Sunday, 30 April 2017 01:29

අඩනිරුවතින් කාම අපරාධ වෙන්නෙ නෑ  - වෛද්‍ය කපිල රණසිංහ 

Written by 
Rate this item
(0 votes)

අතීතයට සාපේක්ෂව වර්තමානයේ මානව ලිංගිකත්වය සමාජය හමුවේ නිරාවරණය වෙනවා; මින් සමාජයට අයහපතක් විය නොහැකිද?

ඔය ප්‍රශ්නයට උත්තර දීමට කලින් ලිංගිකත්වය කියන්නේ මොකක්ද කියන එක ගැන සාමාන්‍ය විස්තරයක් කළ යුතුයි. මොකද අපේ සමාජයේ ලිංගික කියන වචනයත් එක්කම ‘අසභ්‍ය’ කියන වචනයත් එක් වී තිබෙනවා. අසභ්‍ය කියන්නේ ප්‍රසිද්ධියේ කීමට හෝ කිරීමට නොහැකි දේවල්; නමුත් ලිංගිකත්වය කියන්නේ මේ ලෝකයේ සත්ත්ව වර්ගයාගේ පැවැත්මට ඉවහල්වන ප්‍රධානම ජෛවමය බලය සහ ආවේගය; විවිධ සතුන් සහ විවිධ පුද්ගලයන් සම්බන්ධයෙන් ඒක විවිධ අයුරින් බලපානවා; ඒ වගේම ලිංගිකත්වය කියන්නේ හුදෙක් ලිංගික ක්‍රියාවට නොවෙයි; ඒ හා සබැඳුණු අතිවිශාල පුළුල් විෂය පරාසයක් මානව ලිංගිකත්වය තුළ ගැබ්ව තිබෙනවා; ඒක මිනිස් ශිෂ්ටාචාරය, සභ්‍යත්වය සමඟ බැඳී පවතින අවස්ථාත් ඕනෑ තරම් තිබෙනවා. ඒ වගේම මිනිස් ශිෂ්ටාචාරය සහ සභ්‍යත්වය කියා දෙයක් ස්ථාපිතව ඇත්තේත් මිනිසාගේ ලිංගිකත්වය පදනම් කරගෙනයි.

 

ඒක නිදසුනක් මගින් පැහැදිලි කළොත්?

මේක තේරුම් ගන්න බොහොම පහසුයි; ශිෂ්ටාචාරගත මිනිසුන් හැටියට අපි විළිවහගන්නේ ඇයි?අපිට ලිංගිකත්වය මත පදනම් වූ ලැජ්ජාවක් තිබෙන  නිසා. ඒ වගේම ලිංගිකත්වය කියන්නේ වනචරකමක් යන්නත් හුදු මිත්‍යාවක්

‘වනචරකම’ කියන්නේ ලිංගිකත්වය නොනිසි ලෙස කළමනාකරණය කිරීමටයි.

 

 

නමුත් අතීතයට සාපේක්ෂව වර්තමානයේ ලිංගිකත්වය කොතෙක් දුරට සාමාජගත වී තිබෙනවාද? කීවොත් ලෝකයේ ලිංගික සංස්කෘතීන් පවා බිහිවෙලා තිබෙනවා.

 

ලිංගිකත්වය සංස්කෘතිකාංගයක් හැටියට බිහිවුණේ ශිෂ්ටාචාරයේ ඇරඹුමත් සමඟයි. ලෝකයේ පැරණිතම ශිෂ්ටාචාරයක් වන මොහෙන්දොජාරෝ හරප්පාවල ස්ත්‍රී යෝනි සංකේතය වැඳුම් පිදුම්වලට ලක්වුණා. ඊට පසුව සංවර්ධනය වූ හින්දු ආගමේ ශිව ලිංග සංකේතයට මිනිසුන් විඳිනවා පුදනවා වගේම විවිධ වතාවත් පවත්වනවා.

 

අපේ රටේ ආගමික උත්සව වල තියන කප් සිටුවීම, දිය කැපීම වගේ පූජා චාරිත්‍ර තුළත් ඉතා පැහැදිළි ලෙස ලිංගික සංස්කෘතික ලක්ෂණ ඇති බව මානව සහ සමාජ විදාඥයන් හඳුනාගෙන තිබෙනවා; ඒ වගේම පොරපොල් ගැසීම, අංකෙලිය ආදී ජන ක්‍රීඩා තුළින් ලිංගිකත්වය නිරූපණය කෙරෙන සංකේත සහ ලක්ෂණ ඕනෑ තරම් දකින්න පුලුවන්; ඉතින් කොහොමද අපට ලිංගික සංස්කෘතිය අලුත් දෙයක් වන්නේ.

 

අතීත සරල කෘෂිකාර්මික සමාජයේ දක්නට නොලැබුණු අන්දමේ ‘විවිධත්වයක්’ නූතන තාක්ෂණික සමාජය තුළ දක්නට ලැබෙනවා; ඒ වගේම අතීතයට සාපේක්ෂව නූතන මිනිසා ලිංගිකත්වය අතින් ද විවිධත්වයක් අපේක්ෂා කිරීමේ තත්ත්වයක් දක්නට පුලුවන් නේද?

 

මිනිසා ලිංගිකත්වයේ විවිධත්වය සොයා ගියේ ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටමයි. සාමාන්‍ය ලිංගික චර්යාවන්ට පරිබාහිර ලිංගික චර්යාවන් ; ලිංගික අවවර්තනයන් (sexual perversion) වශයෙන් නවීන විද්‍යාවේ හැඳින්වෙන ලිංගික චර්යාවන්ට මිනිසුන් නැඹුරුවූ අවස්ථා ලෝකයේ සෑම ශිෂ්ටාචාරයකින්ම අසන්නට ලැබෙන පුරාණෝක්තිවල සඳහන්; බයිබලයේ සේම බෞද්ධ පන්සිය පනස් ජාතක පොතේත් එවන් විවිධාකාර ලිංගික චර්යාවන් පිළිබඳව එළිපිටම කතා කෙරෙනවා; නමුත් අතීත සමාජය ඒවා අසභ්‍ය දේවල් හෝ කුණුහරුප වශයෙන් සැලකුවේ නැහැ. ඊට හේතුව ඒවායින් මතුවන දාර්ශනික හරය සමාජ ශෝධනයට ඉවහල් වූ නිසා.

 

එදා සභ්‍ය වශයෙන්ම මිනිසුන්ට හැඟුණු දේවල් අද අසභ්‍ය වශයෙන් හැ‍ඟෙනවා; ඒ මිනිසා සභ්‍යත්වයෙන් ශිෂ්ටත්වයෙන් එදාට වඩා දියුණුවක්; පරිණාමයක් ලබා ඇති නිසා නේද?

 

සභ්‍යත්වය සහ සදාචාරය කියන්නේ තුලනාත්මක සහ සාපේක්ෂක දෙයක්. අපි වසර දෙදහසකට වඩා ඉපැරණි බෞද්ධ සංස්කෘතියකට හිමිකම් කියන බව කීවත් අපගේ වර්තමාන සදාචාර පරමාදර්ශ පැන නැගී තිබෙන්නේ සියවසකට හමාරකට කලින් එංගලන්තයෙන් බිහිවූ වික්ටෝරියානු සදාචාරය පදනම් කර ගෙනයි; මේ වික්ටෝරියානු සදාචාරය කෙතරම් බරපතල විදිහට අපේ රටට බලපෑවාද කීවොත් ලිංගිකත්වය පිළිබඳව කරුණු දැක්වෙන පැරණි ජාතක කතා නවීන ලේඛකයන් ලියුවා නම් එකත් එකටම ඒවා අසභ්‍ය  කෘති ලෙසත් පැරණි සීගිරි චිත්‍ර නවීන සිත්තරකු ඇන්දා නම් ඒවා අසභ්‍ය රූප ලෙසත් හැඳින්වෙන්න ඉඩ තිබුණා.

 

එතකොට ඔබ කියන්නේ අපි දැන් මේ වික්ටෝරියානු සුචරිතවාදී අකල්පවලින් මිදී නැවතත් පැරණි යුගය කරා ගමන් කළ යුතු බවද?

 

වික්ටෝරියානු සුචරිතවාදය සංකල්පයක් මිසක් පරමාදර්ශයක් නෙවෙයි; අඩුම තරමින් වික්ටෝරියානු සුචරිතවාදය ලොවම හඳුන්වා දුන් එංගලත්තයේවත් අද එය පරමාදර්ශයක් ලෙස සැලකෙන්නේ නැහැ. නමුත් අපට තවමත් ඒ යටත් විජිත මානසිකත්වයෙන් අත්මිදීමට නොහැකිවී තිබෙනවා; ඒ බොහෝ විට සමාජයේ හනමිටි අදහස් දරණ සදාචාර කුහකයන්ගේ විරෝධතා නිසයි. ඒක අපේ සමාජ යහපැවැත්මට  ප්‍රබල බාධාවක්; නමුත් මානසික සාධක මත රඳා පවතින දෙයක් නිසා ඒ බාධාව සමාජයේ මතුපිටින් ප්‍රදර්ශනය වන්නේ නැහැ. ඒක විශ්ලේෂනාත්මකව අධ්‍යයනය කළ යුත්තක්.

 

කාන්තාවන් ගේ සිරුරම වැසෙන සේ ඇඳුම් ඇඳීම පරමාරදර්ශයක් බවට පත් වික්ටෝරියානු සුචරිතවාදය පිටු දැක යන්තම් නිරුවත වසා ගන්නා කාන්තා විලාසිතා බහුල වීම කාමාපරාධවලට අතවැනීමක් විය නොහැකිද?

 

ඇත්තෙන්ම අඩ නිරුවත් කාන්තා විලාසිතා වලින් සමාජයට අහිතකර බලපෑමක් සිදුවන්නේ නැහැ. එසේ සිදුවන්නේ සමාජයේ ඇති සාම්ප්‍රදායික ආකල්ප නිසයි. එසේ නොමැතිනම් ප්‍රායෝගිකව සිදුවන්නේ ඔය කාරණයේ අනික් පැත්තයි; වික්ටෝරියානු සුචරිතවාදය යටතේ බ්‍රිතාන්‍ය කුල කාන්තාවන් තම අත් පවා මේස්වලින් වසා ගත යුතු යුගයක් තිබුණා. අදත් එංගලන්ත රාජකීයයන් විවිධ අවස්ථාවන්හි  ඒ සිරිත් අනුගමනය කරනවා; එසේ කාන්තාවන් අත් මේස් පැළඳ සිටි කාලයේ ඔවුන් තමන් ඉදිරියේ ඒ අත්මේස් ඉවත් කිරීම පවා පිරිමින් තුළ ලිංගික හැඟීම් පිබිදවීමට සමත් වූ බවට පිළිගත හැකි සමාජ විද්‍යාත්මක මූලාශ්‍ර තිබෙනවා.

 

ඒවගේම අපේ රටට පැමිණෙන යුරෝපීය තරුණියන් යන්තම් විලිවැසෙන යටිකය ඇඳුම්වලින් සැරසී සිටිනු අප ඕනෑ තරම් දකිනවා ඒක ඔවුන් ගේ සංස්කෘතිය; නමුත් සංස්කෘතික වශයෙන් කාන්තාව තමන් ගේ මුළු ශරීරයම ඇඳුම්වලින් වසා ගෙන සිටින සමාජයන්ට සාපේක්ෂව ඒ යුරෝපීය රටවල ස්ත්‍රී දූෂණ, ලිංගික අපචාර බෙහෙවින් අඩු බව ලොව පුරා සිදු කරන ලද බොහෝ සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා; ඒ අනුව අපට වටහා ගත හැකියි නේද? ලිංගිකත්වය කියන්නේ හුදෙක් මනෝ මූල සිද්ධාන්ත හා මොළයේ හටගන්නා ජෛව රසායනික ක්‍රියාවලියක් මත ඇතිවන චින්තන, සංනිවේදන සහ චර්යා රටාවක් කියන එක. අඩනිරුවත් කාන්තා විලාසිතා සමාජයට අහිතකර නොවන බව මා කියන්නේ ඒ පදනමේ සිටයි.

 

දමයන්ති ගමගේ

Read 208 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.