Wednesday, 29 April 2020 02:33

කොරෝනා ව්‍යසනයෙන් පසුව මෙතෙක් පැවැති ලෝකය, ඉදිරියේදී දකින්න ලැබෙන එකක් නැහැ. – කථිකාචාර්ය සුමිත් චාමින්ද

Written by 
Rate this item
(0 votes)

” මිනිස් ඉතිහාසයේ ලොව ව්‍යසනකාරීත්වයන් පසුකොට පැමිණ ඇති අතරම, කොරෝනා ව්‍යසනය නව ලෝකය තුළ යම් රටක් අත්පත් කරගත් සියලු සක්‍යතාවයන් සුනු විසිනු කොට දමා අවසන්ය. දැනුදු පවතින ව්‍යසනයේ අනාගත ලෝකය හා එහි රාජ්‍යයන්ට අත්පත්වන ඉරණම හා ලෝක බලවතුන් ව්‍යසනය හමුවේ දණ ගසා සිටීමෙන් පෙන්නුම් කරනුයේ කුමක්ද ? කොරෝනාවෙන් පසු එළඹෙන ලෝකය කවරාකාර ද ? මේ ඒ සම්බන්ධයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන අංශයේ කථිකාචාර්ය සුමිත් චාමින්ද සමඟ මාධ්‍යවේදී  තුසිත පතිරණ කළ කතා බහයි..,”

 

කොරෝනා අර්බුදය හමුවේ ලෝක මට්ටමේ සියලූ රාජ්‍යයන් අඩපනව පවතිනවා. ආර්ථික මෙන්ම සමාජයීය දේශපාලනබල තුලනයක් බිඳ වැටෙමින් පැවතීම ලොව තුළ නව ආර්ථික හෝ දේශපාලනික ගොඩනැගීමක් වීම සම්බන්ධයෙන් නැඹුරුවක් පවතිනවද?

මුලින්ම කියන්න  ඕන කොරෝනා අර්බුදය ගෝලීය තලයේ අර්බුදයක්. ඒ වගේම ඒක බහුවිධ අර්බුදයක් බවත් අපි වටහා ගන්න  ඕන. මේ අර්බුදය මහජන සෞඛ්‍ය පිළිබඳ අර්බුදයක් විතරක් නෙවෙයි. මෙහි ආර්ථික, දේශපාලනික, සමාජ විද්‍යාත්මක වගේම සමාජ මනෝ විද්‍යාත්මක පැතිමාන දෙසත් අපි බලන්න  ඕන.  ඒ වගේම මේ අර්බුදය මගින් අද පවතින ජාත්‍යන්තර පර්යාය බරපතළ වෙනසකට ලක් වෙන්න පුළුවන්. මෙහි ඓතිහාසික පැතිමානයකුත් තිබෙනවා. කොටින්ම මේ අපි ජීවත් වෙන්නේ ඉතිහාසයේ ඉතාමත් වැදගත් ඛණ්ඩනීය නිමේෂයක වෙන්න පුළුවන්.

කොරෝනා අර්බුදයෙන් පසුව ගොඩනැගෙන ලෝකය මොන වගේ එකක් වෙයිද කියන එක දැන්ම කියන්න බැහැ. අනාගතය ඉතාම අවිනිශ්චිතයි. ඇත්තෙන්ම මේක අවිනිශ්චිතතාවේ මොහොතක්. මේ මොහොත තුළ කෙරෙන මානවීය මැදිහත්වීම්වලින් තමයි අනාගත ලෝකය හැඩගැසෙන්නේ. ඒ අරුතින්, අර්නෙස්ටෝ ලැක්ලාවුගේ යෙදුමක් භාවිතා කළොත් මේ දේශපාලනිකයේ ( the political) මොහොතක් කියන්න පුළුවන්.

මේ අර්බුදයේ පරිමාව තේරුම් ගන්න ගොඩක් දත්ත ඉදිරිපත් කරන්න අවශ්‍ය නැහැ. අපි මූලික ආර්ථික දත්ත කීපයක් සලකලා බලමු. Dow Jones කොටස් වෙළෙඳ පොළ දර්ශකයේ 1987 වර්ෂයට පස්සේ එක දවසක් තුළ ඇති වුණු විශාලතම බිඳ වැටීම පසුගියදා වාර්තා වුණා. මේ දර්ශකයෙන් පෙන්වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ විශාලතම සමාගම් 30ක කොටස් වෙළෙඳපොළ තත්වයයි. එක්සත් රාජධානියේ විශාලතම සමාගම් 100ක කොටස් වෙළෙඳ පොල තත්වය පෙන්වන FTSE දර්ශකයටත් සිදු වූයේ එයමයි. මෙයින් හැඟවෙන තවත් කාරණයක් තමයි විරැකියා අනුපාතයේ සීඝ‍්‍ර ඉහළ යාම. The Guardian  සඟරාව පසුගිය අප්‍රේල් දෙවනදා වාර්තා කරපු විදියට ඇමරිකා එක්සත් ජනපදයේ මිලියන 3.3ක ජනතාවක් එක සතියක් තුළ විරැකියා සහතික පුරවලා තියෙනවා. ඒ ලිපියේම එක්සත් ජනපදයේ කම්කරු දෙපාර්තමේන්තුවේ හිටපු ප‍්‍රධාන ආර්ථික විද්‍යාඥයාව උපුටා දක්වමින් පවසන්නේ පසුගිය පෙබරවාරි මාසයේ 3.5%ක් වුණු විරැකියා අනුපාතය පසුගිය සති දෙක ඇතුළතදී 17%ක් බවට පත් වී ඇති බවයි. කොරෝනා අර්බුදයෙන් බරපතළ විදියට බැට කන ඉතාලිය, ස්පාඤ්ඤය, එක්සත් රාජධානිය වගේ රටවල තත්වයත් මේ වගෙයි. අද ලෝකයේ රටවල් 100ක් පමණ තම රටවලට සංක‍්‍රමණයවීම පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් තහනම් කරලා තියෙනවා. සැලකිය යුතු රටවල් සංඛ්‍යාවක් තමන්ගේ දේශසීමා වහලා දාලා තියෙනවා. ගුවන් සමාගම් රැසක් ක‍්‍රියාත්මක වෙන්නේ නැහැ.

මේ අර්බුදයේ පරිමාව 2007/2008 මූල්‍ය අර්බුදයට වඩා විශාල වූවක් බව ඉතාම පැහැදිලියි. යානීස් වරූෆකීස් නමැති විශිෂ්ඨතම දේශපාලන ආර්ථිකවේදියා කියන්නේ මේ අර්බුදය 1929 මහා ආර්ථික අවපාතයට සමාන වූවක් නැත්නම් ඊටත් වඩා බරපතළ එකක් බවයි. 1929 අර්බුදය යුරෝපීය එකක් වුණා නම්, ඊට සියවසකට විතර පස්සේ එන මේ 2020 අර්බුදය පැහැදිලිවම ගෝලීය එකක්. අපි දන්නවා, ජර්මනියේ නාසිවාදය මතු වෙන්න හේතු වුණු දේශපාලන අර්බුදය ගොඩනැගුනේ මහා අවපාතය සමගයි. එක්සත් ජනපදයේ සහ බොහොමයක් යුරෝපීය රටවල අන්ත-දක්ෂිණාංශික ජාතිකවාදී ව්‍යාපාර මතුවෙන්න 2007/08 මූල්‍ය අර්බුදය බලපෑවා. අද තියෙන සාකච්ඡාව තමයි ඒ හැම අර්බුදයකටම වඩා ගෝලීය ව්‍යාප්තියක් තියෙන  මේ 2020 අර්බුදයෙන් සමස්ත ගෝලීය පර්යායම මොන විදියට වෙනස් වෙයිද කියන එක. ඒක මොන ස්වරූපයක් ගන්නා පරිවර්තනයක් වෙයිද කියන කාරණය තවම පැහැදිලි නැහැ. නමුත් මෙතෙක් පැවැති ලෝකය අපට ඉදිරියේදී දකින්න ලැබෙන එකක් නැහැ.
මම කැමතියි ස්ලේවොයි ශීෂෙක් නමැති සමකාලීන ජීවමාන දාර්ශනිකයා කියන දෙයක් මෙතනට එකතු කරන්න. ශීෂෙක් කියනවා ගොඩක් දෙනෙක් මේ කොරෝනා අර්බුදයෙන් පස්සේ ආපහු තමන්ට පුරුදු ‘සාමාන්‍ය තත්වයට’ යන්න හිතාගෙන හිටියත් ඇත්තෙන්ම ඒ සාමාන්‍ය තත්වය තවදුරටත් පවතින එකක් නැහැ කියලා. ලංකාවේ අපිත් මේ දීර්ඝ නිරෝධායන කාල පරිච්ඡේදයකට පස්සේ ගෙවල්වලින් එළියට යන කොට ආයිමත් අර සුපුරුදු පරණ සාමාන්‍ය තත්වය හමු වෙයි කියලා හිතනවා නම්, ඒක ලොකු මායාවක්. (ඇත්තෙන්ම ලංකාවේ පැවතුණු සාමාන්‍ය තත්වය වෙනස් වෙන්න ගත්තේ පහුගිය ජනාධිපතිවරණයත් එක්ක. කොරෝනා අර්බුදය මගින් සිදු වෙමින් තියෙන්නේ ඒ ක‍්‍රියාවලිය වේගවත් වීමක්)

බලවතුන් යැයි උදම් අනමින් සිටි පිරිස් ඇද වැටීම සම්බන්ධයෙන් කවර කියවා ගැනීමක්ද පවතින්නේ ?

ඇත්තෙන්ම ගෝලීය බලවතුන් අතර සමතුලිතතාව කොහොමටත් බිඳ වැටෙමින් තිබුණේ. විශේෂයෙන්ම ආර්ථිකමය වශයෙන් චීනයේ නැගීමත් එක්ක ලෝකයේ බලවත් රාජ්‍ය වශයෙන් සිටි එක්සත් ජනපදයේ තත්ත්වය කිසියම් අභියෝගයකට ලක් වෙමින් තිබුණා. නමුත් ඇත්තෙන්ම ඒ අභියෝගය පැවතුනේ මූලික වශයෙන් ආර්ථිකමය තලයේ. එය දේශපාලන බලය පිළිබඳ කාරණයකට මාරු වුණා නම් ඒ වක‍්‍රාකාර විදියට.  උදාහරණයක් විදියට දකුණු චීන මුහුදේ චීනය ගොඩ නගමින් සිටින උපාය මාර්ගික මිලිටරිමය දූපත් සම්බන්ධ ප‍්‍රශ්නය ගන්න පුළුවන්. එක්සත් ජනපදය ඒ කලාපයේ තමන්ගේ නාවික බලයත් ප‍්‍රවර්ධනය කරමින් ඉන්නවා. වෙනිසියුලාවේ දේශාපාලන අර්බුදය තුළ චීනය ජනාධිපති නිකොලොස් මදුරෝට සහාය දක්වන විට එක්සත් ජනපදය ඔහුට විරුද්ධව වැඩ කරනවා. ඉරානයට එරෙහි එක්සත් ජනපද ව්‍යාපෘතියට චීනය වගේම රුසියාවත් විරුද්ධයි. සිරියාවේ අර්බුදය තුළත් මේ පැරණි  බලවතා සහ ‘අලූත් බලවතුන්’ අතර ගැටුම වක‍්‍රව ප‍්‍රකාශයට පත් වෙනවා.

ඒ වගේම මෑතකදී චීනය සහ රුසියාව අතර මිලිටරි සබඳතා තවත් වර්ධනය වුණා. මේ දේවල් කොරෝනා අර්බුදයට කලින්ම සිදු වෙමින් පැවැති දේවල්. යුරෝපා සංගමයේ ක‍්‍රමානුකූල බිඳ වැටීමත් ඒ වගෙයි. ඇත්තෙන්ම කොරෝනා අර්බුදය මගින් සිදු වෙන්න ඉඩ තියෙන්නේ මේ ක‍්‍රියාවලිය තවත් සංකීර්ණ වීමත් වේගවත් වීමත් බවයි මගේ හැඟීම. අපි දැන් කොරෝනා අර්බුදය තුළ මේ ගෝලීය බලවතුන්ගේ හැසිරීම දිහා බලමු. ඇත්තෙන්ම එක්සත් ජනපදය ගෝලීය නායකයාගේ (නැත්නම් ‘හෙජමොන්’ගේ) භූමිකාව රඟ දක්වන්නට අද අසමත් වී තිබෙන බව පැහැදිලියි. නමුත් මේ අසමත්කම කොරෝනා අර්බුදයට කලින්ම ඇති වෙමින් තිබුණු දෙයක්. එක්සත් ජනපද නායකත්වය තමන් කේන්ද්‍රය බවට පත් වුණු ලෝක පර්යායක් ගොඩනගා ගන්න ඉදිරිපත් වුණේ 1991 සෝවියට් සංගමය සහ නැගෙනහිර යුරෝපීය කොමියුනිස්ට් රාජ්‍ය පද්ධතිය කඩා වැටුණු තත්වයක් තුළයි. ජ්‍යේෂ්ඨ ජෝර්ජ් බුෂ් එය හැඳින්වූයේ ‘නව ලෝක රටාවක්’ (New World Order) ලෙසයි. පළමු සහ දෙවන ඉරාක යුද්ධ සිදු කළේ එක්සත් ජනපදය විසින් අර්ථකථනය කෙරුණු  ‘ලිබරල් ජාත්‍යන්තර පර්යාය’ නමැති ආවරණය යටතේයි. අද අපට පැහැදිලියි මේ ඒක ධ‍්‍රැවීය ලෝක පර්යායක් ගොඩනැගීමේ  එක්සත් ජනපද ව්‍යාපෘතිය අසාර්ථක වී තිබෙන බව. නමුත්, අඩු තරමින් 2007/2008 මූල්‍ය අර්බුදයේදී එක්සත් ජනපද නායකත්වය යම්දුරකට ලෝක ධනවාදී ක‍්‍රමයේ නායකයාගේ භූමිකාවට පණ දෙන්න උත්සාහ කළා. නමුත් ඉතාම පැහැදිලිව ඩොනල්ඞ් ට‍්‍රම්ප් කියන්නේ ඒ ව්‍යාපෘතියේ අවසානය කියන්න පුළුවන්. ට‍්‍රම්ප්ගේ සටන් පාඨය එක්සත් ජනපදය යළිත් ශ්‍රේෂ්ඨත්වයට නැංවීම වුණාට ඔහු එක්සත් ජනපදයේ ගෝලීය නායකත්ව භූමිකාව අවසන් කළා කියන්න පුවළුන්. මම මේ කාරණය තේරුම් ගන්න යම් න්‍යායික අදහසක් ප‍්‍රයෝජනයට ගන්න කැමතියි. ජාත්‍යන්තර සම්බන්ධතා විෂය ක්ෂේත‍්‍රය තුළ රොබර්ට් කොහේන් කියන බුද්ධිමතා ඉදිරිපත් කරලා තියෙනවා ‘හෙජමොනික ස්ථායිතා න්‍යාය’ (hegemonic stability theory ) කියලා එකක්. ඒකේ සරල අදහස මේකයි. ජාත්‍යන්තර ක‍්‍රමය ස්ථාවරව පවතින්න නම් ජාතික රාජ්‍යයක් එහි අධිපති ස්ථානය ගන්න  ඕන. ‘හෙජමොන්’ ගේ නැත්නම් නායකයාගේ භූමිකාව භාර ගන්න  ඕන. අපි දන්නවා යුරෝපයේ 16 වන සියවසේදී වාණිජවාදයේ නැඟීමත් එක්ක ස්පාඤ්ඤය ඒ භූමිකාව රඟ දැක්වූවා. ඉන් පස්සේ පෘතුගාලය සහ  ඕලන්දය (වත්මන් නෙදර්ලන්තය) ඒ තැනට පත් වුණා. කාර්මික විප්ලවයෙන් පස්සේ මහා බ්‍රිතාන්‍ය සහ ප‍්‍රංශය, ඉනුත් පස්සේ 1944  බ්‍රිටන්වුඩ් සම්මුතිය සමග ඇමරිකා එක්සත් ජනපදය ධනවාදී ලෝක ක‍්‍රමයේ නායකත්වයට පත්වෙනවා. ඇත්තෙන්ම මෙහිදී ‘හෙජමොන් ’ ගේ කාර්යභාරය වෙන්නේ තමන්ගේ ප‍්‍රතිරූපයට අනුව, ඒ කියන්නේ තමන්ගේ වටිනාකම්වලට අනුව ලෝකය ගොඩනැගීම විතරක් නොවෙයි. ජාත්‍යන්තර පර්යායේ ස්ථාවරභාවය පවත්වා ගැනීමත්, ‘හෙජමොන්’ගේ කාර්යයක්. ඒ සඳහා සමහර විට තමන්ට යම් යම් කැප කිරීම් කරන්නත් වෙනවා. සරලව අපි දන්නවා නායකයෙකුට තමන්ගේ වාසිය පවා කැප කරමින් පිළිවෙළ පවත්වාගෙන යන්න  ඕන වෙනවා. අවසන් අර්ථයෙන් පිළිවෙළ පැවතීම කියන්නෙම ඒ නායකයාගේ හෙජමොනිය තහවුරු වීමක්. මෙන්න මේ අර්ථයෙන් ට‍්‍රම්ප්ගේ පරිපාලනය යටතේ එක්සත් ජනපදය තමන්ගේ ගෝලීය නායකත්ව භූමිකාව ඉටු කරන්නට අසමත් වී තිබෙන බව පැහැදිලියි. ට‍්‍රම්ප් බලයට එන කොටම කිව්වේ එක්සත් ජනපදය සම්බන්ධ වී සිටින බහු-පාර්ශ්වික ගිවිසුම් නැවත සකස් කරන්න  ඕන බවයි. නැත්නම් තනි තනි රටවල් සමග ද්වි-පාර්ශ්වීය ගිවිසුම්වලට යන්න  ඕන කිව්වා. මෙහිදී ඔහු සැලකිල්ලට ගත්තේ තමන්ගේ රටට, එයින් ලැබෙන සුවිශේෂී වාසිය විතරයි.  තමන්ගේ නායකත්වය සහිත ජාත්‍යන්තර පර්යාය ඔහු දෙවැනි කොට සැලකුවා කියන්න පුළුවන්. ට‍්‍රම්ප් මෙක්සිකෝව සම්බන්ධයෙන් අනුගමනය කළ ඉතාම ආක්‍රමශීලී සහ උද්දච්ඡ ප්‍රවේශය තවත් නිදසුනක්.  ( දැන් තියෙන සරදම තමයි මෙක්සිකෝව කොරෝනා වසංගතය උග්‍ර වන එක්සත් ජනපදාවාසීන්ට සීමා බාධක දාන එක ) .

කොහොම වුනත්  ට්‍රම්ප්ගෙ එක්සත් ජනපදය කොරෝනා  අර්බුදය තුළ තමන්ගේ  මිත්‍ර යුරෝපීය රටවලට  පවා සිමා මායිම්  දැම්මා. ඒ විතරක් නෙවෙයි. ට්‍රම්ප් ජර්මන් සමාගමක් නිපදවූ කොවිඩ් -19 එන්නතක සම්පූර්ණ අයිතිය ගන්න උත්සාහ කළාය කියන බරපතල චෝදනාවක් තියෙනවා.  අලුත්ම නිදසුන තමයි, ඔහු තමන්ට මිත්‍රශීලී ඉන්දියාවෙන් තර්ජනාත්මක ස්වරූපයෙන් ඖෂධ  ඉල්ලා සිටිම. අනිත් කාරණය තමයි එක්සත් ජනපදයට ඇත්තටම  සෙසු රටවලට සෞඛ්‍ය සේවා පහසුකම්  සැපයීමට අද හැකියාවක් තියෙනවද කියන එක.
විශේෂයෙන්ම නිදහස් වෙළඳපොල ක්‍රමය ආදානග්‍රාහීව ගත් එක්සත් ජනපද ධනවාදය තුළ පොදු පහසුකමක් විදියට සෞඛ්‍ය සේවය  තියෙන්නේ දුර්වල අඩියක. අද කොරෝනා වසංගතයේ  විශාලම බලපෑම තියෙන්නේ  එය දිගින් දිගටම නොතකා හැරිය එක්සත් ජනපදයටයි. පරිපාලනමය ලෙස ෆෙඩරල් ආණ්ඩුව සහ ප්‍රාන්ත  රාජ්‍යයන් අතර සම්බන්ධීකරණයේ  බරපතල ගැටළු ඇති වී තියෙනවා. මේ තමයි ( ඇතැම් විට ) ” පැරණි ලෝකයේ ”  මහා බලවතාගේ තත්වය.

අනිත් අතින් යුරෝපා සංගමයේ එක්සත් භාවය බිඳ වැටීමත් කොරෝනා අර්බුදයට කලින්ම ආරම්භ වෙලා තිබුණු දෙයක්.  එක්සත් රාජධානිය ” බ්‍රෙක්සිට් ”  තමන්ගේ විශාල  ජයග්‍රහණයක් විදියට සමරලා වැඩි කාලයක් නැහැ.  දැන් අර්බුදයට පත් වෙලා ඉන්න ඔවුන්ට යුරෝපා සංගමයෙන් ආධාර ඉල්ලන්නත් අසීරුයි. ඒක කලිසම් ඇඳගෙන කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒ වගෙම බොරිස් ජොන්සන් කොරෝනා  සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු “සාමූහ – ප්‍රතිශක්තීකරණය ”  (herd immurity )  පිළිබඳ  ප්‍රවේශය ඉතාම විනාශකාරී තැනකට ගිහින් තියෙනවා. අන්තිමේදී  ජොන්සන්ටත් කොරෝනාවේ පීඩනයට ලක් වන්නට සිදු වුනා. ඒ වගේම  යුරෝපා සංගමය මේ අර්බුදයේදී ප්‍රමාණවත් තරමින් පොදු උපාය මාර්ගයක් ඇති කර ගන්නට අසමත් වෙලා තියෙනව. සරදමකට වගේ අනෙකුත් යුරෝපීය රටවල් පුද්ගලික නිදහස කැප කරමින්  “ලොක් ඩවුන්” වගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරද්දි තමන් අසමත් මොහොත දක්වාම පුද්ගලික නිදහස සුරකින බවට සපථ කරන්නේ ස්වීඩනය වගේම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රටවල්. ලිබරල් නිදහසේ අවසන් ආරක්ෂකයා බවට සමාජ ප්‍රජාතන්ත්‍රවාදය පත්වීම එක්තරා ආකාරයක සරදමක්. කොහොම උනත් මේ අර්බුදයේදී යුරෝපා සංගමයෙන් තමන්ට ප්‍රමාණවත් සහයක් නොලැබුණිය, කියන මතය විශේෂයෙන්ම ඉතාලිය තුළ ප්‍රබල විදිහට මතුවෙමින් තියෙනව. මේ බොහෝ කාරණාවලින් පෙනෙන්නේ ඒ වන විටත් ආරම්භ වී තිබුණ යුරෝපා සංගමයේ අර්බුදය කොරෝනා පැතිරීමත් සමග උග්‍ර වී ඇති බවයි. මෙය සාධනීය අතට හැරෙන්නටත් සමහර විට ඉඩ තියෙන්න පුළුවන්. මොකද  2007/2008 මූල්‍ය අර්බුදයෙන් පස්සේ ලෝකෙ පුරාම අධිපති ප්‍රවණතාව උනේ වුනේ ජාතිකවාදී වෙනස්කම් මත එකිනෙකාගෙන් දුරස් වීම උනත්, දැන් මේ අලුත් අර්බුදයෙන් පෙන්නලා තියෙනවා ගෝලීය සහ කලාපයේ සුහදතාවයේ වැදගත්කම.

 සත්‍ය ලෙස ම මෙතරම් තාක්ෂණිකව දියුණු හා විද්‍යාවෙන් බොහෝ  සංවර්ධනීයත්වයක් කරමත තබා සිටි රාජ්‍ය පරාජය වීමක් පෙන්වනවා ද ? නොඑසේ නම් හිතාමතාම මෙය මඟහැර යාමක් ද ?

අපි ඇත්තටම සංවර්ධනය කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද ? මොකක්ද දියුණුව කියන්නේ ? මිනිස් වර්ගයා තාක්ෂණය සහ විද්‍යාව යොදාගෙන තියෙන්නේ කුමන ඓතිහාසික නිෂ්ටාවක් අත්පත් කරගන්න ද ? අද අපට මේ වගේ අපේම ශිෂ්ටාචාරය ගැනත්, නූතනත්වය ගැනත්, මූල ධාර්මික ප්‍රශ්න මතු කරන්න පුළුවන් අවස්ථාවක් උදාවෙලා තියෙනවා. මෑතකදී  මහාචාර්ය ජයදේව උයන්ගොඩ කියලා තියෙන විදිහට මේ පසුගිය සියවස් දෙක තුළදී මිනිස් වර්ගයා තම සමාජයන් සංවිධානය කර ගත් ආකාරය දෙසම අවලෝකනයක යෙදිය හැකි අවස්ථාවක්. වෙනත් වචනවලින් කිව්වොත්  සමස්ත ප්‍රබුද්ධත්ව ව්‍යාපෘතිය දෙස විවේචනාත්මක යළි සිතා බැලීමක් අද ඉල්ලා සිටිනවා කියන්න පුළුවන්.

ඇත්තෙන් ම නූතන තාක්ෂණය, විද්‍යාව,  ප්‍රබුද්ධත්වය ඇතුළු වූ බටහිර නූතනත්ව ව්‍යාපෘතියට එහි ආරම්භයේ ඉඳලම ප්‍රශ්න කිරීමට ලක් වෙලා තියෙනවා. නමුත් එම ප්‍රශ්න කිරීම මිනිස් වර්ගයාගේ පැවැත්ම පිළිබඳ සාංදෘෂ්ටික ප්‍රශ්නයක් එක්ක ප්‍රායෝගිකවම සම්බන්ධ වීමක්  අපිට පසුගිය දශක කිහිපය තිස්සේම අඳුනගන්න පුළුවන්. ඒ තමයි ගෝලීය උෂ්ණත්වය සහ කාලගුණික විපර්යාස පිළිබඳ ප්‍රශ්නයත් එක්ක ඒ දාර්ශනික ප්‍රශ්නය ගැට ගැසීම. කොහොම උනත් පරිසර විනාශය  පිළිබඳ ප්‍රශ්නය පුද්ගලික මිනිස්සුන්ට අවශ්‍ය නම් කල් දාන්න පුළුවන්. මොකද කෙනෙක් මේ මොහොතේ කරන පරිසර විනාශයේ ප්‍රතිඵල ලැබෙන්නේ තරමක් කල් ගත වෙලා වෙන්න පුළුවන්. නැත්නම් ඇත්තෙන්ම එහි විපාක විඳින්න වෙන්නේ වෙනත් කෙනෙකුට වෙන්න පුළුවන්. එනිසා ලෝකය කාලගුණ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරලා තිබුනත් ඒක ඇත්තටම දිගින් දිගටම කල් තබන හදිසි තත්ත්වයක්. නමුත් කොරෝනා  අර්බුදය ඊට වෙනස්. මෙය පුද්ගලික මිනිස්සුන්ගේ මේ මොහොතේ පැවැත්ම එක්ක සම්බන්ධයි. ඒක කල් දාන්න බෑ. එම නිසා මම හිතන්නේ ඔබ මතු කරන ප්‍රශ්නය අද ඉතාම ප්‍රායෝගික සහ ඉතාම හදිසි වාතාවරණයක් තුළින් මතු වෙන විදිහේ ඒව. මිනිසුන්ට සමස්ත සබුද්ධිකත්වයේ ව්‍යාපෘතිය ගැනම ඉතාම ඒත්තු යන ආකාරයෙන් ප්‍රශ්න කරන්න පුළුවන් තත්ත්වයක් මේ කොරෝනා අර්බුදය විසින් මතු කරලා තියෙනවා.

ඒත් එක්කම කියන්න ඕනි, ප්‍රබුද්ධත්වය සහ නූතනත්වය සහමුලින්ම නතර කරලා ඊනියා ආසියාතික නැත්නම් ස්වදේශවාදී මාවත් තෝරා ගැනීමට කරුණු යෝජනාවත් ඉතාම භයානක බව. මේ යෝජනාව ඉදිරියේ දී ඉතාම බලසම්පන්න විදිහට සහ ඉතාම ජනප්‍රිය විදිහට ඉදිරිපත් වෙන්න පුළුවන්. නමුත් අපි අමතක කරන්න හොඳ නෑ මිනිස් නිදහස, මූලික අයිතීන්, සමානාත්මතාව ඇතුළු නූතන ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම සකස් කළෙත් යුරෝපීය ප්‍රබුද්ධත්වය ව්‍යාපෘතිය විසින් ම බව. එය අප නූතන ශිෂ්ටාචාරයේ ඉතාමත්ම වැදගත් උරුමයක්. ඒ ප්‍රජාතන්ත්‍රවාදී උරුමය, ඒ ලිබරල් අයිතිය හා නිදහස පිළිබඳ උරුමය අත්හැරීම කියන්නෙත් ඉතාම දරුණු, අන්තනෝමතික, ජාතිකවාදී දේශපාලනයක් කරා ගමන් කිරීමක්. ජාතිය කියන්නෙත්  නූතනත්වයේ ප්‍රතිඵලයක්. මේ කාලයේ නැග එන  ජාතිකවාදය ඇත්තටම යුරෝපීය නූතනත්වයේ ඉතාම නිශේධනීය අංගයක් පෙරට ගෙන යාම කියලා කියන්න පුළුවන්. ඒ වෙනුවට මැක්ස් හෝර්කයිමර් සහ තියෝඩෝර් ඇඩෝනෝ නමැති ෆ්රෑන්ක්ෆර්ට් න්‍යායවේදීන් දෙදෙනා කියූ  විදියට අද අප කළයුත්තේ සබුද්ධිකත්ව ව්‍යාපෘතියෙ විමුක්තිවාදී  තර්කණය පෙරට ගෙන යාමත්, ඒ සමගම එහි අධිකාරීවාදී තර්කණය බැහැර  කිරීමත් බවයි මගෙ අදහස.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇතිවූ දරුණුතම ඛේදවාචකය මෙය බව. එය එසේ නම් ව්‍යසනයක් අවසානයේ ලෝකය නව තාවයකට ගමන්කිරීම සිදුවෙනවා . එවැනි නැඹුරුවක් සහිතයි ද මේ තත්ත්වය ? 

මම කැමතියි  මෙතනදී අන්තෝනියෝ ග්‍රාම්ස්චිගේ ප්‍රකාශනයක් උපුටන්න. ඔහු වරෙක  කියනවා “පැරණි දේ මිය ගිහින්. ඒත් නව දෙය තවම ඉපදී නැහැ” කියල. අද අප ගෝලීය වශයෙන් ඉන්නේ ඒ වගේ තත්ත්වයක. ග්‍රාම්ස්චිගේ ඉතාලිය මේ ගන්ධබ්බ අවදියේ කේන්ද්‍රස්ථානය. එක අතකින් කොරෝනා  වසංගතයෙන් දරුණුම විදිහට බැට කෑවේ ඉතාලිය. ඒ වගේම යුරෝපා සංගමයෙන් තමනුත් ඉවත් විය යුතුයි කියන මතයත් එහි පැතිරෙමින් තියෙනවා. මේ සියල්ලටත් වඩා දෙවන ලෝක යුද්ධයෙන් පසු එක්සත් ජනපදය ඉතාලිය  හරහා යුරෝපීය බල දේශපාලනයට ඇතුල් උනා වගේම, අද චීනයත් ඉතාලිය හරහාම යුරෝපයට ඇතුළු වෙමින් ඉන්නවා.

චීනයේ ආධාර රැගත් කණ්ඩායම ඉතාලියට ඇතුළු වන විට ඔවුන්ව පිළිගනු ලැබුවේ චීන කොඩි වනමින් ඉතාම උණුසුම් ආකාරයෙනුයි.
ඉතා පැහැදිලියි පැරණි ලෝකය වේගයෙන් මිය යමින් පවතිනවා. එක්සත් ජනපදය මුල් කරගත් ලිබරල් ජාත්‍යන්තර පර්යාය බිඳ වැටීම වේගවත් වෙලා. යුරෝපීය ප්‍රබුද්ධත්ව ව්‍යාපෘතියේ අර්බුදය අන් කවරදාටත් වඩා පැහැදිලිව පේන්න තියෙනවා. මහජනයාගේ පොදු යහපත වෙනුවට  පුද්ගලික ලාභය මුල් කරගත් ධනවාදයේ භයංකර ප්‍රතිඵල අද සමස්ත මිනිස් වර්ගයාම  ඉදිරියේ පැහැදිලි වෙමින් තියෙනවා. නමුත් ප්‍රශ්නය තමයි මේ සියල්ල වෙනුවට ආදේශ වන්නේ කුමක්ද කියන එක.  එවැන්නක් ගොඩ නැගිලා නෑ තවමත්. විවිධ අදහස් තියෙනවා. ව්‍යාපෘතීන් තියෙනවා. ආපසු යුරෝපීය නොවන ස්වදේශිකවාදයන් කරා  යන්න උනන්දුවක් ඇති වී තියෙනවා.  ධනවාදයේ අර්බුදය සමග සමාජවාදය එන්න නියමිතයි කියන සූත්‍රය යම් විදියකට යළිත් මතුවෙමින් තියෙනවා. නමුත් ඇත්තටම ප්‍රබල විකල්ප ව්‍යාපෘතියක් ගෝලීය මට්ටමෙන්ම නිර්මාණය නොවී  මේ ශිෂ්ටාචාර අර්බුදය විසඳන්න බැහැ. මම හිතන්නේ මේක ධනවාදයේ අර්බුදය ඉක්මවා ගිය ශිෂ්ටාචාරමය අර්බුදයක්. මාක්ස්වාදී සමාජවාදය උනත් භෞතික සංවර්ධනය පිළිබඳ  ප්‍රබුද්ධත්වයේ විශ්වාසයන් බෙදාගත්තා. ඒ නිසා අනාගතයක් තියෙන්නේ සංවර්ධනය යනු කුමක්ද කියන ප්‍රශ්නයම නැවත මතු කරන සමාජවාදයකට බවයි මම හිතන්නේ.

ඒ වගෙම අපි ප්‍රවේසම් වෙන්න ඕන ගුණදාස අමරසේකගේ “සභ්‍යත්ව රාජ්‍යය ”  වගේ ෆැසිස්ට් ලක්ෂණ සහිත අදහස්වලටත් දැන් අලුත් ජනප්‍රියත්වයක් ලැබෙන්න පුළුවන්. ෆැසිස්ට් සභ්‍යත්ව රාජ්‍යයේ අගය කරන්න කිසිවක්ම වාමාංශිකයන්ට නැහැ.

චින්තනමය කියවා ගැනීම්වලට අදාළව මෙම තත්ත්වය පිළිබඳ ලෝක මට්ටමේ කියවීම කෙසේද ?

ඇත්තෙන්ම ගෝලීය  මට්ටමෙන් මහජන බුද්ධිමතුන් අතර විශාල  උනන්දුවක් ඇති වෙමින් තියෙනවා. මේ නව  තත්ත්වය ගැන. මෙවැනි තත්ත්වයක් ඇති වෙන සාමාන්‍ය සරල  ප්‍රතිචාරය තමයි, පුද්ගලත්වය.  ස්වීයත්වය. නැත්නම් තමන්ගේ ඇතුළාන්ත ජීවිතය දිහාට හැරෙන දාර්ශනික ප්‍රවනතා මතු වීම.  ඒවායින් ඒ තරම්  වැඩක් තියෙනවා කියල මම විශ්වාස කරන්නේ නැහැ.  පුද්ගලවාදය කියන්නේ අප මුහුණ දෙමින් ඉන්න බරපතල අර්බුදයේම කොටසක්.

නමුත් මේ අති සරල ප්‍රවේශයට වෙනස්ව,  අප මුහුණ  දෙමින් ඉන්න අර්බුදයේ සංකීර්ණත්වය සහ ගැඹුර ඉතාම බැරෑරුම්  විදියට තේරුම්  කරන බුද්ධිමත් මැදිහත්වීම්  රැසක්ම අපට අද නිරීක්ෂණය කරන්න පුළුවන්.  සේපියන්ස් කෘතියේ  කතෘ යුවාල් නෝවා හරාරි කියනවා. විශේෂයෙන්ම යුරෝපීය සමාජවල රාජ්‍යය විසින්  පුරවැසි ජීවිතය පරික්ෂාවට ලක් කිරීමට දැන් අලුත් සුජාතභාවයක් ලැබිලා තියෙනවා කියල. ඒ වෙනුවට  මහජනයා සක්‍රීය කරන  ප්‍රවේශයක් ගැන ඔහු තවමත් බලාපොරොත්තු රඳවනවා. ජියෝජි අගම්බෙන් කියන්නේ ඉතාම අධිකාරීවාදී ලක්ෂණ රැගත් රාජ්‍යයේ  ” ව්‍යතිරේඛිය තත්ත්වය “ ( state of exception ) දැන්  වෙන කවරදාටත් වඩා සාමාන්‍ය තත්ත්වය බවට පත් වෙලා තියෙන බවයි. ඒ කියන්නෙ  අපි දැන් ඉන්නේ ගෝලීය වශයෙන් ප්‍රජාතාන්ත්‍රික නිදහස අත් හිටුවූ තත්වයක කියන එකයි. නමුත් අගම්බෙන්ගේ  අදහස වන්නේ කොරෝනා වසංගතය පිළිබඳ භීතිය දැනුවත්ව ගොඩ නගන ලද දෙයක් බයි. මේ අදහස  ගොඩක් බුද්ධිමතුන්  පිළිගන්න එකක් කියන්න බැහැ.  නිදසුනකට ස්ලේවොයි ශිෂෙක්  කියන්නේ භෞතික දුරස්ථභාවය පිළිබඳ  ආචාර ධර්මය අද අවශ්‍ය බවයි. ඒක සහයෝගීතාව අහිමි වීමක් නෙමෙයි. දුරස්ථ භාවය සහ සහයෝගීතාවය තමයි මේ අර්බුදය විසින් ඇති කරපු අලුත්ම ආචාර ධර්මය. ඒ වගේම  ඔහු පෙන්වා දෙනවා මේක  සීමිත අරුතින් කොමියුනිස්ට්වාදය පිළිබඳ අදහසකට යම් වලංගුතාවක් ලැබුණු අවස්ථාවක් කියල.

මහජන සෞඛ්‍යය පිළිබඳ  කාරණය ප්‍රමුඛත්වයට ඇවිත් තියෙනවා. ගෝලීය සහයෝගීතාවයෙන්  තොරව මේ අර්බුදය ජය ගන්න බැරි බව දැන් ඉතාම  පැහැදිලියි.  අද ගෝලීයව සම්බන්ධීකරණය වෙන පොදු සෞඛ්‍ය සේවයක් අවශ්‍යයි කියන මතයයි ඔහු ඉදිරිපත් කරන්නේ. මම හිතන්නේ ඔහුගේ  ප්‍රවේශය ඉතාම ප්‍රායෝගික සහ ඒත්තු යන සුළු එකක්. මනෝ විශ්ලේෂණ න්‍යාය පිළිබඳ අග්‍රගන්‍ය බුද්ධිමතෙකු වන ශිෂෙක් මේ අර්බුදය හමුවේ  පුද්ගල ඇතුලාන්තයට හැරෙන ආකාරයේ  අදහස් ප්‍රචලිත  කරන්නේ නැහැ. ඔහු සැබෑ අරුතින් මහජන බුද්ධිමතෙක් බවයි  මගේ අදහස. නව ලිබරල් ගෝලීයකරණය පිළිබඳ ප්‍රමුඛතම විවේචිකාවක වන නයෝමි ක්ලේන් මේ සමකාලීන අර්බුදයේ සාධනීය ප්‍රතිඵල ගැන ඉඟි කරනවා. ඇය කියන්නේ  මෙය කිසියම් ආකාරයක පරිණාමීය ඉදිරි පිම්මක් වෙන්න පුළුවන් බවයි. 1929 මහා ආර්ථික  අවපාතයෙන් පස්සේ  එක්සත් ජනපදයේ ජනාධිපති ෆ්‍රෑන්ක්ලීන් ඩී. රූස්වෙල්ට්ට “නව සම්මුතිය” ( New Deal)  නැමැති සුබසාධන ලක්ෂණ සහිත වඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න සිදු වුනා.  ඒ යටතේ ගෝවීන්ට, විරැකියාවෙන් පෙළෙන්නන්ට, තරුණයන්ට සහ වැඩිහියන්ට විවිධ සහන සැලසුනා.  නයෝමි ක්ලේන් කියන්නේ  කොරෝනා අර්බුදයත් එක්ක “හරිත – නව ගිවිසුම ”  (Green New Deal)  ක්‍රියාත්මක  කරන්න අවස්ථාවක් ලැබෙයි කියලයි.

ඒ යටතේ  පරිසරය විනාශ කරන සමාගම්වලට වැට බැඳෙන්න පුළුවන්. යානීස්  වරූෆකීස් මේ අර්බුදයේ තියෙන ඉතාම බරපතල නිශේධනීය පැතිමාන ගැනත් පෙන්වා දෙන අතරේ ගෝලීය විමුක්ති දේශපාලයක් ගැන බලාපොරොත්තු දල්වනවා. ඔහු කියන්නේ මේ අර්බුදය  විසින් 2008 න් පසු නිර්මාණය වූ  යුරෝපීය අර්බුදය ඉතාම උග්‍ර හා  වේගවත්  කරනු  ඇති බවයි.  ඇත්තෙන්ම ඔහු මෑතක් වන තෙක්ම බ්‍රෙක්සිට් ව්‍යාපාරයට විරුද්ධ වූ අයෙක්. ඔහුට යුරෝපා සංගමය ප්‍රතිසංස්රකණය කිරීම ගැන කිසියම් බලාපොරොත්තුවක් තිබුණා. නමුත් ඔහු මෑතකදී කිව්වා යුරෝපා සංගමය කොරෝනා  වසංගතයට මුහුණ දුන් ආකාරය අනුව තව දුරටත් ඒ ගැන කිසිම  බලාපොරොත්තුවක්  තියාගන්න බෑ කියල. මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම “වැරදි හේතු මත ගත්ත නිවැරදි තීරණයක් ” කියන තරම් දුරට ඔහු ගිහින් තියෙනවා. දැන් තියෙන ප්‍රශ්නය තමයි එක්සත් ජනපද හෙජමොනියේ බිඳ වැටීම හමුවේ  යම් කිසි ආකාරයකින් යුරෝපීය උරුමය පිළිබඳව පසුගිය දශක කිහිපය තිස්සෙ වාමාංශික බුද්ධිමතුන් අතර ගොඩ නැගුණු බලාපොරොත්තුවට මොකද වෙන්නේ කියන එක. මේ බලාපොරොත්තුව අඩු වැඩි වශයෙන් වරූෆකීස්, ශිෂෙක් සහ ෂන්තාල් මූෆ් වගේ ගොඩක් දෙනාට තිබුණා.  ඒකේ ප්‍රධාන ප්‍රකාශකයා මම හිතන්නේ යර්ගන් හර්බමාස්. ප්‍රජාතන්ත්‍රික නූතනත්වය ගැන අපට  යුරෝ – ඇමරි නොවන ප්‍රවේශයන් ගැන  බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්ද ? මෙය නොවිසඳුනු ප්‍රශ්නයක්. මම හිතන්නේ අපි දැන් ආසියාතික සහ වෙනත් ගෝලීය දකුණේ බුද්ධිමය ප්‍රවනතා දෙසත් බලන්න ඕනේ.  දර්ශනය පවතින්නේ  අත්ලන්තික් විශ්ව විද්‍යාලවල පමණක්ය කියන එක ඉතාම යල් පැන ගිය වර්ගවාදී අදහසක්. දැන් ඒ අදහස අත්ලන්තික් විශ්ව විද්‍යාල තුළ වුවත්  ඒ තරම් පිළිගැනෙන්නේ නැහැ.

යම් මතයක් ගොඩ ගැගෙමින් තිබෙනවා  මෙය ඉතා සූක්ෂමව චීනය විසින් ලෝක බලවතාට ප්‍රහාරයක් ලෙස සැලසුම් කළ දෙයක් බව. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද ?

ඒ වගේ කුමන්ත්‍රණ න්‍යායන් ගොඩක් තියෙනවා. ඒවා ඉතා සිත් ගන්නා සුළු කතන්දර. ඒත් ඒ කිසිම  දෙයක් ඔප්පු කරන්න සාධක නැහැ. සමහර  විට යම් යම් හුදෙකලා කරුණු පදනම් කරගෙන හිතළු ගොඩ නගනවා වෙන්න පුළුවන්. ඇත්තටම මම කුමන්ත්‍රණ න්‍යායන් ගැන ඒ තරම් උනන්දු වෙන්නේ නැහැ. ඒවාගෙන් තේරුම් ගන්න පුළුවන් එකම දේ තමයි, එවන් න්‍යායක් ගොඩ නගන අයගේ දේශපාලන විඥානය. අනෙක් අතට එක් ගෝලීය බලවතෙක් වෙනුවට වෙනත් බලවතෙක් ආදේශ වීම තරම් සරල විදියට මේ සිදුවෙමින් පවතින පරිවර්තනය තේරුම් ගන්නත් බැහැ.  යම් රටක් ආර්ථික බලවතෙක් වීම  එකක්. නමුත්  නව ජාත්‍යන්තර  පර්යායක් ගොඩ නැගීම කියන කාරණය ඒ තරම්  සරල නැහැ. නමුත් අන්තෝනියෝ හෙන්ද්‍රි සහ මයිකල් හාඩ් තර්ක කරන්නේ නව – ලිබරල්වාදය අධිරාජ්‍යයෙකුගෙන්  තොර අධිරාජ්‍යයක් බවයි. මේ මතය ඉතාම විවාදාත්මක එකක් බව  මම පිළිගන්නවා. නමුත්  දැන් එක්සත් ජනපද මූලයක් තියෙන පාර -ජාතික සමාගම් රැසක්  ක්‍රියාත්මක වන්නේ චීනය තුළ සිටයි කියන කාරණය අමත කරන්න එපා.

2007 -2008  මුල්‍ය අර්බුදයේදී චීනය ඉතාම දැනුවත්ව එය විසදීමට මැදිහත් වුනා. සමස්ත ගෝලීය ධනවාදී ක්‍රමයේම  අර්බුදයක් යනු පැහැදිලිවම චීනයේත් අර්බුදයක්. ඒ අතරම ඔවුන් ගෝලීය හෙජමොනියේ තැන අත්පත් කරගන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන් . 1980 දී චීන අගමැති ඩෙං ෂියා වෝ පිං කියපු දෙයක් තමයි චීනය ලෝක දේශපාලනය තුළ අත්පත් කර ගන්නා තැන තීරණය වෙන්නේ චීනයේ ආර්ථික දියුණුව මත කියල.

මේ පාඩම ඉතාම හොඳින් ජියෑන්ග් සෙමිං සහ ෂි ජින් පිං ඉගෙන ගෙන තියෙනවා.  ” තීරු සහ මාර්ග  ව්‍යාපෘතිය “, ( “Belt and Road Initiative ) ට දැන් විවිධ මට්ටම්වලින් රටවල් 136ක් සම්බන්ධ වෙලා තියෙනවා. චීනය සහ රුසියාව දැන්  “කොරෝනා වෛරස් රාජ්‍ය තාන්ත්‍රිකත්වය ” ( Corona Virus Diplomacy )  තුළ ඉතාම සක්‍රීයයි. නමුත්, මේ පෙනෙන්නේ ගෝලීය  පර්යාය නැවත සකස් කරන්නේ කෙසේද කියන කාරණයට අදාළ බල ව්‍යපෘතින් පමණයි. චීණය සතුව ආර්ථික බලය තියෙනව බව පැහැදිලියි. නමුත් ඔවුනට ගෝලීය ආධිපත්‍යය සදහා අවශ්‍ය කරන හෙජමොනික යාන්ත්‍රණ තියෙනවාද කියන එක ප්‍රශ්නයක්. මම හිතන්නේ නව ලෝකය ගොඩ නැගෙන්නේ  කවර ටිනාකම් සහ කවර ආයතන හා සම්මුතීන් පදනම් කරගෙනද කියන ප්‍රශ්නය තවමත් විවෘතව පවතින බවයි.

 සාකච්ඡා කළේ  – තුසිත පතිරණ  

Read 86 times Last modified on Wednesday, 29 April 2020 02:40

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.