"මේ මනුස්සයට හූනියමක්වත් පෑගිලද මංදා... රෑ තිස්සෙ ඇහැරගෙන. ඒ මදිවට කල්පනාව.."
"තෙල් ඩිංගක්වත් සාත්තු කලොත් නරකද අම්මෙ.."
"තෙල් නෙවේ බං. මට හිතයි නිමිත්තක්වත් බලන්ට.. කවුද දන්නෙ මොන වින්නැහියක්ද කියලා.."
ඤාණා දරුවාට කිරි දෙමින්ම රාස්සගල මුදුන දෙස බලා සුසුමක් හෙලුවාය. අයිවන් දවස තිස්සේම හේනත් සමග පොර අල්ලමින් සිට එන්නේ රෑට රෑ වූ පසුවයි. විජේපාලද දැන් සති දෙක තුනකට පෙර පිරිවෙනට ගිය පසු එහිම නැවතුනු බව කියා ලියුමක් එවා තිබුණි. හිතුවක්කාරෙට බොස්වොර්ඩ් ලැයිමේ වේලු සමග පැන ගිය ලලිතා බදුල්ලේ වත්තක ඉන්නා බවට ආරංචි වූයේ විජේගෙනි.
"මිනිස්සු සී සීකඩ යද්දි ගහකොල සතා සීපාවා උනත් වෙනස් වෙනවා අම්මා.."
රාත්රිය තම අන්ධකාර හස්තයේ කඳු මුදුනට ගෙන ආවේ මුරුගසන් වරුසාවක්.. වහලය බේරා වැටෙන වැහි බිඳු ගොම පොලොව සිපගනිද්දි මානිස් නැගිට පැදුර දුරට කර එලාගත්තේ බෙලෙක්කයක් වතුර වැටෙන තැනට තියමිනි. අකුණු සර එක පිට එක වදිමින් පොළොව දෙදරන්නට විය. එකිනෙකා බදාගත් ගස් මහ හඬින් නගන විලාපය පපුව කීරි ගස්සමින් සිරුර තුලට ගිලා බසීයි. මානිස් සරම ඉහේ සිට පොරවා ගනිමින් තවත් ගුලි විය..
හොඳින් හුරු පුරුදුය. ඔව් ඒ නම් අර දෑසමය. මානිස් පැදුර මතම හිඳ ගත්තේය.. ඒ දෑස දොරකඩට වී මානිස් දෙස බාලා හිඳියි... එදා වාගේමය. ඒ නම් කමටහනකි. වෙනසකට ඇත්තේ ඇසිලිනාගේ ගොරොද්දයයි. පුපුර ගසමින් අහස හඬද්දී මානිස් ඒ දෑස දෙස වශිකෘතව උන්නේය..
එය සෙමින් පිටුපසට යන්නා සේ හැඟෙයි. සෙමින් නැගිටගත් මානිස් ඒ පසුපස ඇදුනේ අඳුරේමය. පිල්කඩ මත සිට බලද්දී වැස්සේම ඒ දෑස ඇහැල ගහ දෙසට සෙමෙන් ඇදීයයි. මානිස් ද ඒ හා සමාන්තරවම පය මාරු කලේ වැහි බිඳුද නොතකාමය. වැහි බිඳු හිසේ සිට පාදාන්තය දක්වාම ගලාගොස් ඉරි තැලුනු යටි පතුල සිපගනි. මඩ සහිත මිදුල චිරිචිරි ගායි.. ඇස් ඇහැල ගස තුලට වැඳ නොපෙනී ගියේය.. ඇහැල කඳ අත ගාමීන් මානිස්ද ඒ තුලට පිවිසෙන්නට පාරක් සොයයි. එක්වරම විශාල ආලෝක දහරාවක් මානිස්ගේ දෑස නිලංකාර කරමින් ඇහැල කඳ වටා විහිදුනි..
නිවැසියෝ තවමත් නින්දේය. හිරු පමණක් කඳු අතරින් එබී තම දෑස වළාවකින් වසා ගත්තේ යළිත් එය නොදකිනු පිණිසය. මල් පවා නොපිපී යළිත් නටු තුලටම රිංගා ගත්හ. කුඩා සත්තුද උන් තැනම ගල් වී සිටියහ. දෑස පියවුනු මානිස්ගේ සිරුර බදාගෙන බිම වැටී සිටි ඇහැල ගහ පමණක් එකී මෘත ක්ලේබරයේ අවසාන උණුහුම් සුසුම විඳ ගත්තේය ..
-ඉරේෂා මධුවන්ති-