Monday, 08 October 2018 10:05

අමුඩය හැඳ සිටින ගොවීන්ටත් පිදුරංගල තහනම්ද?

Written by 
Rate this item
(0 votes)

 

පිදුරංගල ගැන මේ දවස්වල බොහෝ දෙනා කතාකරනවා. ගොඩාක් දෙනා ඒ නම මීට කලින් අහලත් නැහැ. ඒ නිසාවෙන්ම සමහරු සුපුරුදු පිදුරුතලාගල එක්ක පිදුරංගල පටලවාගන්න බවකුත් පෙනෙනවා. පිදුරුතලාගල කියන්නේ ලංකාවේ උසම කන්ද. ඒක තියෙන්නේ නුවර එළියේ. නමුත් පිදුරංගල තියෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ සීගිරි පර්වතයට මුහුණලා එයට කිලෝමීටර් 2 ක් පමණ ඈතට වෙන්න. පිදුරංගල ගැන කියනවිට මගේ මතකය මීට වසර තිස් ගණනක් ඈතට දිවයනවා. ඒ කුඩා පෝතක බාලදක්ෂයෙකු විදියට එයට ආසන්න තල්කොටේ වැවේ බාලදක්ෂ කඳවුරකට සහභාගී වීමේ මතකයයි. දින කිහිපයක නේවාසික කඳවුරක් වූ එහි එක් දිනක ක්‍රියාකාරකමක් වූයේ  පිදුරංගල කන්ද නැගීමයි. කඳවුරු බිමින් උදෑසනම පිටවි ආ අපි  පිදුරංගල පන්සලට නොදුරින් පිහිටි කුඩා අඩ් පාරක් දිගේ ඉහලට නැගලා  එහි ශේෂව තිබුණු බෞද්ධ විහාරයක නටබුන් නරඹමින් කන්ද ඉහලටම නැංගා මතකයි. කන්ද මුදුනට එන්න විහාරයේ නටබුන් පසුකර තවත් ඉහලට යායුතු වනවා. වනතුරුලිය අතරින් ඉහලට ගමන්කළවිට සීගිරිය ඉතා ලස්සනට පෙනෙනවා. දහදිය සලමින් ඉහළට නැගුණු අපට කඳු මුදුනට ගලා ආව සිහිල් සුළඟ ගත දැවටෙන විට ලද සුවය තාමත් මතකයේ පවතිනවා.

 

 

පිදුරංගල කියන්නේ මුහුදු මට්ටමින් මීටර් 340ක් විතර ඉහළට නැගුණු කුඩා කඳුගැටයක්. එහි ඉතිහාසය දිවෙන්නේ ක්‍රි.ව 473 සිට 495 දක්වා වන කාශ්‍යප රජුගේ කාලයේ සිටයි. සිය පියා වන ධාතුසේන රජු මරා ‍රජකම ලබාගත් කාශ්‍යප රජු සීගිරිය තම මාළිගය බවට පත්කරගත්තේ සිය සහෝදර මුගලන් කුමරුගේ ආක්‍රමණයෙන් බේරීමට බවයි ඉතිහාසයෙන් කියවෙන්නේ. සීගිරිය ගොඩනැගීමේදී ඒ අවට භාවනානුයෝගීව සිටි 500 ක් පමණ වූ හිමිවරුන් එතැනින් ඉවත්කර ඒ හිමිවරුන්  සඳහා කාශ්‍යප රජු විසින් මෙම විහාරය තනවා පූජා කළ බවත් ඒ අනුව "පිදූ+ආරන්+ගල" යන්න පසුව පිදුරංගල වූ බවත් ජනප්‍රවාදයේ කියැවෙනවා.

 

තවත් කතාවකින් කියැවෙන්නේ කාශ්‍යප රජු සමග යුද්ධයට යෑමට පෙර මුගලන් කුමරු විසින් මෙම විහාරයට රත්රන් පූජාකළ බවත් ඒ අනුව "රන් පිදූ ගල" පිදුරංගල වූ බවයි.

 

මහාචාර්ය සෙනරත් පරණවිතාරනයන්ට අනුව පිදුරංගල විහරයේ ඇති ස්ථූපයේ කාශ්‍යප රජුගේ භශ්මාවශේෂ තැන්පත් කර තිබෙනවා. කාශ්‍යප රජු මුගලන් කුමරු සමග සටන් කිරීමට යෑමේදී සිය සේනා සමග ඉදිරියෙන්ම ඇතෙකු පිට ගමන් කර තිබෙනවා. ගමන්මග ඉදිරියේ වු මඩ ගොඩක් හේතුවෙන් සිය ඇතු  නැවත හැරවීමේදී සිය රජු පරාදය පිළිගෙන පසු බසින බවට වරදවා වටහාගත් කාශ්‍යප රජුගේ සෙබළුන් පැනයෑම හේතුවෙන් තනිවූ කාශ්‍යප රජු සියතින්ම ගෙල සිඳගෙන දිවි නසාගත් බවත් කියැවෙනවා. සිය සොහොයුරු කාශ්‍යප රජුගේ සිරුර ආදාහනයකර එන භෂ්මාවශේෂ තැන්පත්කර මුගලන් රජු විසින් මෙම ස්ථූපය නිමවු බවටයි විශ්වාස කෙරෙන්නේ.

 

පිදුරංගල කන්ද තුළ භික්ෂූන් වහන්සේලා භාවනානුකූලව වැඩසිටි බවට සැළකෙන කටාරං කෙටූ ගල් ගුහා 26  තිබෙනවා. මෙහි බුදු පිළිම රාශියක නටබුන් පිහිටා තිබෙන අතර සැතපෙන පිළිමය සහිත ලෙන අඩි 200 ක් පමණ දිගුවනවා. මෙම සැතපෙන පිළිමය අඩි 48 1/2 ක දිගකින් යුතු, ගඩොල් සහ මැටි වලින් සැකසූ ආසියාවේ දිගම පිළිමය ලෙස සැලකෙනවා. ඒත් අවාසනාවට මෙම පිළිමය නිධන් හොරුන් විසින් හාරා විනාශකොට තියෙනවා.

 

පිදුරංගල මුදුනේ අංශක 45ක පමණ ආනතියකින් යුතු විශාල කලුගලක් තියෙනවා.එය ක්‍රිකට් පිටියක් විතර විශාලවු ගල්තලාවක්.

 

සීගිරියට පෙර අපගේ ලිඛිත නොවන ඉතිහාසයට අනුව ක්‍රි.පූ 2554 සිට ක්‍රි.පූ 2517 දක්වා ලංකාවේ රජුව සිටියායැයි කියන රාවණා රජුගේ දඬුමොණර යන්ත්‍රය අහසට නැංවීමට මෙම ගල්තලාව උපයෝගි කරගත් බවටත් ජනප්‍රවාද වල සඳහන් වනවා.

 

කෙසේ වෙතත් මෙතුවක් බොහොමයක් දෙනාගේ අවධානයට ලක්නොවූ පිදුරංගල එකවරම බොහොමයක් දෙනාගේ අවධානයට ලක්කෙරෙන වැඩක් තරුණ ළමුන් කිහිපදෙනෙක් විසින් පසුගියදා  කර තිබෙනවා. ඒ මීට පෙර විදෙස් ජාතික තරුණියක් සිය පශ්චාත් භාගය පෙනෙන ලෙසින් පිදුරංගල ගල්තලාව මත සිටගෙන සීගිරිය දෙස බලා සිටින ආකාරය දැක්වෙන චායාරූපයක් අන්තර්ජාලයේ දැක, ඒ අනුව යමින් එම තරුණයන්ද සිය යට ඇඳුම් දනහිසින් පහලට ගලවා, මුහුණූ නොපෙනෙන පරිදි ඡායාරූපයට සිය පශ්චාත් භාගයන් නිරාවරනය කොට ගන්නා ලද ඡායාරූප  සිය මුහුණු පොත්වල සටහන් කිරීමෙනුයි.

 

නමුත් ඔවුන්ගේ මුහුණු පොත් වලින් සොරාගන්නා ලද එම ඡායාරූප විවිධ වෙබ් අඩවි වල ප්‍රචාරයකිරීම නිසාවෙන්ම එම දරුවන් විශාල ගැටලුවකට මැදිවුණා මෙන්ම සමාජ විරෝධය මතුවීමෙන් අවසානයේ පොලිස් අත්ඩංගුවට පත්ව බන්ධනාගාර ගතවීමට පවා සිදුවුණා. මෙම සිදුවීම ගැන මා නම් සිතන්නේ මෙතරම් දුර දිග යා යුත්තක් නොවන බවයි. එම ඡායාරූපය ගෙන තිබුණේ පිදුරංගල ගල මතුපිට සිට මිස පුරාවිද්‍යා නටඹුන් වලට පිටුපා හෝ ඊට  අගෞරවයක් කරන පරමාර්ථයකින් නොවන බව පැහැදිලියි. තවද එහි අමුඩයක් හැඳගත් අයෙකුගේ නිරාවරණය වන කොටස් හැර වෙනත් කොටසක් නිරාවරනය විමක් ද සිදුව නැහැ. එසේ නම් පුරාවිද්‍යා ස්ථාන ආශ්‍රිතව ඇති කුඹුරුවල ගොවිතැන් කරන අමුඩයෙන් සැරසුණ ගොවියන් සියල්ලටද ඔය ස්ථානවලට පැමිණෙන වැදි  ජනතාවට ද එරෙහිව අශ්ලීල ප්‍රකාශන ආඥාපනත යටතේ නඩු දාන්න වෙනවා. කායවර්ධන ක්‍රීඩාවන් වලදීත් මීට වඩා සිරුරේ කොටස් නිරාවරණය වන අතර එවන් තරඟ රූපවාහිනී චැනල් මගින් විකාශය මගින් පවා විකාශණය කරනවා. ඔය විදියට බැලුවාම පිදුරංගල ඉදිරියේ එදෙස බලා සිටින සීගිරි අප්සරාවන් ට ද ඇඳුම් ඇන්දවියයුතු වනවා.

 

අනෙක් අතට එලෙස ඡායාරුප ගැනීමට තහනම් වන්නේ ශ්‍රීලාංකිකයන්ට පමණක් ද යන්නත් පැහැදිලි නැහැ.

 

මුහුණු නොපෙන්වා , වැඩිදුර නොසිතා හුදු විනෝදයට පමණක් සිදුකර ඇති මෙම ක්‍රියාව ලංකාවේ ඇති දැවෙන ප්‍රශ්නයක් ලෙස සලකා ඉතා කෙටිකලක් තුළ එම තරුණයන් ගේ මුහුණු නිරාවරණය කොට ඔවුන්ගේ අනන්‍යතාව හෙලිකොට, බන්ධනාගාර ගතකිරීමට ක්‍රියාකිරීම තුළ, එම තරුණයන්, ඔවුන්ගේ ඥාතීන් පමණක් නොව එම තරුණයින් ඉගෙනගත් පාසැල් පවා පත්ව ඇත්තේ බලවත් පීඩාවකටයි. යම් වරදක් සිදුව තිබේනම් එයට මෙතරම් ප්‍රසිද්ධියක් නොදී එම තරුණයන් ගෙන්වා අවවාද කිරීමට, සාරධර්ම අනුව ජීවත්වීමේ අවශ්‍යතාව ගැන කියාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගතහැකිව තිබුනා නොවේද?

 

නීතිවේදී වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ

Read 72 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.