Tuesday, 20 February 2018 14:15

මහජාතියේ තිදෙනෙක්

Written by 
Rate this item
(0 votes)

ප‍්‍රසන්න විතානගේ, අශෝක හඳගම සහ විමුක්ති ජයසුන්දර තුන්ඈදුතු සිනමා නිර්මාණයක් ලෙස තිදෙනෙක් මුල්වරට දුටුවේ ඊයේ සන්ධ්‍යාවේ ය. මේ සිනමාකරුවන් තිදෙනා සිනමාවට එක් කළ සාධනීය නිර්මාණයන් නිසාත් ශ‍්‍රී ලාංකීය සිනමාවේ මානය කොදෙව්වෙන් එහාට පුළුල් කිරීම වෙනුවෙන් කළ මැදිහත් වීම නිසාත් තිදෙනෙක් නැරඹීම සඳහා තරංගනීයේ අසුන්ගත්තේ ප‍්‍රසන්න හැගීමෙනි. යුද්ධය පාදක කරගනිමින් විවිධාරයේ සිනමාත්මක මැදිහත් වීම් සිදු කළ ඇති මේ තිදෙනා මෙවර එක්ව නිර්මාණය කළ ‘තිදෙනෙක්’ උදෙසා ද තේමාව කරගන්නේ යුද්දෙන් පසු දෙමළ සමාජයේ තත්වයන් ත‍්‍රිත්වයකි. සිනමා දැක්ම ආරම්භයට පෙර හඳගම කියූ ලෙසින් ම තවමත් වසා නොමැති යුද්ධ නම් ගිණුම මේ තිදෙනා ම නිිමිත්ත කරගෙන තිබේ.

 

සිනමා කෘතිය (කෘති 3* නැරඹීමෙන් අනතුරුව මට ඇති වූ හැඟීම මේ ආකාරයෙන් ලියා තබන්නේ ප‍්‍රසන්න, හඳයා හෝ විමුක්ති කළ පමණින් සෑම සිනමා කෘතියක්ම විශිෂ්ටයි, මාරයි, පට්ටයි යනුවෙන් බොරු කියන්නට බැරි නිසා ය. මගේ නිරීක්ෂණය අනුව මෙය අතිශ්‍ය දුර්වල වෑයමකි. ජාතික අර්බුදය සම්බන්ධ කථිකාමය තලයේ සිට සිනමාත්මක භාවිතය දක්වා මේ දුර්වලකම එකසේ පැතිර යයි.

සිනමා කෘති ති‍්‍රත්වය තුළ ම සිනමාකරුවන් තිදෙනාම ගොදුරු වූ අවිඥානික අර්බුදයක් තිබේ. කතා සිරුරු තුනේ ම මහා ගැලවුම්කාරයෙක් ලෙස ‘සිංහල පිරිමියෙක්’ පෙනී සිටියි. ප‍්‍රසන්නගේ නිර්මාණයේ දී එය හඳගම නම් සිනමා අධ්‍යක්ෂවරයාට සමාරෝප කරයි. විමුක්තිගේ නිර්මාණයේ දී මේ ගැලවුම්කාර සිංහල පිරිමියා පාසැල් සිංහල ගුරුවරයා ය. හඳගමගේ නිර්මාණයේ දී ඒ සමාරෝපය තී‍්‍රවිල් රියදුරාට ලබා දී ඇත. මේ සිංහල පිරිමි තිදෙනො අවස්ථා ති‍්‍රත්වයක දී සිය මානව හිතවාදී නැඹුරුව යොදා ගනිමින් පීඩාවට පත් ‘දෙමළා’ වෙනුවෙන් අනුකම්පාවේ හස්තය දිගු කරයි. කතා සිරුරු තුන හැඩගැන්වීම සඳහා එකී අනුකම්පා ප‍්‍රවේශය ලස්සනය. එහෙත් ඒ තුළ ඔවුන් තිදෙනාම අවිඥානිකව හෝ සිදුකරන්නේ දැවැන්ත දේශපාලන වරදකි. තිදෙනාම සාකච්ඡුා කරන ගැටලූව විසඳීම වෙනුවෙන් තිදෙනාම අවිඥානිකව යෝජනා කරන ප‍්‍රවේශය අතිශ්‍ය අදේශපාලනික වන්නා සේම වෙනත් කෝණයකින් යළිත් ජාතිවාදය කුළුගන්වන්නකි.

මේ තත්වය ඉතාම මැනවින් ඉස්මතු වන්නේ විමුක්තියේ නිර්මාණය තුළ ය. තිදෙනෙක් තුළ අසාර්ථකම නිර්මාණය දායක කරන විමුක්ති, පුනරුප්පත්ති කතාවක් කියන දරුවාත් ඇගේ මවත් අවසානයේ සිංහල ගුරුවරයාගේ කොළඹ ගෙදරක සඟවන තැනින් කතාව අවසන් කරයි. ඒ කොටි පැටියෙක් උපදුණා යැයි හෙට සිට ගමට වෙන අනතුරෙන් ගමත් ඒ පවුලත් මුදවා ගනු රිසියෙනි. ඉතා යහපත් සාධනීය ප‍්‍රවේශයක් ලෙස පෙනුනද මේ පිටුපස නිර්මාණකරුවා නොදුටු හෝ හිතා මතා මඟහැරි යථාව වන්නේ වෙනකකි. එනම් ගැටලූවට පිළිතුරු සිංහල නිවසක දෙමළා සැඟවීමයි. සිංහල දෙමළ වාර්ගික සමඟිය නිරූපණය කිරිීමට එය කදිම යැයි හැගුණත් එයින් වක‍්‍රව කියා සිටින්නේ සිංහල මහජාතියේ රැුකවරණය යට සිටින තාක් දෙමළා සුරක්ෂිතබව නොවේද...?

අතුරුදහන් වූ සිංහල සොල්දාදුවෙක් ගැන තැවෙන කාන්තාවක් වටා ප‍්‍රසන්න සිය කතා සිරුර ගොඩනඟද්දී හඳගම අතුරුදන් සැමියෙකු සහ පුතෙකු සොයන දෙමළ අම්මා කෙනෙක් සහ බිරිඳක් වටා සිය කතා සිරුර ගොඩනගයි. ප‍්‍රසන්නගේ නිර්මාණය අවසානයේ එකී කාන්තාව අපට මුණගැසේ. ප‍්‍රසන්න අපට ඇය පමණක් නොව තවත් තිදෙනෙක් මුණගස්වයි. ඒ සොල්ලාදුවාට දාව උපන් දරුවාත් ඇගේ වත්මන් සිංහල සැමියා සහ ඔහුගේ ලෙයින් උපදින්නට කුසේ සිටින දරුවා ය. හඳයා සමඟ පැමිණෙන දෙමළ චිත‍්‍රපට පිස්සා තමා මෙතෙක් රහසක්ව රැුකගත් සොල්ලාදුවාගේ මරණය ගැන කාන්තාවට සැලකරයි. එහෙත් එය දැනගැනීමෙන් ඇය මහා විපර්යාසයකට පත්නොවේ. ඇය පවසන්නේ සොල්දාලූවා අතුරුදහන්ව වසර දෙකක් ගත වූ පසු ඔහු මිය ගිය බව තමන් තේරුම් ගත් බවයි. එසැණින් එතැනට පැමිණෙන ඇගේ නව සැමියා ඇය ඉතා කුළුපග ලීලාවෙන් මේ දෙදෙනා හඳුන්වා දෙයි. සැමියාට මේ අමුත්තන් දෙදෙනාව ඇය හඳුන්වා දෙන්නේ මිය ගිය තම පළමු සැමියාගේ යහළුවන් දෙදෙනෙක් කියා ය. එය ඇසීමෙන් ඔහුට මේ අමුත්තන් ගැන අතිවන ගෞරවය බඩඉරිගු කරල් තෑගී කිරීමේ යත්නය හරහා ප‍්‍රසන්න දිගහරින්නට මාන බලයි. මේ සමුදය චිත‍්‍රය තුළ කියැවෙන්නේ කුමක්ද...? සිංහල පිරිමින් අතුරුදහන් වී වසරක් දෙකක් ගිය තැන සිංහල ගැහුණු හිත හදාගෙන වෙනත් පිරිමියෙකු සමඟ යහපත් ජීවිතයක් ගත කරන බවයි. රණවිරු වැන්ඳඹුවන් කිසිඳු පැකිලීමකින් තොරව කසාද බැඳගන්නට සිංහල පිරිමින් සුදානම් බවයි. ‘තාත්තා ආවම මම කියනවා කියා’ මේ කාන්තාව ලව්වා ප‍්‍රසන්න අපට පුන පුනා අහන්නට සලස්වන වචන කිහිපයෙන් ගම්‍යමාන වන යටි අරුත වන්නේ කිසිදු අරෝවකින් තොරව රණවිරු ලෙයින් උපන් දරුවාට පුතා කියන්නට වත්මන් ඇගේ සැමියා සූදානම් බවයි.

ප‍්‍රසන්නගේ එසේ පවසද්දී හඳගමගේ නිර්මාණය තුළ අපට මුණගැසෙන්නේ අතුරුදහන් වූ සිය සැමියා සොයා යන බිරිඳක් සහ පුතෙක් සොයා යන මවක් ය. යුද්ධය අවසන්ව ඇතත් ඔවුන් දෙදෙනාම තම අතුරුදහන්වුවෝ සොයා දැඩි අරගලයක නියැලෙති. දෙමළ සමාජය සිය අතුරුදහන්වූවෝ සොයා මෙසේ අරගල කරන බවට හඳයා කියද්දී ප‍්‍රසන්න සිංහල සමාජය සිය අතුරුදහන් වූවන් අමතක කර දමා හිත හදාගෙන යහපත් පවුල් ජීවිත ගත කරන බව පුන පුනා ප‍්‍රකාශ කරයි. එසේ නම් අවිඥානිකව මොවුන් දෙමළාට යෝජනා කරන්නේ උඹලත් සිංහලයන් මෙන් අතුරුදහන් වූවෝ අමතක කරදමා යහපත් පවුල් ජීවිත ගත කරනු කියා ද...? මොවුන් දෙමළ සමාජයට යෝජනා කරන්නේ සිංහල සමාජය රණවිරු වැන්ඳඹුවන් භාරගන්නා ලෙසින් එල්.ටී.ටී.ඊ වැන්ඳඹුවන් භාරගැනීමට කටයුතු කරනු කියා ද...? මෙය අතිශ්‍ය දැවැන්ත දෘෂ්ටිමය මුලාවකි.

සිනමාකරුවන් තිදෙනාම ප‍්‍රශ්නය අල්ලාගෙන ඇත්තේ ඉතා ම සිල්ලර ආකාරයට ය. එහි නිවැරැුදි ගැඹූර කරා තිදෙනාම නොපිවිසේ. යම් තරමකට හෝ සාධනීය ප‍්‍රවේශයක් අත්පත් කරගන්නේ හඳගම පමණි. එය ද මාර වැඩක් නොවේ. මා විශ්වාස කරන පරිදි තිදෙනාම යෝජනා කරන දෙමළ ජනයාගේ ප‍්‍රශ්නය විසඳාගැනීමේ අනුකම්පාසහගත ප‍්‍රවේශය විසින් මේ අවිඥානික අර්බුදය නිර්මාණය කර තිබේ. සත්‍ය වශයෙන්ම දෙමළ ජනයාට අවශ්‍ය සිංහල මහජාතියේ අනුකම්පාව නොව. ඔවුන්ට මේ මොහොතේ අවශ්‍ය වන්නේ සමානාත්මතාවයි. තමන් මිනිසුන් ලෙස අයිතීන් දිනා ගැනීම උදෙසා කරන අරගලය අවම වශයෙන් සාධාරණයැයි පිළිගැනීමකි.

ලස්සන කතා තුනක් ගොතන්නට අනුකම්පාවේ මාවත තෝරා ගැනීම වෙනුවට අරගලයේ මාවත තෝරා ගත්තා නම් මේ කෘතිය හෝ කෘති ති‍්‍රත්වය මීට වඩා උපයෝගිතාවක් ලාංකීය සිනමාවටත් සමාජයටත් කරනු ඇත. අවාසනාවකට එය එසේ නොවූයේ මෙය වෙනත් ව්‍යාපෘතියක පළයක් වූ නිසා ද...? නැතිනම් ඒ ගැන අවධානයක් යොමු නොකළ නිසා ද...? එසේත් නැතිනම් එය අවධානය යොමු කළ යුතු දෙයක නොවේ යැයි ඔවුන් සිතූ නිසා දැයි නොදනිමි.

 

- අසංක සායක්කාර

Read 371 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.