Friday, 02 February 2018 01:06

ආදරය සහ කවිය අතර පවතින්නේ දෘෂ්ටිමය බැඳිම අභිභවා යන බැඳිමක් - ජයසිරි අලවත්ත

Written by 
Rate this item
(0 votes)

කවිය තවමත් සමාජ අවියක්ද?

සරල ම පිළිතුර නම් ‘ඔව්’. දැන් ඔයා අහන්න පුළුවන් ‘ඒ කොහොමද?’ කියල. කවිය නමැති සාහිත්‍යය මාධ්‍යය මිනිස් ජිවිතයේ සියලු මාන ස්පර්ෂ කරන්න පුළුවන් මාධ්‍යයක්. අන්න එතනදි ‘විප්ලවය’ නමැති ක්‍රියාවට වුනත් ‘කවිය අවියක්’ විදියට භාවිතා කරන්න පුළුවන්. සරල දේශපාලන කාර්යකට වුනත් ‘කවිය අවියක්’ ලෙස පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඒ නිසා ම තමයි පාලකයෝ කවියන්ට බිය වෙන්නෙ.

 ආදරය සහ කවිය අතර ඇති දෘෂ්ටිමය බැඳීම කුමක්ද?

ශාකුන්තලය, ගීත ගෝවින්දය, සඳකිඳුරුදා කව පමණක් නොවෙයි යසෝදරා වත යනාදි පැරණි කවියේ සිට නුතන කවිය දක්වා ම ආදරය: ප්‍රකාශ කිරීම, ප්‍රතික්ෂේප කිරිම, ආදරයෙන් වෙන්වීම, වෙන්වුණ හෝ අහිමි වුණු ආදරය වෙනුවෙන් වැලපීම යනාදි හැම අවස්ථාවකට ම ‘කවිය’ උපස්තම්භක කරගෙන තියෙනවා; දැනටත් උපස්තම්භක කරගන්නවා සහ අනාගතයේදිත් එය ඒ විදියට ම සිදුවෙනවා. ඒ නිසා ආදරය සහ කවිය අතර පවතින්නේ දෘෂ්ටිමය බැඳිම නමැති සංකල්පය අභිභවා යන බැඳිමක්. ඒකත් ‘කවිය’ තරමට ම වගේ ම ‘ආදරය’ තරමට ම ප්‍රබලයි.

ආදරයට දිනයක් වෙන් කිරීම හුදු සමාජ ජනප්‍රියතාවයේ සංකේතයක් බවට පත්ව ඇති සමයක එහි යථාර්ථය පිළිබඳ අදහසක් තිබෙනවද?

අදරයට දිනයක් වෙන්කරනවා කියන එක හුදු විහිළුවක් හෝ ජනප්‍රියත්වයේ සංකේතයක් විදියට කවුරු හෝ අර්ථකථනය කරනවා නම් ශ්‍රී ලාංකිකයන්ට ලැබුණා යැයි කියන ඊනියා නිදහස වෙනුවෙන්, උතුරේ ජනතාව හතළිස් දහසක් අමු අමුවේ ඝාතනය කිරීම රණවිරු දිනය වෙනුවෙන් සහ වෙනත් හැම කටයුත්තක් ම වෙනුවෙන් දිනයක් වෙන් කිරීම හුදු සමාජ ජනප්‍රියතාවයේ සංකේතයක් නොවේ ද? මේ හැම දෙයක් ම සාපේක්ෂයි. එහෙමනම් ආගමික නායකයො හෝ ඔවුන්ගේ ජීවිතයේ විවිධ අවස්ථා වෙනුවෙන් දින වෙන් කිරීමත් හුදු ජනප්‍රියතාවයේ ම සංකේතයක් ලෙස මම දකිනවා. ඒ සමගම කියන්න ඕනම දේ වෙන්නෙ ආදරය කරන්න නම්: දිනයක්, ජාතියක්, කුලයක්, වයස් පරතරයක් හෝ වෙනත් හේතු අදාළ නැහැ. ආදරය නම් ඒ ආදරය යි.  

 

වැලන්ටයින්ට ඔබ ආදරෙයි, ඒත් වැලන්ටයින් දිනයට ඇයි ආදරයක් නැත්තේ ?

 

මම දන්නවා ඔබ ඊළඟට ඔය ප්‍රශ්නය අහන බව. මම වැලන්ටයින්ට ආදරය කරන්නෙ ඔහු කළ ශ්‍රෙෂ්ඨ ක්‍රියාව නිසා. වැලන්ටයින් දිනයට විරුද්ධ වෙන්නෙ සහ එය හෙලා දකින්නෙ වැලන්ටයින් නමැති පුද්ගලයා පිළිබඳ ලංකාවෙ පමණක් නොවෙයි ලෝකයේ බොහෝ රටවල තබා තිබෙන ලකුණ වැරැදි නිසා. ඔහු හුදු කොල්ලො කෙල්ලො කසාද බන්දපු පියතුමකු නොවෙයි. ඔහු තමයි ක්ලෝඩියස් නමැති යුද උම්මත්තකයාට ඍජුවම අභියෝග කළ එක ම පුද්ගලයා. ක්ලෝඩියස්ගේ යුද උම්මත්තකභාවයට එරෙහිව තනිවම සිය අදහස ප්‍රා යෝගිකව ක්‍රියාත්මක කළ පුද්ගලයා. මේ පුද්ගලයා ගැන ආරංචිවුන ක්ලොඩියස් නමැති යුද උම්මත්තකයා වැලන්ටයින් පියතුමාව සිර කළා. විවිධ වධබන්ධනවලට ලක් කළා. පදවි තතාන්තර සහ මිල මුදල් දෙන්න උත්සාහ කළා. එහෙත් වැලන්ටයින් පියතුමා නෙවෙයි තමන්ගෙ අදහස වෙනස් කරගත්තේ අවසානයේ දී ක්‍රිස්තු වර්ෂ 270 පෙරවාරි 14වන දින වැලන්ටයින් පියතුමාව ඝාතනය කළා. මෙන්න මේකයි වැලන්ටයින්ට ආදරය කරන්නත් එම දිනය හුදු වාණිජ දිනයක් කරගැනීමට එරෙහි වෙන්නත් හේතුව.

අරුමැසි ම කවි අතර වන කවිය ජීවිතයේ කුමන පදනමක් නිරූපණය වන්නක්ද?

මම කලින් සඳහන් කළා කවිය නමැති සාහිත්‍යය මාධ්‍යය මිනිස් ජීවිතයේ විවිධ අවස්ථා සහ විවිධ මාන ස්පර්ශ කළ හැකි සියුම් මාධ්‍යයක් බව. නමුත් මම ඍජුව ම ප්‍රකාශ කරනවා ‘‘අරුමැසි ම කවි’’ අතර වඩ වඩාත් ම නිරූපණය වන්නේ විරුද්ධ ලිංගිකයන් දෙදෙනකු හෙවත් ස්ත්‍රියක සහ පුරුෂයකු අතර ඇතිවන, දැනට පවතින සහ මිනිස් ජිවියා ලොව වෙසෙන තුරු පැවතිය හැකි ඒ ආදරය පිළිබඳ ලියැවුණු කවි බව.

කවිය කියවා ගත හැකි පහසු නිදහස්වාදී එකක් විය යුතුයි. ඒත් ඔබේ කවි පොතේ කවිවල අක්ෂර ගොඩනගා ගැනීමට අපහසුයි.

ඔබ ඔය විමසන්නෙ මෙම කෘතියේ අකුරු ‘සමරූපීකරණය’ට අනුව මුද්‍රණය කර ඇති නිසා කියල මම හිතනවා. අකුරු කියන්නෙ රූප සමුහයක්. ඒ රූප සමුහයේ එක් එක් අකුර මෙන්න මේ විදියයි කියල අපේ මනසේ තැන්පත් වෙලා තියෙනවා. ඒ රුපයේ හැඩය යම් ආකාරයකින් වෙනස් වුණාම මනසට ඒක ග්‍රහණය කරගන්න තරමක් අපහසු බව ඇත්ත. නමුත් මේ ‘අකුරු’ නමැති රුප සටහන් වෙනස් වුණා සහ අනාගතයෙදි වුනත් වෙනස් වෙන්න පුළුවන්. ඒකට අපේ මනස හුරුකරගත්තා ම ඔබ ඔය කියන අපහසුතාව මගහැරනෙවා. අනෙක මේ සමරුපි කරණය නවීන තාක්ෂණික අකුරු ඇමුණුමට හරිම පහසුවක්. මේ පිළිබඳව මේ වගේ කෙටි උත්තරයකින් පැහැදිලි කරන්න බැහැ. ඒක තරමක් සවිස්තරව පැහැදිලි කළ යුතු කරුණක්.

පෙර ප්‍රශ්නයට සම්බන්ධ වුවත් මෙය ඇසිය යුතුමයි. කවිය අභ්‍යන්තරය තුළින් ආකෘති වෙනසක් කරනවා වෙනුවට අක්ෂර මගින් විවිධත්වයක් එක් කිරීම කිසියම් ලකුණක් තබාගැනීමට යත්න දැරීමක් නොවේද ?

ඔබ සඳහන් කරන ඔය ‘ලකුණ’ එහෙම නම් පළමුවෙන් ම හිමිවිය යුත්තේ මීට වසර හතළිහකට පමණ පෙර මුද්‍රණ සංස්ථාවේ මුද්‍රණ කළමනා කරු ලෙස සේවය කළ ආරිය විමල් මහත්මයාට. මොකද මේ සංකල්පය පළමුවෙන් ම ඉදිරිපත් කරන්නේ ඔහු. ඒ අවධියේ අද වගේ මුද්‍රණ තාක්ෂණය දියණු නැහැ. ඒ නොදියුණු තාක්ෂණය දියුණු කිරීමේ අරමුණෙන් ඔහු මෙම අදහස ඉදිරිපත් කළත් හැමදාම හණමිටිය හිස මත තබාගෙන යන්න පුරුදු වුණ අපේ රටේ අධ්‍යාපන බලධාරියො ඒ මහත්මයාගේ යෝජනාව පිළිගන්න සූදානම් වුණේ නැහැ. ඔහු පැවසූ පරිදි එදා මෙම සමරූපීකරණය භාවිතා කළා නම් ‘තුරුණු’ යන වදන වෙනුවෙන් ඇලපිල්ලක් සහ වෙනස් විදියේ පාපිලි දෙකක් සොයමින් වෙහෙසෙන්න වෙන්නෙ නැහැ. මෙන්න මේ පහසුව වටහාගත්තු අජිත් තිලකසේන මහත්මයා මේ සමරූපිකරණය සමාජගතකරන්න දැඩි උත්සාහයක් ගත්තා. නමුත් අපේ ආචීර්ණ කල්පිත අදහස් වෙනස් කරන්න පහසු වුණේ නැහැ. අනතුරුව තමන්ගේ සියලු ම පුද්ගලික කටයුතු සඳහා මේ අකුරු රටාව භාවිතා කළේ දක්ෂ කවියකු වන ජනක මහබෙල්ලන. ඔහු තම සරසවි විභාග සඳහා පිළිතුරු ලියන්න පවා භාවිතා කළේ මේ අකුරු රටාව. එහෙම වුණා කියල ඔහු අසමත් කරන්න තරමට අපේ ආචාර්යවරු මහාචාර්යවරු පෙලඹුණේ නැහැ. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල විශේෂවේදී උපාධියක් හිමි කරගත්තා. අද ඔහු පාසල් ගුරුවරයෙක් වගේ ම ශ්‍රිපාලි මණ්ඩපයේ  බාහිර කථිකාචාර්යවරයෙක්. ඔහු දැනටත් තමන්ගේ පුද්ගලික කටයුතුවලට වගේ ම හැකි හැම අවස්ථාවෙ ම තමන්ගෙ ශිෂ්‍ය ශිෂ්‍යාවො සමග ගනුදෙනු කරන්නෙ මේ අකුරු රටාව උපයෝගී කරගනිමින්.  මම දන්න තරමින් චතුර ජයතිලක නමැති නිර්මාණකරුවා ද තමන්ගේ පුද්ගලික ලිපි ලේඛන සඳහා මේ අකුරු රටාව භාවිතා කළා. ඒ වගේ ම මමත් මේ අකුරු රටාව කිසිදු වැරැද්දක් නැහැ යන මතයේ සිටිනවා. එම නිසා මගේ පුද්ගලික ලියකියැවිලි සඳහා මෙම රටාව ම උපස්තම්භක කරගන්නවා.

කවි පොතක් කිරීම කවි ලිවීමට හැකියාවක් ඇති අයගේ ඉක්මන් ආශාවක්. එහෙත් කවි පොත් අලෙවිය ඉතා අල්පයි. මෙයට හේතුව කුමක්ද ?

පළමුවෙන්ම සඳහන් කළ යුතු කාරණය වෙන්නෙ ඔය ‘කවි පොත් අලෙවිය ඉතා අල්පයි’ කියන කාරණය කාලයක් පුරා ලංකාවේ පොත් ප්‍රකාශකයෝ සහ පොත් වෙළෙන්දෝ සමාජ ගතකරපු සංකල්පයක්. මොකද 80 දශකයේ අවසානය සහ අනූව දශකයේ අවසාණය දක්වා ම මේ සංකල්පය වර්ධනය වුණා. (නමුත් ‘හොඳ කවිය’ සමග ම රැඳුණු පාඨක පිරිසක් හිටියා) නමුත් පසුව මෙම සංකල්පය මඳින් මඳ වෙනස් වුණා. මම හිතනවා මෙහි මූලික ම අදියර වුණේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ කවි වෙනුවෙන් ම කුටියක් වෙන්වීම. මේ සදහා චූලානන්ද සමරනායක ප්‍රමුඛ විශාල පිරිසක් විශේෂ කැපවීමක් කළා. පසුව අපේ සම්මානලාභි කවියකු වන මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මේ වගකීම සිය උරමතට ගත්තා. එහි ප්‍රතිඵලයක් විදියට ඔහු කවි පොත් ප්‍රකාශනය වෙනුවෙන් ම ප්‍රකාශන ආයතනයක් පිහිටුවා ගත්තා. දැන් අපි දන්නවා කාව්‍ය පාඨකයො ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙදි කවි පොත් ගන්න ම කවි කුටිය සොයාගෙන එනවා. මම විශ්වාස කරනවා දැන් මරදාන ප්‍රෙද්ශයේ කවි වෙනුවෙන් ම වෙන්වුණ පොත් සාප්පුවක් ආරම්භ කරන්න හොඳම කාලය කියලා) මගේ අරුමැසි ම කෘතිය ප්‍රකාශනය කළ ‘KSP’ ආයතනයත් වැඩි අවධානයක් යොමු කරන්නෙ කවි පොත් වෙනුවෙන්. ඒ වගේ ම නවතම ප්‍රකාශන ආයතනයක් වෙන ‘කවිවර ප්‍රකාශ’න ආයතනයත් වැඩි අවධානය යොම කරන්නෙ කවියට. ඒ කරුණු සලකා බැලුවම ක්ෂණික ලාබ ඉපැයිය නොහැකි වුනත් ‘කවි පොත් විකිණෙන්නෙ නැහැ’ යන සංකල්පය දැන් වලංගු නැහැ.

 

‘කවි පොත් අළෙවිය අඩුයි’ යන අනෙක්  අනෙක් කාරණයට ප්‍රෙව්ශ වෙමු. කවිය කියන්නෙ ප්‍රබල සහ සුවිශේෂි සාහිත්‍යය මාධ්‍යයක්. මේ සාහිත්‍යය මාධ්‍යය රස විඳින්න කිසියම් සුවිශේෂි වරප්‍රසාදයක් වුවමනා වෙනවා. මෙතනදි මම වරප්‍රසාදය නම්න් හඳුන්වන්නේ මුදල් හෝ වෙනත් වරප්‍රසාදයක් නෙවෙයි ‘රස විඳීමේ වරප්‍රසාදය’ යි. ඒ වරප්‍රසාදය ලබන්න නම් කියැවීම අනිවාර්ය යි. මෙන්න මේ වරප්‍රසාදය නැති අයට කවි කියවලා වටහා ගන්න බැහැ. ඒකට වගකිව යුත්තේ කවි ලියන අය නෙවෙයි. එහි වගකිම බාරගත යුත්තේ පාඨක ප්‍රජාවම යි.

 

සමාජ යථාර්ථය කලාත්මකව නිරූපණය කිරීම කවිය විසින් සිදුවිය යුතු සමාජ කාර්යයක්. වර්තමානයේ බොහෝ කවි හුදු මනස්ගාතමය කියවීමක් සහිත වූවක් ඉතිං කවිය කොතැනට යැයි ඔබ විග්‍රහ කරන්නේද ?

ඔබේ පළමු ප්‍රකාශය සමග මම එකගයි. ඒ පිළිබඳව විවාද හෝ තර්ක විතර්ක නැහැ. වර්තමානයේ කවිය පිළිබඳව කතාකරනවා නම් ඔබේ අදහසට මම සම්පූර්ණයෙන් ම එකඟ නැහැ. ඔබ අදහස් කරන ආකාරයට ‘කුකවියන්’ ලියන ‘නොකවි’ තියෙනවා. ඒ වගේ ම ඉතා හොඳ කවිත් තියෙනවා. සමහර කාව්‍ය සංග්‍රහයක කවි හතළිහක් අන්තර්ගත නම් ඒ අතරින් කවි දහයක් පමණ හොඳ කවි වෙන්න පුළුවන්. කවියට ආදරය කරන කවියො වගේ ම විචාරකයො කළ යුත්තේ ඒ හොඳ කවි දහය පිළිබඳ අගය කරනා’තර ම ‘නොකවි’ සම්බන්ධයෙන් ද කවියා හෝ කිවිඳිය දැනුවත් කිරිම. එහි දි අදාළ කවි ලියන්නා හෝ ලියන්නිය අනාගතයේදි තම කවිත්වය වර්ධනය කරගනිවි. ඒ නිසා කවිය ඔසවා තැබීමේ වගකිම පැවරෙන්නේ විචාරකයාට යන්නයි මගේ අදහස.

 

බොහෝ කලකට පෙර වූ සංවාදයක්. සඳැස නිසැඳැස අතර වන බෙදීම ඔබ අදහස් කරන පරිදි සඳැසේ කාර්යය භාර්යය අවසන්ද ?

පළමුවෙන් ම සඳහන් කළ යුතුයි කවිය නම් එය ‘සඳස’ ද ‘නිසඳස’ ද යන්න වලංගු නැහැ. කවිය නම් කවිය ම යි. නමුත් සඳස නමැති කාව්‍ය ප්‍ර භේදයේදී කවියා හෝ කිවිඳය අදාළ රීති සමුහයකට රාමුගතවෙනවා. ඒ නිසා ඒ කවි ලියන අය අදාළ රීති රකින්න ගිහින් තමන්ගේ කවියේ රසභාව ක්ෂය කරගන්නවා. මෙන්න මේ නිසා සඳස කවියට හානිකරන අවස්ථා පවතිනවා. නමුත් වර්තමාන කාව්‍ය ක්ෂේත්‍රෙය් සඳස පුරාම ව්‍යංගාර්ථ, වක්ක්‍රෝක්ති, වක් බිණුම්, රුපක, උපමා, උපමේය සහ සංකේථ අන්තර්ගත කරමින් අගනා කවි නිර්මාණය කරන පිරිසක් බිහිවි සිටිනවා. එය අගය කළ යුත්තක්. ඒ නිසා සඳසේ කාර්යභාරය අවසන් නැහැ. නමුත් අර මම කලින් සඳහන් කළා වගේ කිසියම් රීති රටාවකට සඳස රාමුගතවී තිබීම අනුව නම් සඳස පිළිබඳව සුබ ලකුණක් නෙවෙයි. ඒකෙන් මම අදහස් කරන්නෙ නැහැ ‘කාව්‍ය රීති’ හැදැරිය යුතු නැහැ කියල. එය සාම්ප්‍රදායික ලෙස හදාරා එය ම අභිභවන්න උත්සාහ කරනවානම් කවිය වඩාත් උසස් තැනකට යොමු කරන්න පුළුවන් කියල මම විශ්වාස කරනවා.

 

අරුමැසිම කවි පොතක් ලෙස එළි දැක්වන දිනය ආදරවන්තයින්ගේ දිනය. ඔබ අනියමාර්ථයෙන් හුදු ජනප්‍රියවාදී සංකල්ප ප්‍රතික්ෂේප කරනවා වෙනුවට අදාළ දිනය උත්කර්ෂයට නංවන්න ප්‍රයත්න දරනවා යැයි කිව්වොත්...?

පළමුවෙන් ම සඳහන් කළ යුතුයි මම මගේ පොත් ජනගතකිරීමේ උත්සව පවත්වලා නැහැ. නමුත් අදාළ පොත සමග බැඳුණු විෂය පිළිබඳ සාකච්ඡාවක් සමග මගේ පාඨකයෝ හමුවෙන්න මම අවස්ථාව උදා කරගෙන තිබෙනවා. ‘අරුමැසි ම කවි’ කෘතිය වෙළෙඳපළට නිකුත්වෙන්නෙ පසුගිය වසරේ අගෝස්තු මාසයේ. එනම් දැන් මෙම කෘතිය පාඨක ප්‍රජාව අතරට ගොස් මාස හයක් ගතවෙනවා. එළඹෙන 14වන දින හෙවත් ආදරවන්තයන්ගේ දිනයේ මෙම විමසුම යොදාගත්තේ හුදු ‘අරුමැසි ම කවි’ කෘතිය පිළිබඳ ප්‍රචාරකවාදි කටයුත්තක් කරනවාට වඩා වෙනස් යමක් කරන්න. එනම් මම කලින් සඳහන් කළ ආකාරයට අපේ රටේ මෙන්ම ලෝකය පුරා ම වැලන්ටයින් නමැති සාධකය පිළිබඳ තබා ඇති ලකුණ සැබෑ වැලන්ටයින් පිළිබඳ වන ලකුණ නොවේ ය යන්න පාඨකයාට ඒත්තු ගැන්වීමට කරන උත්සාහයක්. බාහිර සිට සාම්ප්‍රදායික ආකාරයෙන් අදාළ කටයුත්ත දෙස බලන අය කෙසේ බැලුවත් එය වළක්වන්න මට බැහැ. එය ඔවුනොවන්ගේ දෘෂ්ටිය.

 

කවි පොතේ ඇති කවි කියවීමට වෙනත් කෘති කියවා තිබීම මගින් සාමාන්‍ය රසවිඳින්නන් පැත්තකට තල්ලු කොට තිබෙනවා ?

 ඔබ අදහස් කරන්නේ ‘කවිය සරල විය යුතුයි’ යන්න නම්, මගේ අවබෝධයට සාපේක්ෂව නම් මම එය ප්‍රතික්ෂේප කරනවා. මිනිසා පරිභෝජනයට ගන්නා ආහාරයේ සිට අවසානයේ තමන් වෙනුවෙන් අනෙකා භාවිතා කරන මිනී පෙට්ටිය දක්වා මෙය සාපේක්ෂයි. එනම් කිසිදු නිර්මාණකරුවකු හෝ නිර්මාණකාරියක: පාඨකයා, රසිකයා, අසන්නා, ප්‍රේක්ෂකයා හෝ සමස්ත රසවිඳින්නා වෙනුවෙන් යමක් නිර්මාණය කරන්නේ නම් හැම මොහොතෙම උත්සාහ ගත යුත්තේ මේ ඉහත කී පිරිස තමා අබියසට කැඳවීමට සහ තමා අනුගමනය කිරීමට සැලැස්වීම මිස නිර්මාණකරුවා මේ පිරිස පසුපස යාම නොවෙයි. ඒ විදියට නිර්මාණකරුවා මේ පිරිස පසුපස යන්න යන්න වෙන්නේ රසවාදනය අවම වූ නිර්මාණ බිහිවීම. අපි ඕනෑම කලා මාධ්‍යයකින් කළ යුත්තේ මිනිසාගේ බුද්ධිය වර්ධනය කිරීම, රස වින්දනය පොහොණි කිරීම සහ ඔවුන්ට යමක් සිතන්න අවකාශ සලසා දීම. ඒ නිසා මගේ නිර්මාණ තුළින් මම උත්සාහ කරන්නේ පාඨකයා මා පසුපස ඒමට සැලැස්වීම. එතනදි ඔවුන් තමන් මෙතෙක් කලක් දැන නොසිටි යමක් දැනගනිවි කියල මම විශ්වාස කරනවා. සරලව ම පවසනවානම් මම දෙන්නෙ ‘පාඨකයාට අවශ්‍ය දේ’ නොවෙයි. නිර්මාණකරුවකු විදියට ‘පාඨකයාට දිය යුතු’ දේ.

 

අවසන් වශයෙන් පවසන්න ඔබගේ අරුමැසි ම කවි පොත පාඨකයා අතට පත්වන දිනය සහ අනාගත සාහිත්‍ය දායකත්වය කවරාකාරද?

මම කලින් සඳහන් කළ ආකාරයට ම මෙය ‘අරුමැසි ම කවි’ කෘතිය ජනගතකිරීමක් නෙවෙයි. මෙය අදාළ කෘතිය මත තබා වැලන්ටයින් සාධකය පිළිබඳ පවතින ලකුණ වෙනස් කිරීමට හෙවත් සැබැ ම වැලන්ටයින් සාධකය කුමක්ද කියල සමාජගතකිරීම. මෙය සිදුකෙරෙන්නේ පෙබරවාරි 14වන දින  කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයේ දී. මෙ සඳහා සම්පත් දායකයො ලෙස ‘වැලන්ටයින්’ හදුනාගනිමු යන මැයෙන් මුඛ්‍ය දේශනය පවත්වන්නේ මහේෂ් හපුගොඩ සොහොයුරා. ‘කවියේ අන්තර්ගත ගීතවත් බව’ යන මැයෙන් සත්සර දෙසුමක් පවත්වන්නේ සංගීතවේදි ජයලත් වටවල සොයුරා.

අනාගත නිර්මාණ පිළිබඳව සඳහන් කරනවා නම්: මගේ ‘මකරන්ද කාව්‍ය විමංසා’ කෘතියේ සංශෝධිත තෙවන මුද්‍රණය නුදුරු දිනක දී නිකුත්වීමට නියමිතයි. එය ‘සන්ථව’ ප්‍රකාශනයක්. ඊට අමතරව මම උපකර්තෘ ධුරය දැරූ ‘සත්හඬ’ පුවත්පත වෙත ලියු කාව්‍ය විචාර දහසයක් කෘතියක් ලෙස නිකුත්වීමට නියමිතයි. එය ප්‍රකාශයට පත්කරනු ලබන්නේ ‘කවිවර’ ප්‍රකාශන විසින්.

 

සාකච්ඡා කලේ - තුසිත පතිරණ

Read 661 times Last modified on Friday, 02 February 2018 01:20

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.