Saturday, 28 October 2017 02:51

මගේ කවි පීඩිතයාට සරණක් නම්, එයයි මගේ කවියේ පැතුම – ශ්‍යාමලී වසන්තා සුබසිංහ

Written by 
Rate this item
(0 votes)

කවිය කුමන සමාජ ප්‍රකාශනයක්ද ?

කවිය කියන්නේ දරාගන්ඩ අපහසු සිද්ධියක් වූවත් දරාගත හැකි ලෙස සමාජයට දිය හැකි සංවේදී මාධ්‍යක්. සරලව ගතහොත් කවියාට මොහොතකින් කඳුලත් කවි පදයක් කරගන එහි වේදනාත්මක බව අඩුකරගත හැකියි..

 

වර්තමාන කවිය නිදහස් ආරක් ගැනීම නිසාම බොහෝ පැරණි කවීන් මේ සදහා චෝදනා එල්ල කරනවා.. කවිය කා දැමුවා යැයි .. ඔබ කුමක්ද මේ සම්බන්ධයෙන් පවසන්නේ

වර්තමාන කවිය, කවිය හැඩකලා මිස කා දැමුවා යැයි මා අදහන්නේ නෑ…පැරණි කවියාගේ පද වලට වඩා නූතන කවියාගේ පද ඉදිරියෙන් කියා කියන්නේ නෑ ඒත් අද කවියා මනා ලෙස සිය පද ගැලපුම මෙන්ම වචන හරඹයද අපූර්වාකරයෙන් ඉදිරිපත් කරනව..

සිව් පද ආකෘතිය සහ නිදහස් ආර අතර වන හැප්පීම ඔබ නිර්මාණයේදී කෙසේද දකින්නේ

සිව්පද ආකෘතියට වඩා නිදහස් ආර කවියට පහසු සහ යෝග්‍ය මාධ්‍යක් ලෙස මම දකිනව. සිව්පදයක එලිවැට එලිසමය අතර හිරවී ඉන්නවාට වඩා නිදහස් පද ගැලපුම මට නම් මනරම්.

ෆේස් බුක් වැනි සමාජ ජාල මගින් බිහිවන කවි බොහෝ ශෘංගාරයටම බර ඒවා බව පොදු මතයයි.. ඇත්තටම එහි කතා කළ යුතු දෙයක් ඇත්තේම නැද්ද

.ෆේස්බුක් කවි පිටු නූතන කවි සිත්වල හැරවුම් ලක්ෂයක් සේ මම දකිනව. මන්ද මගේ කවිය අළුබලු ගසා කල එළි වුනේ මේ කවි පිටු නිසාම බව මා දන්නා නිසා. මට මගේ කවිය බොහෝදෙනා අතරට රැගෙන යාමට හැකිවුනේ සහ හොද රසික පිරිසක් හමුවුනේ ෆේස්බුක් කවිපිටු හරහා වීමයි…ඒ වගේම පුවත්පත් කවි පිටුවල වගේ කවිය පලවෙන තුරු බලා සිටීමට සිදු නොවීම මෙහි ඇති ලොකුම වාසියයි….

ෆේස් බුක් කවියට අගතියක් එක් කළාද ?

කෙසේවත් නෑ. ෆේස්බුක් ඕනෑම දෙයක් පලකරගත හැකි මාධ්‍යක් වූවද ඉතා හොද උසස් රසිකත්වයක් ඇති බොහෝ දෙනා මෙහි ගැවසෙනව…මෙහි බොහෝ හරවත් කවිපිටු වගේම හරවත් මිනිසුන් ඉන්නව…කවියේ ප්‍රගතිය දකින්නට මට හැකි වුනේ මේ හරවත් රසවිදින්නන් නිසායි…අගතිගාමී මිනිසුන් නිකරුනේ මෙහි ගැවසුනාට හරවත් මිනිසුන් ඔවුන් බාධාවන් කරගන්නේ නෑ . මන්ද ඕනෑම තැනක රස්තියාදු කාරයින්ද සිටීම අනිවාර්ය දෙයක්. ඔවුන් නැත්නම් උසස් රසවිදින්නන් ඉන්නා බවක් අපටද නොතේරේවි…

ඔබගෙ නව කෘතීන්ට පාදක වන වස්තූ බීජයන් සම්බන්ධයෙන් යමක් පැහැදිලි කළොත්

.මගේ නව කෘතිය පුරාම සමාජගත බොහෝ සිද්ධීන් වල සාමාන්‍ය ඇසට නොපෙනෙන දේ දකින්ඩ මම උත්සාහ කළා. කවියාට තෙවනි ඇසක් ඇවසියි….මා තුලින් එය ඉටු වූවාදයැයි නොදනිතත් මම උත්සාහ කලේ සමාජය නොදකින දෙයක් සාමාන්‍ය සිද්ධීන් තුලත් ගෙන හැර දැක්වීමටයි. එකම හිනාවක්…කවිපෙල තුළ අන්තර්ගතය විමසා බලන්න මම ඔබට ඇරයුම් කරනව

සමහරක් විට ඔබට නොසිතෙන කඳුලක් උතුරේ මිනිසුන්ගේ ඇස් වල තියනවා නේද කියල ඔබට දැනුනොත් මට මගේ කවිය පිලිබද සතුටක් දැනේවි….ටියුෂන් පිළිබද ලියූ අනිත් කවියෙනුත් මා දකින දේ ඔබටත් දැනෙනවාද බලන්න ලඟපාර කවිය කියවන්න..

මා දැක තිබෙනවා ඔබගේ නිර්මාණවලදී පොදු සමාජ පීඩිත බලවේග පාදක කර ගන්නවා.. මෙය පොදු ජන මතයේ දී පීඩිතයන්ට සරණක් සදහා උපයෝගී වන්නක්ද ?

මගේ කවි වලින් පීඩිතයාට සරණක් වෙනවා එයයි මගෙ එකම පැතුම. එසේම ඒ වෙනුවෙන් තවත් බොහෝ කවි මා අතින් ලියවේවි…එසේනම් කවියන් මීට වඩා දෙයක් කරාවි…කවියාට එසේ පෙලහරක් කළ නොහැකි වූවත් කවියෙන් අසරණයා පීඩිතයා දෙස අළුත් ඇහැකින් බලන්ඩ හැකි ඇස් කීපයක් හෝ ඇහරවන්ඩ අපිට පුලුවන් වේවි…කවිය අවියක් කොට යුධ වැදිය නොහැකි සමාජයට අපි සංවේදී ඇසක් හිතක් හෝ නිර්මාණය කරන්ඩ උත්සාහ ගනිමින් සිටිමු…

කවියේ දේශපාලන භාවිතාව ගිලිහෙමින් පවතිනවා කිව්වොත් .. විශේෂයෙන් 70-80 දශකවල පමණක් නොවේ එස්. මහින්ද හිමියන්ගේ කවි වල පවා මේ කියන දේශපාලන නැඹුරුව දක්නට ලැබුනා වර්තමාන කවිය තුළ දක්නට නොලැබෙන තරම් මේ ගැන ඔබේ අදහස කුමක්ද ?

බොහෝ නූතන කවීන් සිය කවියෙන් පවතින හෝ පැවතුන දේශපාලනික අඩුපාඩු මෙන්ම වැරදි කවියෙන් සමාජගත කරනව.බොහෝ විට කවියා පවතින දේශපාලනික පැවැත්මේ විරුද්ධවාදියෙක්…මාත් එසේ බොහෝ කවි ලියා තිබෙනවා…..බලන්ඩ මා ඉදිරිපත් කල මේ කවිය

බොහෝ කවි කිවිදියන් පරපුරක් නියෝජනය කරනු ලබනවා.. ඔබ වර්තමාන නිර්මාණකරුවන් එවැනි පරපුරක් වෙත නාමකරණය කරන්නේ නම් ඒ සදහා හොදම නමක් හෝ එහි අන්තර්ගතය පැහැදිලි කළ හැකිද ?

ඔව් නූතන කවි පරපුරේ මා අදහන කවීන් අතර මහින්ද ප්‍රසාද් මස් ඉඹුල….රුවන් බන්දුජීව…ටිම් රාන් කීර්ති වගේ අය ඉන්නව. ඔවුන්ගෙන් මගේ කවිය පෝෂණය ලැබුවා. ඔවුන් වයසින් මට බාල වූවත් කවියෙන් මට වඩා බොහෝ ඉදිරියෙන්..
රුවන් බන්දුජීවගේ මීලඟ මීවිත කවිපොත මා විශ්මපත් කලා… ඒ වගේම ටිමාගේ යන්නං චන්දරේ….මස් ඉඹුලගේ ඇහිපියන් ඇහැරිලා…හිරුත් හිම පියල්ලක..වැනි කවිපොත් මාව නව මඟකට ගෙනගියා කිව්වොත් නිවරැදියි…..එතෙක් කවියේ හරිමඟ නොදැන සිටි මා ඉන්පසු මගේ කවිය නියමිත මාර්ගයට ගත්ත…නූතන කවීන්ගේ කවිපොත් නොකියවා කවිය රැගෙන අඳුරේ අතපත ගාන බොහෝ කවීන්ට මම කියන්නෙ මේ කවිපොත් කියවන්න කියල.

ඔබගේ කෘති දෙක සම්බන්ධයෙන් හා ඔබට ඒ සදහා උපකාරී වූ අය කවරෙක්ද ?

මගේ පලමු කවිපොත සිතුවිලි දෙසිත. 2005 වසරේ කරද්දි අඩුම තරමෙ කවිපොතක පිටකවරය හෝ පොතේ මූලික දේ ගැනවත් නොදැන කරපු පොතක් වුනා…නමුත් එය මට ලොකු අත්දැකීමක් වුනා….ඉන්පසු විකසිත සියපත අනුරාධපුර රජරට සේවයේ කවිකාර තවත් දෙපලක් වුන….අඹගහවැව රතනසාර හිමි හා ධම්මිකා දමයන්ති රාජකරුණා කිවිඳිය හා එක්ව එළිදැක්වුවා…ඉන්පසු 2014 වසරේ සඳ දුරයි මගේ තුන්වන කවිපොත එළිදැක්වූවා….සඳ දුරයි පිලිබදවත් මට සෑහීමකට පත් වෙන්ඩ බෑ එහිත් වැරදි අඩුපාඩු ගොඩයි….
මහින්ද ප්‍රසාද් මස් ඉඹුලගේ හා රුවන් බන්දුජීවගේ මීලඟ මීවිත…..චන්ද්‍රසේන බදුගම කවියා මට ගෙනත් දුන්නේ ඔය අතරයි…අහන්න…..මට මගේ කවි පිලිබද ගොඩක් දුක දැනුනෙ එදායි….ඉඳින් මගේ කවියේ හැරවුම් ලක්ෂය එයයි…ඉන්පසු බොහෝ පුවත්පත් කවිපිටු මත මගේ කවි නිතරම පලවුනා දිවයින වටමඬල මට දුන් සහය අපමනයි…ස්තූති කලයුත්තේ එවන් පුවත්පත් මට දුන් සහය වෙනුවෙන් හා රජරට ගුවන් විදුලිය මට දුන් අපමන සහය වෙනුවෙනි…..මූණුපොත මට මගේ කවියට බොහෝ හරවත් රසික පිරිසක් එක්කර දුන් වගද සටහන් කරමි…

ඉදිරියේදී කවි මගට එක් කිරීමට බලාපොරොත්තු වන දේ කුමක්ද ?

දැන් කවියෙන් මම බොහෝ දුර ඇවිත් බැවින්…ටිකක් නතරව ගීත රචනය දෙසට හැරෙන්නයි බලාපොරොත්තුව. දැනට මගේ ගීත 6 ක් පමණ කර අවසන්. ඉදිරියේදී ඒ සදහා පියවරක් තැබීමට සුදානමක් තියෙනවා.
මා තුළ සිටින කථා ගොතන්නිය අවදිකරවා නවකථාවක් ලිවීමේ අරමුණක්ද මට තියනව…ඇහිඳගත්තු මුතු අකුරු මගේ කෙටිකථා පහක් අඩංගුයි….වරින් වර මා පුවත් පත් සදහා යොමු කොට පල වූ කථා එහි අඩංගුයි….නවකථාවක් ලියන සිහිනය අත්නොහැර මා ලඟම තියාගන්නව….මගේ කෙටිකථා කියවා ඒ සදහා ඔබගේ අදහස් ලබා දෙනවා නම් මට බොහෝ වටිනව…අමිල චින්තක ගමගේ….සමග දෙයියන්දර ගමගේ ප්‍රකාශන ආයතනයට ගොඩක් පිං…බොහෝ දේ කරදරයකින් තොරව මට කර දුන්නාට….

 

සාකච්ඡා සටහන – ඇසළ මනුප්‍රිය

ඇය ලියූ පොත් අවශ්‍ය නම් පහත දුරකථන අංකයන්ට අමතන්න

0114873833

0112225226

Read 26 times Last modified on Saturday, 28 October 2017 02:57

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.