරිසක් කොරෝනාවෙන් දැඩි පීඩනයට ලක්ව ඇති ඉතාලියට ගොඩ බසින්නේ ලොව පුරාම ඉතාලියේ මිනිසුන් එකා පිට එකා මරණයට පත්වෙමින් පවතින වටපිටාවකය. ඔවුන් පැමිණ සිදුකරන කාර්යය සම්බන්ධයෙන් සජීවී තොරතුරු වසන් කළත් මේ වන විටත් ඔවුන් පැවැති මරණ සංඛ්‍යාව අඩු කිරීමට ඉක්මන් ක්‍රියාමාර්ගයන්ට එළඹෙමින් තිබේ. ලොව මහා පතාකයන් ලෙස නම් දරා ඇති ඇමරිකාවට පවා හරි හමන් වෛද්‍ය පහසුකම් සපයා ගත නොහැකි වටපිටාවක වෛද්‍යවරු මිනිස් වර්ගයාගේ යහපැවැත්මට හා ජීවිත ආරක්ෂා කිරීමට පුරුදු පුහුණු කොට එම සේවාව වීරත්වයට හා ප්‍රමුඛත්වයට ලක් කොට ගොඩ නැගූ කියුබාවෙන් පිහිට පැතීමට සිදුව ඇති තැනක ඔවුන්ගේ වටිනාකම් කීමට කිසිදු මාධ්‍යයක් පෙර කී මහා බලවතුන් යොදවා නොමැති වුවත් ප්‍රචාරණයට වඩා ප්‍රාණයන් ආරක්ෂා කිරීම මූලික කොටගෙන ගොඩ නැගූ වෘත්තීයක් අදාළ ගුණයන් සමග මහ පොළොවේ සජීවී වන අයුරු කාගේත් පැසසුමට ලක්ව ඇත.

ඉතිං සමාජවාදය තව තවත් ප්‍රචාරණවාදී මාධ්‍යෙය් කුණු කූඩයට ගියත් එහි ගුණයන් මූලිකව මිනිසාගේ චිර පැවැත්මට ඉවහල් වන බව පැවසිය යුතුමය. 

ඔව් .. ගොම රිටි උඩ පාවෙන විට බබලන මාණික්‍යයන් එගං පතුලේ තිබෙන බව පමණක් සිහි එළවා ගත යුතුමය. එබැවින් නපුරු සුළි සුළං හැමූ මුත් වසන්තය කැන්දන්නේ මිනිසුන්ට ආදරේ කරන න්‍යායකින් මිස ගොම රිටි මතින්නොවන බව තවදුරටත් පසක් වන ඇත..  ආදරණීය ෆීදෙල් ආදරණීය චේ .. නුඹලා මිහි මත සදාතනික මිනිස් ගුණයක් සේ පැවතීම කිසිවෙකුට වළකා ලිය නොහැක්කේ ඒ නිසාය. 

 

- තුසිත පතිරණ - 

Read 88 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.