Friday, 08 June 2018 22:43

අපේ යුගයේ කවිය ගොඩ නැගෙමින් තියෙන්නේ පීඩිතයන් අතේ - කසුන්සලා ගිම්හානි

Written by 
Rate this item
(0 votes)

වර්තමාන කවිය මෘදු මානසික තැවුලක්ද ?

වර්තමාන කවිය මෘදු මානසික තැවුලක්ද කියා ඔබ අහද්දි මට මෙහෙම ප්‍රශ්න දෙකක් අහන්න හිතෙනවා.
කවිය මුදු මානසික තැවුලක් වීම පුදුමයක් ද?
වර්තමාන කවිය මුදු මානසික තැවුලක් වීම වැරැද්දක් ද?
අප ජීවත් වන සමාජ වටපිටාවෙන් ගලවලා අරගෙන කවිය විග්‍රහ කරන්න අයිතියක් අපට නෑ. මේ මොහොතේ ලියවෙන කවිය විග්‍රහ කරගන්න රිසි ඕනෑම කෙනෙකුට මේ සමාජයත් විග්‍රහ කරගන්න වෙනවා. අවවර්ධිත ධනේශ්වර ක්‍රමයක අහිතකර ප්‍රතිවිපාක රාශියකිනුත් සිංහල බෞද්ධ ග්‍රාම්‍ය අසංස්කෘතිකත්වයකිනුත් ජරාජීර්ණ වූ සමාජයක් මේක. ධනවාදය විසින් අගනගරයේ කුණු කඳු ගොඩ ගහනකොට අර කියන අසංස්කෘතිකත්වය විසින් මේ ඉල්ලා සිටින මිලේච්ඡත්වයක් නිර්මාණය කරනවා. කුණු කඳු කඩා වැටිලා මීතොටමුල්ලෙ දි මිනිස්සු මැරෙනකොට අසංස්කෘතිකත්වයේ නාමයෙන් තෙල්දෙණියේ මිනිස්සු මැරෙනවා. ඉතිං මෙන්න මේ වගේ සමාජයක පය ගහගෙන කවි ලියන කවියෙකුට මේ අර්බුද මගහැර යන්න බෑ. ඉතිං හැමවිටම අර්බුදයක් විසින් ජනිත කරන්නෙ තැවුල් හා වියවුල්. ඒ තැවුල හා වියවුල කවිය තුළින් ප්‍රකාශයට පත් වීම ස්වභාවිකයි. එය පුදුමයක් හෝ ප්‍රතික්ෂේප කළ හැකි තත්වයක් නොවේ.

 

යථාර්තය ප්‍රතිනිර්මාණයේදී අද්‍යතන කවිය එහි අක්මුල් සිඳ දැමුවේයැයි පැවසුවොත් ඔබ එයට එකගද ?

මම හිතන්නේ යතාර්ථය ප්‍රතිනිර්මාණය කරන්න නම් යතාර්ථය කියන්නේ මොකද්ද කියන එක ගැන හැඟීමක් කවියෙකුට තියෙන්න ඕනේ. ඇත්ත යථාර්තය හැම විටම virtual යථාර්තකින් වහල තියෙන්නේ. ඇත්තම යථාර්තය හදුනාගැනීමට කැමැති කවුරු හරි ඉන්නවා නම් ඔහුට සිද්ධ වෙනවා අර virtual යථාර්තය විනිවිදින්න. ඒක ආවට ගියාට කරන්න බෑ. ඒකට අධ්‍යනයක් හා භාවිතාවක් අවශ්‍යයි. මං කිව්වේ දේශපාලන භාවිතාවක්. ඇතමෙක් කවිය දකින්නේ දේශපාලනයෙන් විනිර්මුක්ත වූ පාරිශුද්ධ කලාපයක් විදියට. ඔවුන්ට පැහැදිලිවම මේ යථාර්තය මග හැරිලා යන්න යනව. අධ්‍යනයක් හෝ දේශපාලනයක් නැතිකම විසින්ම ඔවුන් යතාර්ථය විදිහට හදුනාගන්නේ වෙන එකක්.

අපි අර කුණු කන්දේ උදාහරණයම ගමු. ඔය ප්‍රශ්නය මතු වුණු වෙලාවේ අපි දැක්කා ඇතැමුන් මේ ප්‍රශ්නයට විවිධ උත්තර යොජනා කරල තිබුණා. තමන්ගේ කුණු තමන්ගේ වත්තේම පුච්චගන්න වගේ දෙවල්. එහෙම කරන්න පුළුවන් නම් හොදයි. ඒකේ වැරැද්දක් නෑ. මං කියන්නේ ඒ කවුරුවත් ඒ ප්‍රශ්නය පිටු පස තිබුණු ඇත්ත හේතුව හදුනාගෙන තිබුණේ නෑ. ඒ නිසා තමයි මධ්‍යම පාන්තික අධිපරිභෝජනවාදී නැඹුරුව. ඒක පෙරළා මේ ජරාජීර්ණ ක්‍රමයේම ප්‍රකාශනයක්. ඉතිං අනෙක් බොහෝ ප්‍රශ්නවලදීත් ප්‍රශ්නය මේකම තමයි.
යථාර්තය ප්‍රතිනිර්මාණය කරන්න නම් යථාර්තය හදුනාගෙන ඉන්න ඕනේ. එහෙම හදුනාගත් කවි පොත් අපි සතුව තිබෙනවා. මිළඟ මීවිත, හිරුත් හිමපියල්ලක

 

ඔබ කවියේ සමාජ යථාර්ථය ස්පර්ශ කරන්නියක් … එහෙත් අද කවිය තුළ දේශපාලනය නෑ .. ඇයි මේ..?

කවිය තුළ දේශපාලනය නෑ කියන එක එච්චර හොඳ කියවීමක් නොවේ. මට හිතෙන විදියට අද කවිය තුළ පවතින්නේම දේශපාලනය. අපි නිදසුනකට ගනිමු මංජුල වෙඩිවර්ධන වගේ කෙනෙකුගේ කවියක්. ඔහු එක කිවයක මෙහෙම ලියනවා..

“මව් බිමත් සමග
රමණය කළ වුන්ට
මව් වුණත් කයක් පමණකි
හැමිනෙන්න”

ඉතිං මේ දේශපානය නෙවෙයිද ?
රුවන් බන්දුජීවගේ මීළඟ මීවිතේ තියෙනවා කවියක්

“මැණික් ගඟටත් ඉවුරෙ චූ යයි”

ඒ වගේ කවියක තියෙන්නෙත් දේශපාලනය තමයි. අවශ්‍ය නම් ඒ වගේ උදාහරණ ඕන තරම් ඉදිරිපත් කරන්න පුළුවන්. වැදගත්ම දේ අපේ යුගයේ කවියන් හඳුනාගෙන තිබෙනවා කවියේ දේශපාලනය කියන්නේ සටන් පාඨ ලියන එක නෙවෙයි කියලා. ඔවුන් කවිය තුළ සිය දේශපාලන දැක්ම අන්තර්ගත කරන්නේ කාව්‍යමය චමත්කාරය සහ කාව්‍යමය ශික්ෂණයට යටත්ව. ඒක අනිවාර්යයක්. නොඑසේ නම් කවි විදියට සටන් පාඨ ලියවීමේ ප්‍රවණතාවයක් බිහිවේවි

පොළොව හූරපු උන් ලග කවිය ගොඩ නැගෙනවා නම් මේ සමාජය කවියා කියවන ආකාරය කුමක් වේවිද ?

පොළොව හූරපු උන් යනුවෙන් ඔබ අදහස් කරන්නේ නිශ්චිතවම කුමන පාර්ශවයක් ගැනදැයි මට වැටහීමක් නෑ.නමුත් එක් දෙයක් නිශ්චිතවම කිව හැකියි. අපේ යුගයේ කවිය ගොඩ නැගෙමින් තියෙන්නේ පීඩිතයන් අතේ. පීඩකයන් කවිය වගේ සියලුම කලා මාධ්‍යකට අනුග්‍රහය දක්වනවා නම් හොඳයි . මොකද කවිය කියන්නේ ඔවුන්ට ලාබ උපයන කලාපයක් නෙවෙයි. ඒක නිසා තමයි අපි දකින්නේ පීඩකයන් රිදී රැයක්, රියැලිටි ෂෝ වගේ ඒවා කරද්දී ඒවාට දහස් ගණනින් ධනය වියදම් කරද්දී, පීඩිතයන් ගැවසෙන අහුමුළුවල සටන් බිම්වල කවිය ගොඩ නැගෙන හැටි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ අතරේ, වාමංශික ක්‍රියාකාරීන් අතරේ, දුර බැහැර අප්‍රකට රසිකයො අතරේ කවිය ගොඩ නැගෙනවා

ප්ලේන්ටියක් බිබී, වඩේ එකක් කකා, සිගරට් එකක් උර උර ඔවුන් කවි ගැන කතා කරනවා . ඔවුන් වැනි අව්‍යාජ පිරිසක් අතර සැරිසරන නිසාම තමයි කවිය තුළිනුත් ඒ අව්‍යාජත්වය පරාවර්ථනය වෙන්නෙ. එවැනි අව්‍යාජ කවියක් බාර ගන්න තරම් රසික සමාජයක් අපිට සිටිනවා වගේම ඒ පිළිබඳ නොසිඳෙන සුබවාදී බලාපොරොත්තුවක් අපට තිබෙනවා

 ඔබ දේශපාලනික කියවන්නියක් … ජාතිකත්වයන් මත වන ගැටුම් වර්තමාන බොහෝ කවීන් දකින්නේ ජාතිවාදී පදනමින් මෙයට හේතුව කුමක්ද ?

මේක තරමක් සංකීර්ණ ප්‍රශ්නයක් ඇත්තටම ගත්තොත් ප්‍රශ්නයේ කොටස් දෙකක් තියෙනවා. ඒක අපි මෙහෙම ලිහා ගමු.

“ජාතිකත්වය මත වන ගැටුම් ”
මෙන්න මේ ජාතිකත්වය මත වන ගැටුම් යන්නම සංකීර්ණ දේශපාලන ප්‍රකාශනයක්. ඇත්තටම මේ ගැටුම් මතු වන මුලාශ්‍රය මොකක් ද ?

අපි නිකමට මෙහෙම හිතමු. 2009 නන්දිකඩාල් මොහොත එනකල්ම අපේ සමාජයේ සිංහල මුස්ලිම් ආකෘතියක් දක්නට තිබුණේ නැහැ. නමුත් දැන් අපි පසුගිය කාලේ දැක්කා පිටිගුලියකින්, යට ඇඳුමකින් මුළු රටම අවුල් කරන්න පුළුවන් තත්වයක්. ඒ තරම් ආතතිකාරී තැනකට මේ සමාජය ඇද වැටුණේ කොහොම ද? ඒක ජාතිකත්වය කියන කාරණාව මත ම සිද්ධ වුණක් ද ? එහෙම නැත්නම් මෙයත් දේශපාලන ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් ද? ඒක සම්බන්ධයෙන් මට වෙනම නිර්වචනයක් තිබෙනවා.

ඔබේ ප්‍රශ්නයේ දෙවැනි කොටස කවීන් මේ දිහා ජාතිවාදී පදනමකින් බලනවා යැයි කියන එක නම් එකහෙළාම ප්‍රතික්ෂේප කරන්න වෙනවා. බොහෝ කවීන් ජාතිවාදී හෝ ලේ හැලීම්වලට කැමති නෑ. ඔවුන් සිය කවිය තුළ උත්කර්ශයට නගන්නේ මනුෂ්‍යත්වයේ උත්තම බව.

මට මතක් වෙනවා මස්ඉඹුල කවියාගේ දෙමළ මාමා වගේ කවියක්. වාර්ගික අගතීන් ඉක්ම වුවක්. වෙඩිවර්ධනගෙ බොහෝ කවි ජාතිවාදයට එරෙහිව මනුෂ්‍යත්වයට යෝජනා කරන්නක්. ඇතැම් විට ඔබ කියන ආකාරයේ පුද්ගලයිනුත් ඇති. ජාතිවාදය අවුලනවා නම් ඔහු කවියෙක් විය නොහැකියි. අශිෂ්ඨත්වය හෝ පසුගාමීත්වය නියෝජනය කරන්නෙකුට කිසිවිටක කවියෙක් විය නොහැකියි

ලෝක සාහිත්‍යය ඇසුරින් ලාංකේය කවියේ විකාශනයේදී දැකිය හැකි සුවිශේෂීත්වයන් ගැන පැවසුවොත්

දුරාතීතයේ පටන්ම ලෝක සාහිත්‍යයේ මතු වුණු යම් යම් ප්‍රවනතා ශ්‍රී ලංකාවේ කවියට බලපෑම් කරල තියෙනවා. කව් සිළුමිණ ලියවුනු යුගයේ පටන් ඒක එහෙමයි. එකල ලියවුනු කවියට ඉන්දියානු සංස්කෘතික කාව්‍යයන්ගේ බලපෑම සිදු වුණා. ඒවගේම හොදින් නිරීක්ෂණය කළොත් බලාගන්න පුළුවන් ඒ සාහිත්‍යය මාදිලින් අපේ කවියට කොයි තරම් බලපෑම් කරල තියෙනවද කියල.

කොළඹ යුගයේ කවියට ශෙලීලගේ, වෝඩ්ස්වර්ත්ලාගෙ බලපෑම් තිබුණා. ඒ වගේම නිසදැස් කාව්‍ය නර්මාණය කර ගන්තෙත් බටහරි කවිය දිහා බලලා. අනිත් පැත්තෙන් චීනය, ජපානය, වගේ රටවල් පදනම් කරගෙන නිමැවුණු හයිකු කාව්‍ය සම්ප්‍රදාය කවදත් පෙරදිග අධ්‍යාත්මික පක්ෂයට වැඩි බරක් තියලා කටයුතු කළේ . ඉතිං ඔවුන් සිය අධ්‍යාත්මික සාරයන් අඩංගු කරගැනීමට තෝරාගත්තු දාර්ශනික කාව්‍ය මාදිලිය තමයි හයිකු.

අපිටත් ඒක අල්ලලා ගිහින් තියෙනවා. නන්දන වීරසිංහ වගේ කවියෙක් දැන් ඇමරිකානු හයිකු කවිය දෙසට හැරිල තියෙනවා. අමතක කරන්න එපා රුසියානු සමාජ සත්තා යතාර්ථවාදී සාහිත්‍යය දෙසට ඉමහත් ලෙස ආකර්ෂණය වුණු රසිකයන් සිටින රාජ්‍යයක තමයි මේ පෙරලීන් සිදුවන්නේ. වැදගත්ම දේ තමයි මේ හැම සාහිත්‍ය මාදිලියකටම අපි අපේ දොරගුළු විවර කර තිබෙන්නේ අපේ යම් අනන්‍යතාවයකුත් රැක ගනිමින්. මේ විදේශීය ප්‍රවණතාවයන්ට මුහු වීමෙන් මුහුණ දීමෙන් අපේ කාව්‍ය අනාගතයේදී වඩාත් තියුණු තලයකට ගමන් කිරීමට නියමිතයි

 ඔබ නිදහස් පද්‍ය අකුරු කරන්නියක් … කවියේ අන්තර්ගතය සම්බන්ධයෙන් සැලකීමේදී මෙකී ශෛලියේ උපයෝගීතවය කෙසේ බලපාන්නේද

මම හිතන්නේ අන්තර්ගතය විසින් තමයි ආකෘතිය නිර්මාණය කරන්නේ. නිසදැස් බිහිවන්නේම එක්තරා ඓතිහාසික කොන්දේසියක් අනුව බවයි මගේ හැඟීම. මං කිව්වනේ සමාජය හැම විටම චලිතයක පවතින්නේ. ඝනීභවනය වෙලා නෑ. ඉතිං ඇතැම් විට සිදුවන සමාජ විපර්යාසයන් කවියට උරාගන්න නම් වඩා නම්‍යශීලි කාව්‍ය ආකෘතියක් බිහි විය යුතුයි.

නිසදැස් බිහි වෙන්නටපෙර පැවතුනේ කොළඹ යුගයේ කවිය. එහි ජනප්‍රිය සිව්පද ආර. මේ ආර තුළ ඔවුන් ප්‍රේමය විරහව, දේශප්‍රේමය, පරිසරය ආදී මාතෘකා ගැන කවි ලිව්වා. නමුත් දෙවන ලෝක යුද්ධයෙන් පසුව මුළු මහත් ලෝකය වගේම ලංකාවේ සමාජයක් බරපතල වෙනස්කම්වලට ගොදුරු වුණා. ඒ වෙනස්කම් සංකීර්ණයි. ඒ සංකීර්ණ වෙනස්කම් නියෝජනය කිරීමේ ඓතිහාසික අවශ්‍යතාවය විදිහට තමයි නිසදැස බිහි වන්නේ.

පළමුව කාව්‍ය ව්‍යාකාරණයෙන් හා බන්ධනයන්ගෙන් කවියා නිදහස් විය යුතුයි. තමන්ගේ කවිය තුළට කවියා සිය විලංගු දමා ගත යුතු නෑ . ඒ ආකාරයෙන් නිසදැස කවියාට සාපේක්ෂ නිදහසක් ප්‍රදානය කරනවා.
අප තෝරාගන්නා තේමාත්මක මානයන්ගේ අක්මුල් විනිවිද යන්නට සඳැසට තවදුරටත් ඉටු කළ නොහැකි වැඩ කොටසක් නිසදැස විදින් ඉටු කරමින් ඉන්නවා. මම මගේ ආත්ම ප්‍රකාශනය සඳහා නිසඳැස ඉවහල් කරගත්තේ ඒ අර්තයෙන්

ඉතිං කියන්න මොකද්ද මේ අවසරයි කුහුඹුවනි…

කවිය කියන්නෙ මගෙ ආත්ම ප්‍රකාශනය. මට දැනෙ රිදෙන දේ තමයි මං කවියට නගන්න උත්සාහ ගන්නෙ . “ඉලපත් රටා” කියන්නෙ මගෙ පළමු කාව්‍ය සංග්‍රහය. ඒ ඇතුලෙ මං කවියට නගන්න උත්සාහ කළේ ජීවිතයේ ඒ යුගයේ දී මාව කම්පනය කරවන ලද ඇතැම් සිදුවීම් හා සංවෙදනාවන්.

ඉලපත් රටා ජනගත කිරීමෙන් පසු ගෙවුණු මේ කෙටි කාල සමය තුළ මගේ ජීවිතය ස්ථානගත වුණේ වෙනම ම තලයක. ඒක එක්තරා විදියක දේශපාලනික මොහොතක්. හැලහැප්පීම් සහ කලබගෑනිවලින් යුතු සමයක්. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය රැක ගැනීම වෙනුවෙන් සටන් කරන , නිතර මර්ධනයන්ට මුහුණ දෙන , අධි පීඩන ජල ප්‍රහාර බැටන් ප්‍රහාර , කදුළු ගෑස් ලබමින් එකට ඉන්න සහෝදරියන් සහෝදරවරු පැහැරගෙන යන සහ සිරකර තබන මිලිටරි බලන අසීමාන්තිකව පාලකයන් විසින් භාවිතා කරන මොහොතක්.
ඉතිං ජීවිතය ගෙවී යමින් තිබෙන මේ මොහොතට අදාලව මං දක්වන ප්‍රතිචාරය තමයි “අවසරයි කුහුඹුවනි” තුළ අන්තර්ගත වෙන්නෙ.

එළඹෙන සෙනසුරාදා (ජුනි 09) සවස 2.00 ට බස්නාහිර පළාත් සෞන්දර්යය නිකේතනයේදී (NADA) “අවසරයි කුහුඹුවනි” කෘතිය එළිදැක්වීමට නියමිතයි. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, චූලානන්ද සමරනායක, පුබුදු ජයගොඩ යන අයගේ හරවත් දෙසුම් සමගින් ඔබ හමු වීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

ජීවිතේ මෙතෙක් ආ ගමන මොන වගේද ? සමාජය , මිනිස්සු, ලෝකය, දැනෙන විදිය කියන්න ජීවිතය ඇසුරින්

අපි මේ පසු කරමින් ඉන්නෙ ධනවාදයේ තුන්වෙනි කාර්තුව.මේක නව ලිබරල් පාරිභෝජනවාදී සමාජයක්.මේ ක්‍රමය ඇතුලෙ උත්කර්ෂයට නැගෙන්නෙ ලාභයම විතරයි. මානවීය ගුණ ධර්ම තුට්ටුවකට තකන්නෙ නැහැ. මේ කලියුගයේ බුදුවරු පහල වෙයි කියලා අපිට විශ්වාශ කරන්න බැහැ. ධනවාදයේ බිඳවැටීමත් එක්ක ඔවුන් එක රැක ගන්න ගහන්න පුළුවන් අන්තිම තුරුම්පුවත් ගහමින් ඉන්නෙ. ඒ තමයි මනුෂ්‍යත්වය විකිණීම.
නිතරම දකින්නෙ පීඩකයන් සහ පීඩිතයන්.
අසාධාරණය තුළ මිනිසුන් මිරිකෙමිනුයි සිටින්නෙ. මේ සංවර්ධනය නමින් දෘෂ්ඨියට හසුවන දෑට පහළින් ඇතුළතින් තියෙන්නේ මනුෂ්‍යත්වයේ සොහොන් කොත්. ඔවුන්ගේ න්‍යායන්ට අනුව ජීවිතයක් කියන්නේ තවත් එක් වස්තුවක්.

ඔබ මා ජීවත් වීමට පටන්ගෙන නෑ තවමත්. නිදහස් කියා සිතුවට අපි තවමත් වහල්ලු . සිතුවිලිවලින් වගේම ශාරීරිකවත්. අන්න ඒ වහල් බවින් මිදීමටයි අපට මගපෙන්වීමක් අවශ්‍ය වන්නේ. අධ්‍යාපනයක් අවශ්‍ය වන්නේ. ඒ වෙනුවෙනුයි ලේඛකයන් මේ සමාජය වෙනුවෙන් යම් වගකීමක් ඉටු කළ යුතු වන්නේ. වඩා යහපත් ලෝකයක් ප්‍රාර්ථනා කරනවා සේම එය නිර්මාණය කිරීම පිණිස ඔබ මම පෙනී සිටිය යුතුයි.

සාකච්ඡා කලේ – තුසිත පතිරණ

Read 233 times Last modified on Saturday, 09 June 2018 00:37

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.